රටේ පවතින ආර්ථික අපහසුතාවන්වලට මඳ අස්වැසිල්ලක් ලබාගැනීම මුල් කරගෙන වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන්ට නව නිල ඇඳුමක් හඳුන්වා දීමට තීරණය කර ඇත. මේ අනුව එම කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරිනියන්හට සාරිය වෙනුවට නිල ඇඳුම ලෙසින් තද නිල් පැහැති බ්ලවුසයක් (Blouse) ලබාදී ඇත.
''අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් සම්ප්‍රදායික ලෙසින් සඳුදාට යෙදෙන ''මහජන දිනය'' නිමිත්තෙන් කාර්යාලයේ සේවය කරන නිලධාරීන් සාරි අඳිනවා. ගිය වසරේදී අපේ ඵලදායිතා වැඩසටහන්වල නායකයන්, අංශ ප්‍රධානීන් ගෙන්වා කළ සාකච්ඡාවකදී මේ දිනවල සාරිවල මිල ඉතා ඉහළ ගොස් ඇති නිසා කාන්තා පාර්ශ්වය වෙනුවෙන් බ්ලවුස් එකක් හඳන්වා දෙමුදැයි මම යෝජනා කළා. සාරිය වෙනුවට හඳුන්වා දෙන්නට යෝජනා කළ ඒ නව නිල ඇඳුමට හැමෝම කැමැත්ත පළකළා. ඒ අනුව ඒ අයට වර්ණයන් හා ඒ නිල ඇඳුම ගැන තීරණය කළා. ඒ සඳහා එක බ්ලවුස් එකක් වෙනුවෙන් රුපියල් එක්දාස් පන්සීයක් වැනි මුදලක් වැයවෙනවා.''
යැයි වරකාපොළ ප්‍රාදේශීය ලේකම් රංගන සජීව අත්තනායක මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
ඒ අනුව ඔවුන් මේ සඳහා කොලර් විලාසිතා දෙකකින් යුත් බ්ලවුස් දෙකක් නිර්මාණය කර තිබිණි. පසුගිය කොවිඩ් වසංගතයත් සමඟ රාජ්‍ය සේවකයන්ට කැමැති සුදුසු ඇඳුමක් ඇඳ කාර්යාලයට ඒමට හැකි පරිදි නව චක්‍රලේඛයක් නිකුත් වුණි. ඒ චක්‍රලේඛයට අනුව වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කර්යාලයේ නිලධාරිනියන්ට සුදුසු පරිදි නිල ඇඳුමක් ලබාදීමට එහි ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් තීරණය කර තිබුණි. මෙයට තවත් හේතූන් කිහිපයක්ම බලපෑවේය. ජපානය, චීනය, තායිලන්තය ඇතුළු බොහෝ දියණු රටවල සේවක සේවිකාවන් තම සේවාස්ථානයට ඇඳ එනු ලබන්නේ ඔවුන්ගේ සම්ප්‍රදායික ඇඳුම නොවේ. ඒ වෙනුවෙන් ඔවුන් අඳිනු ලබන්නේ ස්මාට් ඇඳුම්ය. ඒ පහසු, සංවර ඇඳුම්ය. එවැනි සංවර සහ පහසු ඇඳුමක් හඳුන්වාදීමට ඔවුහු තීරණය කළහ. අලුත් ඇඳුමට කාර්යාලයේ නිලධාරිනියන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතී. ඔවුන්ට එය පහසු මෙන්ම ලාභදායක වේ. සාරියක් මිලදී ගනිද්දී එය මිලෙන් ඉහළය. වර්තමානයේදී පවතින ආර්ථිකයත් සමඟ රාජ්‍ය සේවකයන්ට ලැබෙන වැටුපෙන් සාරි මිලදී ගැනීමට නොහැකිය. එපමණක් නොව සාරි හැට්ටය මැසීමට වෙනම වියදමක් දැරීමට සිදුවේ. මේ සියල්ල සලකා බැලීමේදී වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නිලධාරිනියන්ට හඳුන්වා දී ඇති නව නිල අඳුම ඉතා ලාභදායී වේ.
''නව නිල ඇඳුම සේදීමෙන් පසුව ඉතා ඉක්මනින් වියළී යනවා. ඒකත් අපේ නිලධාරිනියන්ට පහසුවක් වෙලා තිබෙනවා. මේ දිනවල රටේ පවතින විදුලි බිලටත් මෙය විශාල පහසුවක් වෙනවා. මේ නිල ඇඳුමට යොදාගන්නා රෙදි වර්ගය ඉතා ඉක්මනින් පොඩිවීමක් සිදුවෙන්නේ නැහැ. ඒ අනුව ඉස්ත්රික්ක නොකරම මෙම නිල ඇඳුම ඇඳීමේ හැකියාව පවතිනවා. එයද නිවසේ විදුලි බිලට සහනයක් ගෙන එනවා. හෑල්ඩ්ලූම් ඇතුළු ඇතැම් සාරිවර්ග ඉස්ත්රික්ක කිරීමේදී වැයවන විදුලිය බිල අඩුකරගන්නටත් මෙය හේතු වෙනවා. ඉස්ත්රික්ක නොකරම ඇඳීමට හැකි රෙදි වර්ගයකින් මෙම නිල ඇඳුම මසා ගැනීමට හැකියාව පවතිනවා. එයද අපේ ප්‍රදේශයේම ව්‍යවසායකයෙකුට අපි බාරදීලා තිබෙනවා. වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියන් එකසිය අසූවක් පමණ සේවය කරනවා.''
යැයි වරකාපොළ ප්‍රාදේශීය ලේකම් රංගන සජීව අත්තනායක මහතා වැඩිදුරටත් දේශයට අදහස් දක්වමින් පැවසීය.
විශාල ජනගහනයක් ජීවත්වන වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ජනතාවට අවශ්‍ය සේවාව ලබාදීමට බැඳී සිටින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන නිලධාරිනියන් මේ වනවිට සඳුදා සහ බදාදා දිනයන්හි අඳිනු ලබන්නේ නව නිල අඳුමය. එයද අත්‍යවශ්‍ය නොවේ. ඇතැමුන් සාරියම ඒ දිනවලදීද ඇන්දද නව නිල ඇඳුමට ප්‍රිය නිලධාරිනියන් සංඛ්‍යාව වැඩිය. සිකුරාදා දිනයන්හි ඔවුන් සුපුරුදු පරිදි අඳිනු ලබන්නේ පෙර පරිදිම ඔවුන්ට වෙන්වුණ ටී ෂර්ට් එකය. අංශවලට වෙන්වුණ ටී ෂර්ට් එකක්ද ඇත. සාරියම ඇඳීමට කැමැති අයට සතියේ දින පහේම සාරි ඇඳීමට අවසරය ලබා දී ඇත.
මේ අනුව රුපියල් එක්දහස් පන්සියයක් වැනි මිලකට ලැබුණ මේ නිල ඇඳුමට වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතී. සාරි ඇඳ උදෑසන දුම්රියෙන්, බස් රථවලින් සේවා ස්ථානයට පැමිණෙනවාට වඩා කඩිනමින්, ප්‍රමාද නොවී කාර්යාලයට පැමිණිය හැකි බව ඔවුන්ගේ අදහසයි.
''සාරියකට වැයවන පිරිවැයට වඩා ඉතා අඩු මුදලකින් මේ නව නිල ඇඳුම ලබාගත හැකි බව අපේ නිලධාරිනියන් පවසනවා. ඒ වෙනුවෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සාරියක් මිලදී ගනිද්දී රුපියල් හාරදහසකට අධික මිලක් වැයවෙනවා. ඊට අමතරව සාරි හැට්ටය මැසීම ඇතුළු අනෙකුත් දෑ වෙනුවෙන් අමතර මුදලක් වැයවෙනවා. ඒ මුදලට ඉතාම අඩුවෙන් මේ නව නිල ඇඳුම් දෙකක් මිලදී ගන්න පුළුවන්. එක් බ්ලවුස් එකක් අපි රුපියල් එක්දාස් පන්සීයකට ලබාදෙනවා. ආයතනයේ සුබසාධක සංගමය මගින් ලබාදෙන මෙය කොටස් වශයෙන් වුණත් ගෙවීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා මෙය අපේ නිලධාරිනියන්ට ඉතා පහසුවක්. නමුත් මෙය අත්‍යවශ්‍යම වන්නේත් නැහැ.''
යැයි වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකාර සේවා නිලධාරිනී ප්‍රියදර්ශනී ජයවීර මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසීය.
I දිශානි ජයමාලි කරුණාරත්න