පුද්ගලයෙකුගේ උපන් වේලාවට අනුව සැකසෙන ජන්ම පත‍්‍රය නැතිනම් කටවහරට හුරු “කේන්දරය” පිළිබඳව ජනසමාජය තුළ පවතිනුයේ පරස්පර විරෝධි මතයන්ය. සමහරෙකු කේන්දරය හිස් මුදුනින් පිළිගන්නා විට තවෙකෙකු එය ප‍්‍රතික්ෂේප කරති. නූතන තාක්ෂණික පරිවර්තනයන් හමුවේ වුවද සුබ නැකැත් වේලාවන්, රාහු කාලය, මරු සිටින දිසාවල පොරොන්දන් ගැලපීම, අනාවැකි පැවසීම ආදිය කෙරෙහි තවමත් සමහරෙකු විශ්වාසයෙන් පසුවෙති.
එහෙත් අනාදිමත් කාලයක පටන් මෙරට ජන සමාජය තුළ මුල්බැස ඇති ජෝතිෂ්‍යය නොඑසේනම් නක්ෂත‍්‍රය එකහෙලා බැහැර කළ නොහැකිව පවතී. සමහරක් දෛවඥයින් විසින් ඵලකරන අනාවැකි නිශ්චිතවම ඵලදරන අවස්ථාවන් විටින් විට වාර්තා වීමද මෙහි විශ්වසනීයත්වය තහවුරු කිරීමට හේතුවී තිබේ. ඒ සඳහා දෙස්දෙන සිදුවීමක් ඉකුත්දා අනුරාධපුරය, මිහින්තලය, “දොරමඩලාව” ගම්මැද්දෙන් වාර්තා විය.
අගනුවර, මොරටුව ප‍්‍රදේශයේ, සොයිසා පාරේ පදිංචිව සිට ඇති දාහතර වියැති ඩී.ඒ. උපේක්ෂා සෙව්වන්දි දැරිය ඉකුත් අෙප්‍ර්ල් මාසයේදී සිය මව්පියන් හා සහෝදරියන් සමඟ මිහින්තලය දොරමඩලාව ගමට පැමිණ ඇත්තේ එහි ජීවත්වන සිය ආච්චි අම්මාට සහ සීයාට අලුත් අවුරුද්දට බුලත් දීම සඳහාය. දියණියට මාරක අපලයක් තිබෙන බවට හඳහන පරීක්ෂා කළ දෛවඥයා මවුපියන්ට පැවසීම නිසා අපල කාලයෙන් ඇය ආරක්ෂා කිරීමට ආච්චි අම්මාට බාරදී ඇත්තේ එසේ පැමිණි ගමන අතරවාරයේදීය. විවිධ අපහසුතා මධ්‍යයේ වුවත් ආච්චි හා සීයා සමග දොරමඩලාව ගමේ කුඩා නිවසේ වයස ඉක්මවා පෙනුමෙන් මුහුකුරා ගිය උපේක්ෂා නැවතී ඇත්තේ මාරයා එන මඟ වළකනු සඳහාය.
එහෙත් එසේ සිටිය දී විසකුරු පොළඟෙකු දෂ්ට කිරීම හේතුවෙන් එම දැරිය මරුවැළඳ ගෙන ඇත්තේ දෛවඥයා පලකළ අනාවැකිය සඵල කරවමිනි. පොළොන් විෂ ශරීරගත වීමෙන් බරපතළ තත්ත්වයෙන් පසුවී දින කිහිපයක් අනුරාධපුරය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී දැරිය ඉකුත් මැයි මස 26 වැනිදා ජීවිතක්ෂයට පත්ව ඇත.
දැරියගේ සීයා වන “ඒ.ජී. ධනසිරි” මහතා මිණිබිරියට අත්වූ ශෝචනීය ඉරණම පිළිබඳව මෙසේ පැවසුවේය.
“මොරටුවේ ඉන්න කොට එහේ කෙනෙක්ගෙන් දුවගේ කේන්දරය බලලා තියෙනවා. එතනදී තමයි කියලා තියෙන්නේ මාරක අපලයක් තියෙනවා බල්ලන්ගෙන්, පූසන්ගෙන්, සර්පයින්ගෙන්, වාහන වලින් පරිස්සම් කරගන්න කියලා. පහුගිය අවුරුද්දට කට්ටිය මෙහෙ ආපු වෙලේ මෙහෙම දෙයක් තියෙනවා කියලා අපිට කිව්වා. මිනිබිරීගෙන් එයාගේ තාත්තටත් අපලයි කියලා තිබුණා. පස්සේ අපි කතාවෙලා ටික කාලෙකට ළමයා මෙහේ නවත්ත ගත්තා. හොඳට හිටියා. අපිත් එක්ක උඩමළු වදින්නත් ගියා. කොතන ගියත් අපිත් එක්කමයි හිටියේ. එදා හවස නාන්ඩ ගිහින් එන ගමන් තමයි මේ දේ වුණේ. පුදුම නරක වෙලාවක් ඒක. අපි මුලින් හිතුවේ පූසෙක් හැපුවා කියලා. මිනිබිරී කිව්වෙත් එහෙමයි. ඉස්පිරිතාලෙට ගෙනිච්චට පස්සේ තමයි සිද්ධ වුණදේ දැනගත්තේ.”
මියගිය උපේක්ෂා සිය මාමාල සීයා හා ආච්චි සමඟ ඉකුත් මැයි විසිවැනි දින රාත‍්‍රි හතට පමණ දොරමඬලාව, උණ්ඩියාගම වැවේ දියනෑමට ගොස් මානා පඳුරු සහිත කැලයක් දෙපස පිහිටි අතුරු මාර්ගයෙන් නිවසට පැමිණෙමින් සිටිය දී මානා කැලෑවේ සිටි පොළඟෙකු අඩි පාරට පැමිණ දැරියගේ පාදයට දෂ්ඨකර කැලෑවට ගොස් තිබේ. දැරියගේ පාදයේ පිට පත්ලට පොළඟා දෂ්ට කර ඇති අතර, දැරිය ආච්චි අම්මාට පවසා පවසා ඇත්තේ පූසකු කකුල සූරනු දුටු බවය. ඥාතීන් සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කරද්දී මාර්ගය ආසන්නයේ පූසකු සිටින අයුරුද දැකීම හේතුවෙන් දැරියව පූසා සූරන්නට ඇති බවට ඔවුන්ද අනුමාන කර ඇත.
එහෙත් දැරිය හදිසියේම රෝගාතුර වීමෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන විත් ඇති අතර, එහිදී කළ පරීක්ෂාවන්ට අනුව වෛද්‍යවරුන් ඇයගේ පාදයේ සිදුරු වූ ලේ පැල්ලම් සහිත ස්ථාන දෙකක් දැක විසකුරු සර්පයෙක් දැරියට දෂ්ට කර ඇති බව නිගමනය කර ඇත. ඥාතීන් පසු දිනයේ දැරියට සර්පයා දෂ්ට කළ බව පැවසෙන ස්ථානය පරීක්ෂා කරනවිටත් එහි පොළඟා සිටියදී පොලුවලින් පහර දී මරා දමා තිබේ.
ප‍්‍රදේශවාසීන් පැවසුයේ පමා නොවී දැරිය රෝහල වෙත ගෙන ගියේනම් මෙවන් විපතක් සිදුනොවීමට ඉඩ තිබූ බවය. එහෙත් කලකින් වැහි පොදක් හෝ නොවැටුණු, අළු දුලි විසිරෙන දොරමඩලාව ගම්මැද්ද මතදී මාරයා ඇයට පාර වරද්දන්නට ඇති බව තවෙකුගේ අදහස වී ඇත. දැරිය රෝහල් ගතකොට සිටියදීද මිහින්තලය ප‍්‍රදේශයේ දෛවඥයෙකු වෙතින් දැරියගේ කේන්දරය පරීක්ෂා කොට ඇත. එහිදී ඔහුද ඥාතීන්ට පවසා ඇත්තේ ද දැරියට මේ වකවානුව බරපතළ විපත් දෙන කාලයක් බවය. එහිදී ලැබුණු උපදෙස්වලට ගම් මායිමේ පිහිටි ඓතිහාසික දොරමඩලාව විහාරස්ථානයේ දී සෙත් කවියක් කියවීමට අවශ්‍ය කටයුතු ඥාතීන් විසින් පිළියෙල කොට ඇත.
එහෙත් සෙත් කවිය කියන්නට කටයුතු පිලියෙල කළ දිනට පෙර කෑලි කැපිය හැකි තරමට අඳුර මෝරා ආ රාත‍්‍රියේ, වෙසක් අඩ සඳ නිහඬ මූසල මැදියමේ අඳුරු වළාවකින් වැසී යත්ම ඇය කාටත් රහසේ නික්ම ගොස් තිබිණි. දැරියගේ දේහය ඇය පදිංචිව සිට ඇති මොරටුවල සොයිසා පෙදෙසට ගෙන යනු ලදුව එහිදී අවසන් කටයුතු සිදුකොට ඇත. සෙත් කවි ආදිය කියවීම මගින් දැරියට යම් සහනයක් ලබාගත හැකිව තිබුණේදැයි කළ විමසීමක දී දොරමඩලාව රාජමහා විහාරාධිපති පුජ්‍ය පමුණුවේ සුමනජෝති හිමියන් පැවසූයේ මෙවැනි අදහසකි.
“මෙවැනි දේවල්වලින් ලැබිය හැකි මානසික සැනසීම අතිවිශාලයි. බොහෝ දෙනෙක්ගේ බලාපොරොත්තුවත් ඒකමයි. ඒත් බුදුදහමට අනුව කෙනෙක්ගේ කර්ම විපාකය මෙවැනි දේවල් තුළින් වළකන්න පුළුවන්ද කියන එක ගැටලුවක්. ඇත්තටම ඒක ඉතාම අසීරු කාරණයක්. බුද්ධ කාලයේදීත් මුගලන් හාමුදුරුවන්ටත් කර්මය විපාක දුන්නා. මේ යථාර්ථය අපි තේරුම් ගන්ඩ ඕන. අපි ඉන්න කාලය දැහැමින් ගත කරන එක තමයි වඩාම සුදුසු.”
අප කිසිවෙකුට නියත දහමට අවසඟ යා නොහැකි වග සත්‍යයකි. ලොව සියලු ධර්මයන්ට අනුව කුසල් කරන්නේනම් සුබ ඵලත් අකුසල් කරන්නේ නම් අකුසල් කර්මත් පෙරළා ප්‍රතිඵල ලෙස භුක්ති විඳින්නට ලැබේ. එහෙයින් යහපත් දෙයහි යෙදීම යහපත ප්‍රීතියට හේතුවන බව අපි සිහිපත් කර සිටිමු.
සටහන හා සේයාරූ - තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග