2024 ජනවාරි 27 වන සෙනසුරාදා

වැරදි ආහාර පුරුදුවලට හොඳම විසඳුම් ලබාදෙන වෙදගෙදර නිපැයුම් ව්‍යවසායකයෝ

 2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 141

නව ව්‍යාපාර ගොඩනගන්නේ සමාජ ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීමට දරන උත්සාහයන් තුළ.  මේ කතාව ශ්‍රී ලාංකික ජන සමාජයේ පවතින ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුවකට විසඳුම් සොයා ගොඩනගපු ව්‍යවසායක් පිළිබඳව. මේ ව්‍යවසාය ගොඩනගන්නේ බාලයේ පටන් එකට සිටි මිතුරන් තිදෙනෙක්.

ශ්‍රී ලංකාව තුළ බුලත්විට සඳහා මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙන සාර්ථකම විකල්පය, මෙම මිතුරු හවුල ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තමා "ඔසුවිට". ඔසුවිට නිෂ්පාදනය කරන්නෙ වෙද ගෙදර නිෂ්පාදකයෝ පෞද්ගලික සමාගම.
අපිට මේ කතාව කියන්න ඉදිරිපත් වුණේ චමින්ද රූපසේන. ඔහු මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ අයෙක්. 

“අපි මිතුරන් තුන්දෙනෙක් එකතුවෙලා වෙදගෙදර නිෂ්පාදකයෝ පෞද්ගලික සමාගම නිර්මාණය කළා. ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවෙක් වන ඉන්දික සිල්වෙස්ටර් සහ උපාධිධාරී ගුරුවරයෙක් වන  චානක රණසිංහ එක්ක මාත් මේ වැඩේට එකතු වුණා. මේ වෙනකොට චානක පෞද්ගලික හේතුවක් නිසා ව්‍යාපාරයෙන් ඉවත්වෙලා තියෙනවා. මාත් ඉන්දිකත් මේ ව්‍යාපාරය සිදු කරනවා."

මේ වෙනකොටත් ඔබ ඔසුවිට සහ වෙද ගෙදර නිෂ්පාදන පිළිබඳ දැනගෙන ඉන්න තියෙන ඉඩකඩ වැඩියි. මෙහි ආරම්භය පිළිබඳ ඇත්තේ ආකර්ශනීය කතාවක්.

“අපි විශේෂයෙන්ම දැක්කා බුලත්විට නිසා අපේ පරිසරය අපවිත්‍ර වෙන විදිහ. ඒ වගේම බුලත්විට නිසා මුඛ පිළිකා ඇතිවීම පිළිබඳ ගැටලුව. ඒත් නරක පුරුද්දකින් මිනිසුන්ට ඉවත් වෙන්න කියන එක ඉතාමත්  අපහසු  දෙයක් බව අපි තේරුම් ගත්තා. ඒ නිසා අපි විකල්පයක් හෙව්වා. එතකොට තමා මේ අදහස ආවේ"

මෙම නව ව්‍යවසායකයන් සොයාගත් විසඳුම "ඔසුවිට" යි. තමන්ගේ රැකියාවලින් ලැබෙන වේතනය නව ව්‍යාපාර මත ආයෝජනය කිරීමේ බරපතළ තීරණය ඔවුන් ලබාගන්නවා.

“අපිට ඕනෑ වුණේ රටම පිළිගන්න වෙළෙඳ සන්නාමයක් හදන්න. අපි විශාල අධ්‍යයනයක් කළා. දැනුම එකතු කළා. අපිට මේ නිෂ්පාදන සඳහා නිසි අනුමැතියක් ලබාගැනීම අත්‍යවශ්‍ය වුණා. අවංකව මේ සමාජ ප්‍රශ්නයට විසඳුමක් හොයනවා නම්, අපි ජනතාව ඉදිරියට යන්න ඕනෑ පිළිගැනීමක් සහිතව."

“ඔසුවිට" ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් වෛද්‍ය නිර්දේශයකින් තොරව භාවිත කළ හැකි ඖෂධයක් විදිහට නිර්දේශ කරන ලද නිෂ්පාදනයක්. ඔසුවිට සඳහා මේ වෙනකොටත් ISO 22000, GMP, HACCP වගේ තත්ත්ව සහතික ලැබී තිබෙනවා.
චමින්ද සහ ඉන්දික සඳහන් කරන විදිහට මේ නිෂ්පාදන ඉතා සුවිශේෂීයි.

“ඔසුවිට" මුඛ රෝග සුව කරන ඖෂධයක්. ඒ වගේම ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නංවන්නත් ඔසුවිට හේතු වෙනවා. විශේෂම දේ තමා සාමාන්‍ය බුලත්විටකින් ඔබ බලාපොරොත්තු වෙනවට වඩා හොඳින්, ඔබේ පාළුව කාන්සිය නිදිමත මකා ගන්නත් ඔසුවිටෙන් පුළුවන්." 

අරළු, බුලු, නෙල්ලි, මී පැණි, අරත්ත, කරාබුනැටි, වැල්මී,  ඉඟුරු පියලි, එනසාල්, මූණමල් පොතු, ඉඟුරු, සාදික්කා, කුරුඳු ආදී දේශීය ඖෂධ රැසක් "ඔසුවිට" තුළ අන්තර්ගතයි.

මේ වෙනකොට මෙම ව්‍යවසායකයන් තවත් නිෂ්පාදන සිදුකරමින් ඉන්නවා. විශාල සමාජ ගැටලුවක් වෙලා තියෙන අධික සීනි ඇතුළත් රසකැවිලි වෙනුවට විකල්පයක් වෙද ගෙදර නිෂ්පාදකයෝ හඳුන්වලා දීලා තියෙනවා. මෙයත් පෙරුළිකාර නිෂ්පාදනයක්. අද ලංකාවේ බොහෝ සුපිරි වෙළෙඳසල්වල වෙදගෙදර නිෂ්පාදන අලෙවි වෙනවා.

“GARSY කියලා කියන්නේ හර්බල් ටෝෆී එකක්. මේක රස කැවිලි නිෂ්පාදනයේ වෙනස්ම සොයාගැනීමක්. ශරීරයේ මේද දහනය වෙන්න, සිහින් සිරුරක් ලැබෙන්න මේ ටොෆී එකේ අඩංගු අමුද්‍රව්‍ය හේතු වෙනවා. අපේ ප්‍රධානම අමුද්‍රව්‍ය ගොරකා. මේ වෙනකොට GARSY විදේශීය වෙළෙඳපොළවල් වෙතත් අපනයනය කෙරෙනවා."

මෙවැනි නිෂ්පාදන නිසාවෙන්ම වයඹ පළාත් කර්මාන්ත තරගාවලියේ දෙවැනි ස්ථානය ලබාගන්න මේ ව්‍යවසායකයන් දෙදෙනා සමත්වෙලා තියෙනවා. අද ලංකාවේ බොහෝ සුපිරි වෙළඳසැල්වල මේ නිශ්පාදන අළවි වෙනවා.

“අපි ආපු ගමනට විශාල පිරිසක් උදව් කළා. ඒ හැමදෙනාම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනෑ. අපේ ආයුර්වේද වෛද්‍ය අනුරුද්ධිකා ජයසුන්දර මහත්මිය, ITI ආයතනය, ආයුර්වේද අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව ඇතුළු සියලු පාර්ශ්වත් අපි ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා.

මේ ව්‍යවසායකයන් පවසන විදිහට ඔවුන්ගේ අරමුණ අයහපත් ආහාර පුරුදු සඳහා හොඳම විකල්ප සහිත ආයතනයක් බවට පත්වීමයි. ඒ සඳහා ඔවුන් සායනික පර්‌ යේෂණ සහ අධ්‍යයන රැසක් කරමින් ඉන්නවා. ලොව නම දිනූ ආයතනයක් බවට පත්වීමටත්, ලංකාවට අපනයන ආදායමක් ලැබෙන නිෂ්පාදන බිහිකිරීමටත් මේ ව්‍යවසායකයන් සූදානම්. නිසැකයෙන්ම එය ඔවුනට කළ හැක්කක්.