එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා සහ මොහිදීන් බෙග් යන ජනකාන්ත ගායකයන් තිදෙනා එක්ව ගැයූ ''හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ'' ගීතය ඇතුළත් වූයේ, 1970 දී තිරගත වූ ''දැන් මතකද'' චිත්‍රපටයටය.
ඉන් දශක ගණනාවකට පසු, මේ ගීතයට නව පණක් ආවේ එම්.ජී. ධනුෂ්ක නමැති තරුණ ගායකයා විසින් රියැලිටි ප්‍රසංගයකදී එය ගැයීමෙන් පසුවය.
කලක් ''දවස'' පුවත්පතේ කර්තෘවරයාවද සිටි සිරිල් ඒ. සීලවිමල විසින් රචනා කෙරුණු ''හිස් ටින්'' ගීතයේ එක් කොටසකි මේ.
නැති බැරි එකා තල්ලු වෙනවා
පුළුවන් මිනිහා හිනහා වෙනවා
වැටි වැටි වුණත් නැගිටිනවා
මගේ බලෙත් මං පෙන්නනවා
මෙසේ කියන්නේ කිසි වාසියක් නැති, අතේ සල්ලිත් නැති, හාමතේ සිටින මිනිසුන්ය. එතකොට ජීවිතේ හිස් ටින් එකක් වගේය.
ගීතයේ ''වැටි වැටී'' පද ''වැට් වැට්'' යනුවෙන් වෙනස් කරගතහොත් අදට අදාළ වෙයි.
ටින් යනු එදා තිබූ බෙලෙක්ක ටින් එක නොවේ. සිරි ලංකාවේ වෙසෙන වයස 18ට වැඩි හැමදෙනාම විසින් ලබාගත යුතු බදු ගෙවන්නා හඳුනා ගැනිමේ අංකයයි. (Tax identification number) ඒ නිසා ''ටින්'' කියූ සැණින් මතකයට එන්නේ බදු ගෙවිය යුතු බවය.
ඔන්ලයින් පනත සම්මත වුවහොත් ටින් එක ගැන කතා කිරීම පමණක් නොව ''හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ'' ගීතය ප්‍රචාරය කිරිමද තහනම් කෙරෙනු ඇත. ''දැන් මතකද?'' වෙනුවට කියන්නට වනුයේ ''දැන් සැපද?'' කියාය.
මිනිස් ජීවිත හිස් ටින් බවට පත්වීම මහා අපරාධයකි. ඒ මදිවාට ඒ ''හිස් ටින්'' වලට අංකයක් දී බදු අය කිරීමට යාම මහ පොළොව නුහුලන අපරාධයකි.
රටක පැවැත්මට රජයට බදු අය කළ යුතු වන බව ඇත්තය. එහෙත් ඒ සඳහා බදු ගෙවිය හැකි මට්ටමේ ජනතාවක් රට තුළ සිටිය යුතුය. දැන් සිදුවී ඇත්තේ හිඟන්නාගේ හිස් ටින් එකට ටැක්ස් හෙනහුරා පාත්වීමකි. අවසානයේදී අපටත් කියන්නට සිදුවනුයේ චින්තන ජයසේන, ඔහුගේ ''කොළම'' නම් තීරු පත්තරේ ලියුවාක් මෙන් ''ඇත්තෝ කති, බොති, සුඛති, නැත්තෝ විරවති'' යනුවෙනි.
ගීත රචක සීලවිමලට ජීවිතය හිස් ටින් එකක් වූ අතර, රාජේෂ් ඛන්නාගේ දියණිය ට්වින්කල් ඛන්නාට ජීවිතය සරුංගලයක් සේ පෙනී ගියේය.
ට්වින්කල් ඛන්නා නිළියක, නිෂ්පාදිකාවක පමණක් නොව ප්‍රකට ලේඛිකාවකද වූවාය. ඇය ලියූ තීරු ලිපිද පාඨක ප්‍රසාදයට ලක්විය. 2015දී ට්වින්කල් ලියූ Mrs. Funnybones නමැති විවිධ ලිපි එකතුව, පිටපත් ලක්ෂයකට වඩා අලෙවි වූයේ, ඇය එම වසරේ ඉන්දීය ලේඛිකාවන් අතර ඉහළම තැනට (අලෙවි ලැයිස්තුවේ) ගෙන යමිනි. විවිධ මාතෘකා යටතේ ලියැවුණු, ''මිසිස් ෆනිබෝන්ස්'' හි එක තැනක මෙසේ සඳහන් වෙයි.
''ජීවිතය සරුංගලයක් බඳුය. ඇතැම් විට එහි නූල ලිහිල්ව තබාගත යුතුවෙයි. තවත් විටෙක තදින් අල්ලා ගත යුතුය. විටෙක එය නිදහසේ පාවී යයි. එසේම විටෙක ඔබට එය පාලනය කරගත නොහැකිසේ වේගයෙන් ඈතට ඇදෙයි. එවිට නූලට ඔබේ අතැඟිලි කැපෙන්නටද ඉඩ ඇත. සුළඟ සරුංගලය ඩැහැ ගැනීමට තැත් කළත් ඔබ ඊට ඉඩ නොදී එය රුකගත යුතුය.''
සිරි ලංකාවේ ජනතාවගේ ජීවිතයද මේ දිනවල උඩු සුළඟට හසුව කැරකෙන සරුංගලයකි. එහි නූල් පන්දුව ඇත්තේ වෙනත් අතකය. සරුංගලය කැඩී ගියත්, කූරියා ගැසුවත් ඒ අතට ගාණක් නැති සේය.
ඒ බලගතු හස්තයේ ඉංග්‍රීසි අකුරු තුනක් කොටා (ටැටූ) තිබෙනු පෙනේ. සිරිලංකා අහසේ පාවෙන සරුංගලය, තරු සහ පටිවලින් අලංකාර වී ඇත. කලකට පෙර දුටු ඉන්දියානු හා චීන සරුංගල් දැන් එහි දක්නට ඇත්තේ බොහෝ පහතිනි. අපේ ජීවිත සරුංගලය පාලනය කිරීම දැන් අපට අහිමි වී ඇති සැටියකි. එහෙත් අපේ ඇඟිලි කැපී ලේ ගලයි.
අනුන්ගේ සරුංගලයක වලිගයක් නොවෙන්නැයි කියමනක් ඇත. ඒ නිදහස සම්බන්ධයෙනි. පෙබරවාරි 04දා අපි තවමත් නිදහස සමරමු. එහෙත් ඒ අනුන්ගේ සරුංගල් වලිගයක එල්ලීගෙනය.
කිසියම් රටක මුහුදු තීරයක ඇමෙරිකානුවෙක්, චීනෙක් සහ සිරි ලාංකිකයෙක්, මත්පැන් බොමින් සිටියහ. ඈත අහසේ පාවෙන සරුංගලයක් දුටු චීනා මෙසේ කීය.
''සරුංගලය නිර්මාණය කෙරුවෙ අපි.''
''ඕක මොකද්ද... රොකට් එක හැදුවෙ අපි'' ඇමෙරිකානුවා සරදම් කළේය.
''අපි නැත්තං තමුසෙලට ඕවා කරන්න වෙන්නෙ නෑ...''
සිරි ලාංකිකයා ආඩම්බරයෙන් කීය.
''ඒ මොකද?''
චීනා සහ ඇමෙරිකානුවා ඇසූහ.
''අහස හොයාගත්තෙ අපි.''
සිරි ලාංකිකයා කීය.
I කපිල කුමාර කාලිංග