2017 ජුනි 17 වන සෙනසුරාදා

අඩු වයසේ මව්වරු ලංකාවෙත් ගැටලුවක්!

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 370

ප්‍රියංවදා සැබැවින්ම සුන්දර තරුණියක් වූවාය. ගමේ කා අතරත් ආදරය දිනා සිටි ප්‍රියංවදා අහිංසක දැරියක් වූවාය. ආර්ථික අපහසුතා ඇති පවුලක වැඩිමලා වූයේද ප්‍රියංවදාය. ඇයට බාල තවත් සහෝදර සහෝදරියන් පස් දෙනෙකි. ආර්ථික අපහසුතා අහස උසටය. කන්නට, කෑ දින ගණනට වඩා නොකා වතුර උගුරකින් කුසගින්න පුරවාගන්න දින ගණන ප්‍රියංවදාගේ ජීවිතේ අනන්තවත් ඇත. ඉගෙන ගන්න දක්ෂ පුංචි කෙල්ලට පාසලට අඳින්නට ඇත්තේ එක ගවුමකි. දමන්නට පාවහන් යුගලක් තිබුණේම නැත. කට්ටක් ගැසූ රබර් සෙරෙප්පු දෙකෙන් පොළොවේ රශ්මිය කකුලට දැනේ. ඒ තරමට පාවහන් යුගල ගෙවී ගොස්ය.

ඇදුම රෝගියෙක් වූ අප්පච්චිට හරිහමන් රස්සාවක් නැත. ජීවිතය එක්ක ඔට්ටු අල්ලන මව්පියන්ගේ එකම පැතුම වූයේ කෙසේ හෝ මේ දරිද්‍රතාවෙන් අත්මිදෙන්නය. ප්‍රියංවදාගේ පාසල් ගමන නතර වීය. ඒ හත වසරේදීය. පාසලේ හොඳම ශිෂ්‍යාවක් වූ ප්‍රියංවදාගේත් පාසල් මෑණියන්ගේත් බලාපොරොත්තු එතැනින්ම හමාර විය.

ගමේ අහිංසකම පුංචි කෙල්ලක මනාලියක් ලෙසින් පොතේ අත්සන් කරද්දී ප්‍රියංවදාට වයස අවුරුදු දහසයකි. ගමටම මඟුල් කියා පෝරුවේ නැග්ගේ නැත. මාල හත දැම්මේ නැත. ඒත්... කිසිවක් නොතේරුණු ගමේ අහිංසක කෙල්ල ගැහැනියක් වූවාය. ටික කාලයකට පසුව ඇගේ කුසේ දරු කළලයක් මෝරා වැඩුණාය.

නමුත් මව්පියන්ගේ පෙරුත්ත මත විවාහ වූ ප්‍රියංවදාට දරුපැටවකු කුසේ දරාගන්නට තරම් හයියක් ඒ ශරීරයේ නොතිබිණි. දරිද්‍රතාවයේම සිටි ප්‍රියංවදාගේ ශරීරය ඒ වෙද්දී දුර්වලව පැවතියේය. එමෙන්ම මව් පදවිය තරම් උතුම් වගකීම්සහගත පදවියක් දරාගන්නට තරම් කය පමණක් නොව ඇගේ සිතද මෝරා නොතිබිණි.

මාතලේ ඉතා දුෂ්කර ප්‍රදේශයක ජීවත් වූ ප්‍රියංවදා වැනි දැරියෝ බොහෝ පිරිසක් අද මේ අවදානම් තත්ත්වයට මුහුණ දෙති. මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් වයස විස්සට අඩු කාන්තාවන් ගැබ්ගැනීම් මේ වෙද්දී හාරසියයක් පමණ වී ඇතැයි සැලකේ. දුෂ්කර පළාත්වල ජීවත්වෙන දරිද්‍රතාවයෙන් පෙළෙන මව්පියෝ ජීවන අරගලයක නිරතවෙති. අවසානයේදී තම ජීවන අරගලයේදී දරුවන්ද ජීවන සටනක හිමිකරුවෝ වෙති. මෙය ශෝචනීය තත්ත්වයකි.

බොහෝ විට උගත්කමින් අඩු මව්පියන්ට අධ්‍යාපනයේ වටිනාකමක් නැත. එසේ වටිනාකමක් දැන සිටියද බොහෝ මව්පියන්ට තම දරුවන්ට අධ්‍යාපනයක් ලබාදීමට වත්කමක් නැත. මේ නිසා බොහෝ දුෂ්කර ප්‍රදේශවල ජීවත් වන එවැනි දරු දැරියන් පාසලට යන්නේද යලට මහටය. තවත් පිරිසක් පාසල් නොගොස් කට්ටි පනිති. අවසානයේදී අධ්‍යාපනයේ අගය තේරුම් ගනිද්දී බොහෝවිට ඔවුන් ප්‍රමාද වැඩිය.

මෙවැනි ප්‍රියංවදාලා ඕනෑතරම් අප අතරේ සිටිති. කුස දරා සිටීමට තබා ඇයට ජීවිතය දරාගැනීමටවත් සුදුසු වයස තවමත් පසු වී නැත. ජීවිතේ සමනල සුන්දර කාලයේදී කුස දරා ජීවිතේ වගකීම පටවා ගන්නට තරම් ඔවුන් බොහොමයක් තවම සිතින් ගතින් මෝරා නැත.

“අවුරුදු විස්සට අඩු වයස් ගර්භණී මව්වරුන් මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් නොවේ, සමස්තයක් ලෙසින් බොහෝ දිස්ත්‍රික්කවලින් වාර්තා වෙනවා. නමුත් මාතලේ දිස්ත්‍රික්කයෙන් ගත්තොත් මේ තත්ත්වය වැඩිපුරම දක්නට ලැබෙන්නේ විල්ගමුව, අඹන්ගහකෝරළේ වැනි දුෂ්කර ප්‍රදේශවලය. මෙයට ආර්ථික හේතූන්, සමාජ හේතූන්, අධ්‍යාපනය වැනි හේතූන් බලපානවා. දරුවකුට නිසි අධ්‍යාපනයක් නොලැබුණු විට ඉක්මනින්ම විවාහයක් වී ඉක්මනින් දරුවකු හදන්නට උත්සාහ ගන්නවා. ජීවිතේ අනිත් අයට තියෙන අරමුණු ඇගෙන් ඈත් වූ විට මෙවැනි තත්ත්වයක් ඇතිවෙනවා..”

මෙලෙස අදහස් දැක්වූයේ මාතලේ දිස්ත්‍රික්කයේ මාතෘ හා ළමා සෞඛ්‍ය නිලධාරිනියක විසිනි.

අඹන්ගහකෝරළේ, ලග්ගල වැනි ප්‍රදේශ ඉතා දුෂ්කර ප්‍රදේශ වේ. මේ නිසා ආර්ථික අපහසුතා ඇති මව්පියෝ තම දරුවන්ව අඩු වයසෙන් විවාහ කර දෙති. බොහෝවිට වයස අවුරුදු විස්සට අඩු ගැබිණි මව්වරු සායනවලට පැමිණෙති. වයස අවුරුදු දාහතේ සිට වයස අවුරුදු විස්ස දක්වා ගැබිණි මව්වරැන් වැඩි වශයෙන් සායනවල ලියාපදිංචි වී සිටිනු දැකිය හැකිය.

මේ සම්බන්ධව මාතලේ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය විජේකෝන් බණ්ඩාර මහතාගෙන් අපි විමසීමක් කළෙමු.

“මාතලේ දිස්ත්‍රික්කයේ ගැබිණි සායනවල ලියාපදිංචි වී ඇති මව්වරුන් අතරින් අවුරුදු විස්සට අඩු මව්වරුන් හාරසියයක් පමණ සිටිනවා. මේ බොහොමයක් මව්වරුන් නීතියෙන් විවාහකයි. මේ තත්ත්වය සාමාන්‍යයෙන් ලංකාව පුරා ඇතිවන තත්ත්වයක්. මෙය වැඩි වශයෙන් බහුලව දක්නට ලැබෙන්නේ දුෂ්කර ගම්බද පළාත්වලයි. මාතලේ දිස්ත්‍රික්කය ගත් විට ලග්ගල, විල්ගමුව, අඹන්ගහකෝරළේ වැනි දුෂ්කර පළාත්වල මේ තත්ත්වය වැඩි වශයෙන් පෙන්නුම් කරනවා...”

මෙයට ප්‍රධාන හේතුව ලෙස වෛද්‍යවරයා පෙන්නුම් කරන්නේද දරිද්‍රතාවයයි. බොහෝ දුෂ්කර පළාත්වල දැරියෝ පාසල් අතරමඟ නතර කරති. මව්පියන් තම දියණියව සහකරුවකුට බන්දවා දී නිදහස් වීමට උත්සාහ ගනිති. එහි ප්‍රතිඵලය වනුයේ අඩු වයස්කාරියකු සහකාරයකුට විවාහ කර දීමය. අඩු වයස දැරියක ගැබ්ගැනීම සැබැවින්ම අවදානම්ය. මේ පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍යය.

“ඇත්තටම මේ තත්ත්වය අවදානම්. ඉගෙන ගන්න වයසේ පසුවන දැරියන් පාසල් අධ්‍යාපනය හැදෑරිය යුතු වගයි අපගේ අදහස වෙන්නේ. පාසල් යා යුතු වයසේ දැරියන් පාසලේ රඳවා තබාගත යුතුයි. මේ සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වැඩපිළිවෙළක් තිබිය යුතුයි. දරුවන් අධ්‍යාපන කටයුතු අතරමඟ නතර කිරීමට හේතු ගණනාවක් බලපානවා. මේ සඳහා පිළියම් යෙදීම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වගකීමයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ලෙසින් මව්වරු දැනුම්වත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් වැඩපිළිවෙළක් දියත් කරමින් පවතිනවා.”

වෛද්‍ය විජේකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ ආකාරයෙන් මේ තත්ත්වයට මුහුණ දෙන්නේ මාතලේ දිස්ත්‍රික්කය පමණක්ම නොවේ. සමස්තයක් ලෙසින් ශ්‍රී ලංකාවේ බොහෝ අතිදුෂ්කර පළාත්වල මේ තත්ත්වය බලපායි. අඩු වයසේ ගැබ්ගැනීම් ලෙසින් මෙහි සඳහන් වන්නේ වයස අවුරුදු විස්සට අඩු ගර්භණී මව්වරුන්ය. මේ අතර මවත්, දියණියත් දෙදෙනාම ගර්භණී සායනවලට සහභාගී වන පවුල්ද දක්නට ලැබේ. මෙය වසර ගණනාවක් තිස්සේම පැවතෙන සමාජමය ගැටලුවකි. මේ සඳහා සමාජ තත්ත්වය, අධ්‍යාපන තත්ත්වය වෙනස් කොට ඉතා ඉක්මනින් පිළියම් යෙදීම අත්‍යාවශ්‍යය.

ජීවිතයට අරමුණක් අවශ්‍යය. කාන්තාවක් මව් පදවිය ලැබීම ඉතා අත්‍යාවශ්‍යය. නමුත් සුදුසු කාලයේදී ජීවිතේ විඳීමද අවශ්‍යය. ජීවිතය ඇත්තේ විඳින්නට මිස විඳවන්නටද නොවේ. දරුවකුගේ සුරතලය දකින්නට සුදුසු වයස පැමිණෙන තුරු සිටීමත් අවශ්‍යය.

♦ දිශානි ජයමාලි කරුණාරත්න