ප්‍රියසාද් එදිරිවර්ණ ශ්‍රී ලාංකීය පශු වෛද්‍යවරයෙකි. ඔහු මේ වන විට ජීවත් වන්නේ පාකිස්තානයේ කරච්චි නුවරය. පාකිස්තානයේ සත්වෝද්‍යාන දෙකක, කුරුළු උයනක සහ අභිජනන මධ්‍යස්ථානයක ප්‍රධාන පශු වෛද්‍යවරයා ලෙසින් සේවය කරන ප්‍රියසාද් 2023 වසරේ ජූනි 19 වැනිදා පාකිස්තානයට යනතුරු ශ්‍රී ලංකාවේ වෙසෙන සත්වයන්ට ආදරය කළ සැබෑම පශු වෛද්‍යවරයෙකි. දෙස් විදෙස් සත්වලෝලීන්ගේ ආදරය අදටත් දිනාගත් රිදීගම සෆාරි උද්‍යානයේ ජීවත් වන 'ඩොරා' නම් සිංහයාගේ ආදරණීය මිත්‍රයා වන්නේ ද ප්‍රියසාද් එදිරිවර්ණ පශු වෛද්‍යවරයාය. පාකිස්ථානයේ සේවය කරන ප්‍රියසාද් එදිරිවර්ණ යටතේ සේවය කරන අනිත් සියලුම පශු වෛද්‍යවරු පාකිස්තානුවෝ වෙති.
පසුගිය දින කිහිපය පුරාවට පාකිස්තානයේ ඇති සියලුම විද්‍යුත් නාළිකාවල ශ්‍රී ලාංකික පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ ප්‍රධාන ප්‍රවෘත්තියක් විය. එයට හේතුව වන්නේ පාකිස්තානයේ 'Dan' සත්වෝද්‍යානයේ සුදු සිංහ පැටවුන් හයදෙනකු බිහිකිරීමට සිංහ මවකට හැකියාව ලැබීමය.
''සුදු සිංහයන් ස්වභාවිකව පරිසරයේ ජීවත්වෙන අයයි. බොහෝ දෙනකුගේ මතය වන්නේ සුදු සිංහයන් ඇලි භාවයට අයත් වෙනව කියලයි. නමුත් සුදු සිංහයන් ප්‍රබල සත්ව වර්ගයක්. මොවුන් සහ අප්‍රිකානු සිංහයන් දෙගොල්ලන්ම එකම විශේෂයයි. ඔවුන්ගේ වර්ණය පමණක් වෙනස් වෙනවා. සුදු සිංහයන් නැරඹීමට බොහෝ සංචාරකයන් කැමතියි. නමුත් සුදු සිංහ පැටව් ඉපදුණාට පසුව බහුතරයක් මිය යාමේ ප්‍රවණතාවයක් පවතිනවා. ප්‍රතිශතයක් වශයෙන් 10' - 20' කට වැඩියි. ඉතා අඩු ප්‍රතිශතයක් ජීවත් වුවත් මිය යාමේ ප්‍රවණතාවය වැඩියි. පාකිස්තානු සත්වෝද්යානයෙත් පසුගිය කාලයේදී කිහිප වතාවක්ම සුදු සිංහ පැටවුන් බිහිවුණත් ඔවුන්ද මියගොස් තිබුණා. කොහොම වුණත් මෙවර සුදු සිංහ පැටවුන් හයදෙනෙක් ඉපදුණා. ඒක මට දරාගන්න බැරිවුණා. අද වන විට ඒ පැටවුන් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා.'' යැයි පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ මහතා දේශයට අදහස් දැක්වීය.
මේ වන විට එම පැටවුන් මාසයක් සපුරා අවසන්ය. පාකිස්තානයේ පශු වෛද්‍ය ප්‍රියසාද් ඇතුළු ඔහු යටතේ සේවය කරන පශු වෛද්‍යවරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය සත්වයන් අභිජනනය කිරීම, රුකබලා ගැනීම ඇතුළු සතුන්ට උපරිමයෙන්ම ආදරය ලබා දෙන කණ්ඩායමකි. එයට හොඳම උදාහරණය වන්නේ මෙම සුදු සිංහ පැටවුන් හයදෙනාය. මෙය දකුණු ආසියාවේ දැනට වාර්තා වී ඇති එක වරකට ලැබුණු වැඩිම සිංහ පැටවුන් සංඛ්‍යාවයි. නමුත් මේ වනතුරු ඒ පැටවුන් හයදෙනාම සංචාරකයන්ට නැරඹීමට අවස්ථාව ලබා දී නොමැත. ඒ පැටවුන්ගේ ආරක්ෂාව ගැන සැලකිල්ලෙනි. පැටවුන්ට මාස එකහමාරක් අවසන් වූ පසුව විවෘත කලාපයට මුදාහැරීමට හැකියාවක් ඇති බව පශු වෛද්‍ය ප්‍රියසාද් පැවසුවේය.
''තවමත් පැටව් හයම ආහාරය සඳහා ගනු ලබන්නේ සිංහ මවගේ කිරියි. සාමාන්‍යයෙන් සිංහ මවකගේ ඇත්තේ තන පුඩු හතරයි. පැටවු හයදෙනෙක් ඉපදුණාට පස්සේ පැටවු දෙන්නෙක්ට අවස්ථාව අඩුවෙනවා. නමුත් ආර්යා (Arya) නම් මෙම සිංහ මවට තන පුඩු හයක් පිහිටලා තියෙනවා. එය විශේෂම සිදුවීමක් වෙනවා. ඒ නිසා මේ පැටවුන් හය දෙනාටම කිරි එකවර බීමට හැකියාවක් ලැබෙනවා. කැමරා මාර්ගයෙන් පැටවුන්ගේ කිරි බීම පිළිබඳව අපි නිරන්තරයෙන් අධ්‍යයනය කරනවා. ඒ වගේම පැටවුන්ගේ කිරි බීමේදී වෙනමම නිලධාරියෙක් යොදා පැටවුන් ගැන අධ්‍යයනය කරනවා. ඒවා සටහන් තබා ගන්නවා. පැටවුන්ගේ මව සහ පියා දෙදෙනාම සුදු සිංහයන්.'' යැයි පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ මහතා කියයි.
පැටවුන් හයදෙනාගේ සිංහ මව ආර්යා (Arya) වන අතර සිංහ පියා වූයේ ඩ්රගෝ (Drago) ය. දෙසැම්බර් 23 වැනිදා රාත්‍රියේ දහයට පමණ පශු වෛද්‍ය ප්‍රියසාද්ට සත්වෝද්‍යානයෙන් හදිසි ඇමැතුමක් ලැබුණි. ආර්යාගේ විශාල කුස පෙර සිටම පරීක්ෂා කළ පශු වෛද්‍ය ප්‍රියසාද් මෙවර ආර්යා පැටවුන් දෙදෙනකුට වඩා බිහි කරාවි යැයි අනුමාන කර තිබිණි. නමුත් ඒ වන විට පශු වෛද්‍ය ප්‍රියසාද් එකවර සිංහ පැටවු හතරක් බිහි කළ අවස්ථාවක් ජීවිත කාලයේ දැක තිබුණේ නැත. ඒ නිසාම ආර්යා පැටවුන් හතරක් බිහි කරනු ඇතැයි බලාපොරොත්තු විය. පළමු පැටවා බිහිවී පැයකින් පමණ සිංහ ධේනුව දෙවැනි පැටවා බිහි කළාය. එලෙස වරින් වර පැටවුන් හතරක් සිංහ මව බිහි කළාය. ආර්යා පහුවදා පාන්දර පහට පස්වැනි පැටවාත් තවත් පැයකින් හයවැනි පැටවාත් බිහි කළාය. පැටවුන් හයදෙනා දෙස බලා සිටි වෛද්‍ය කණ්ඩායම ඇතුළු කාර්ය මණ්ඩලයට බියක් ඇතිවුණි. ඒ පැටවුන්ගේ ජීවිත සහ ආර්යාගේ ජීවිතය අවදානමකට ලක්වේ යැයි සිතමිනි.
''පැටවුන් බිහිවුණාට පස්සේ අපි කැමරා මගින් කෙටි දර්ශන සහ වීඩියෝ ගෙන ඒවා පරීක්ෂා කළා. පැටවුන්ගේ මුහුණේ ඉරියව්, මවගේ මුහුණේ ඉරියව් පරීක්ෂා කළා. දවස් තුනකට සැරයක් ආර්යාව සම්පූර්ණයෙන්ම එළියට ගෙන පැටවුන්ගේ හෘද ස්පන්දනය, නාඩි වැටීම ආදී සියලුම වෛද්‍ය පරීක්ෂණ සිදු කළා. පැටවුන් හයදෙනෙක් බිහි කළාට පසුව ආර්යාගෙන් එන වේදනාව හා මහන්සිය අපිට තේරුණා. ඒ වගේම පැටවුන් හයදෙනෙක් එක්ක එකට ඇතුළේ ඉඳීමත් ලොකු ආතතියක් කියලා අපිට තේරුණා. ඒ නිසාම ආර්යා වැඩියෙන්ම කැමැති සේවකයන් දෙදෙනා තෝරාගෙන ඔවුන් ලවා අපි ආර්යාට අතින් කෑම කැව්වා. ඒ කවන අතරතුර අපි ආර්යාට මියුරු සංගීත නාද අසන්නට සැලැස්වුවා. ඒවායින් ආර්යා සන්සුන් වී පැය ගණනක් නිදාගත්තා. එයින් පසුව ඇය අවදි වූයේ සාමාන්‍ය විදිහටයි. කිසිම මොහොතක ආර්යාට වදයක් වෙන, කරදරයක් වෙන දෙයක් අපි කළේ නැහැ. ඒ නිසා ආර්යාගේ තරහ පාලනය වුණා. මේ වන විට ආර්යා ඇතුළු පැටවුන් සුවයෙන් ඉන්නවා.'' වෛද්‍යවරයා සඳහන් කළේය.
පශු වෛද්‍ය ප්‍රියසාද් රිදීගම සෆාරි උද්‍යානයේ හිටපු ප්‍රධාන පශු වෛද්‍යවරයා විය. ඔහු සතුන්ට ආදරය කරන වෛද්‍යවරයෙකි. රිදීගම සෆාරි උද්‍යානයේ සිටි ඇතැම් නිලධාරීන් ඉහළ නිලතල දරන නිලධාරීන් හා එක්ව සතුන්ට හිංසා කරන බවට චෝදනා එල්ල වූ විට පශු වෛද්‍ය ප්‍රියසාද් තනිව එම සතුන් වෙනුවෙන් පෙනී සිටියේය. 'ඩොරා' එයට හොඳම උදාහරණයයි. ඩොරාගේ හොඳම මිතුරා වූයේ ප්‍රියසාද් ය. නමුත් දේශපාලනය, මැර බලය යොදාගත් පිරිසක් විසින් ප්‍රියසාද්ට රිදීගම සෆාරි උද්‍යානය තහනම් ප්‍රදේශයක් බවට පත් කරනු ලැබීය. ප්‍රියසාද් කිසිම මොහොතක කාමරයකට කොටු වී තම රාජකාරිය කිරීමට කැමැති වූයේ නැත. පැය කිහිපයක් ඇතුළත පශු වෛද්‍ය ප්‍රියසාද්ගේ රාජකාරිය තහනම් වූයේ මේ රටේ පවතින දේශපාලනය හේතුවෙනි. එලෙස ඔහුගේ සේවය අහිමිවීමේ වාසිය ලද්දේ පාකිස්තානයේ සිටින සත්ක්වයන්ය. අපේ රටේ දේශපාලනඥයන් ඇතුළු මැරයන් විසින් රටේ වටිනා සම්පතක් රටට අහිමි කරද්දී ඒ වාසනාව පාකිස්තානයට හිමි විය.
''අදටත් මට ඩොරා ඇතුළු හැම සතෙක්ම මතක් වෙනවා. ඇත්තටම ඒ සතුන් පව්. වටිනා බොහෝ සතුන් ලංකාවෙන් වඳ වෙනවා. මගේ රටේ මට ලැබුණු පඩියට සාපේක්ෂව විසි ගුණයකින් යුක්ත වැටුපක් මට පාකිස්තානයෙන් ලැබෙනවා. නමුත් මාස ගාණක් හෝ සෆාරියට පැමිණ වැඩ කරන්න කියල කිව්වොත් මම මේ වැටුප්, හැම දීමනාවක්ම අමතක කරලා ලංකාවට ඇවිත් ඒ හැමදේම ආයෙත් හොඳට හදලා නැවතත් මේ රටට එනවා. ඇත්තටම ලංකාවේ සතුන් පව්. මට එතැනින් පැය දොළහින් යන්න කියලයි කිව්වෙ. පැය දොළහක් ඇතුළත මගේ සත්තු ගැන මට කියල දෙන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. තව පශු වෛද්‍යවරයකුට සතුන් ගැන කියල දෙන්නවත් කාලයක් නොතියා ඒ නිලධාරින් මට යන්න කිව්වා. ලෝකයෙන්ම වටිනා බොහෝ සතුන් ඒ අය විනාශ කළා. ඒ ගැන මට ඇත්තටම දුකයි. පාකිස්තානයේ මම ඉන්නේ සතුටින් නෙවෙයි. මම ලංකාවට ආදරය කරන මනුස්සයෙක්. ඒ සොබාදහමට, ඒ සත්වයන්ට අසීමිතව ආදරය කරන මනුස්සයෙක්. මිල මුදල්, බොහෝ වරප්‍රසාද අද මට කොච්චර ලැබුණත් ලංකාවේ සතුන් මතක් වෙද්දි මම ඉන්නෙ හරිම දුකෙන්.'' යැයි ද පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ දේශයට පැවසීය.
I දිශානි ජයමාලි කරුණාරත්න