2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

සඳතැන්නේ හරි සුන්දර ඉර සේවය

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 117

ඉර සේවය නැරඹීම කා තුළත් ප්‍රසන්න සිතුවිලි ජනිත කෙරෙන සොඳුරු අත්දැකීමකි.  සමනළ කන්දේ ඉර සේවය ලෝක ප්‍රසිද්ධය. පසුගිය වසරේ මුල සිට සීගිරියේ ද ඉර සේවය නැරඹීමට සංචාරකයන්ට පහසුකම් සලසනු ලැබීය. බොහෝ පාරිසරික සංචාරකයෝ තමන් කඳවුරු ගසන කඳු මුදුන් මත සිට ඉර උදාව නැරඹීමට කැමැත්තක් දක්වති. අලුතින්ම ඉර සේවය සංචාරයට එක්වන්නේ නුවරඑළිය සඳතැන්නයි. කඳුකරයේ නුවරඑළිය නගරයට නුදුරින් පිහිටි මේ පාරිසරික කලාපයට පැමිණෙන දෙස්, විදෙස් සංචාරකයන්ට හිරු උදාව නැරැඹීම සඳහා නැවත අවසර ලබාදීමට හා අවශ්‍ය පහසුකම් සැපයීමට කඩිනමින් කටයුතු කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පසුගියදා පැවසුවේය. ඒ සංචාරක ආකර්ෂණය වැඩිකර ගැනීමේ අරමුණ ඇතිවය.  දැනට සඳතැන්නට සංචාරකයන්ට යා හැකි වේලාවන් ඒ අනුව වෙනස් කර අලුයම අඳුරේ දී ඔවුන්ට යාමට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතු වේ. ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ සඳතැන්න සංචාරක කලාපයේ පසුගිය දා නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

හිරු උදාව නිරීක්ෂණයට ඉඩ ලබාදීම සංචාරක ආකර්ෂණය ලබාගත හැකි අවස්ථාවක් වුවද විවිධ හේතු නිසාවෙන් ඒ සඳහා පහසුකම් නොමැති බව ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධකයන් විසින් පසුගිය කාලයේ ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීමට කටයුතු කෙරිණි.

ඉර සේවය සරලව හැඳින්වුවහොත් ඉර පායන විට නිකුත්වන මුල්ම ආලෝක කදම්බය විහිදුවන ආශ්චර්යමත් අවස්ථාව දැකබලා ගැනීමයි. ඉර පායන්න කලින් ක්ෂිතිජයට ආසන්න අහසේ ලොකු ආලෝක පැල්ලමක් දිස්වීම ඉර සේවයේ එක් අවස්ථාවකි.
තවත් අවස්ථාවල හිරු ක්ෂිතිජයෙන් මතුවී ඉහළට එන වේගය වෙනස් වෙන ආකාරයක් දැකගැනීමට ලැබේ. උඩට මතුවූ හිරු අහසේ නිශ්චල වීම, ක්ෂිතිජයෙන් ඉහළට නොපැමිණ නැවතී සිටීම, නැවත ආපසු පහළට යාම, නැවති නැවති ඉහළට ඒම, හිරු දෙතුන් වරක් දෝලනය වීම වැනි මායා දර්ශන මෙහිදී දැකගැනීමට පුළුවන. මෙය පැහැදිලිව දැකගත හැක්කේ ලංකාව වැනි නිවර්තන කලාපයේ රටවලදීය. 

සඳතැන්න (Moon Plains) නුවරඑළිය නගරයේ සිට කි.මී. 5ක පමණ දුරකින් පිහිටි සුන්දර සංචාරක කලාපයකි. සුප්‍රකට හෝටන් තැනිතලාවට පමණක් දෙවැනි වන සඳතැන්න ඉහළ කඳුකරයේ තැනිතලාවකි. නුවරඑළිය, සීතාඑළිය බීජ අර්තාපල් ගොවිපොළ අතරින් තවත් කිලෝමීටර් 03 ක ගමනාන්තයෙන් අනතුරුව මේ සොඳුරු ස්ථානයට පිවිසිය හැකිය. එම ගමන අතරතුර කිලෝමීටර් 03 පුරාම ජෛව විවිධත්වයේ සුන්දරත්වය දැකබලා ගනිමින් ගමන් කළ හැකි වේ. 

සඳතැන්න පාරිසරික සංචාරක කලාපය 2014 දී විවෘත කළ අතර, එයට ඉහළ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් හිමි විය. සීතාඑළිය, බීජ අර්තාපල් කෘෂි ගොවිපොළ හා නුවරඑළිය මහ නගර සභාව එක්ව මෙය සංචාරකයන්ට විවෘත කෙරිණි. ටිකෙන් ටික නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් අතර මෙම සොඳුරු සීතල තැනිතලාව ජනප්‍රිය වූ අතර ඒ වෙත පිවිසීමට ජීප් රථ සේවා ද ඇරඹිණි. 

සඳතැන්න මුහුදු මට්ටමේ සිට අඩි 6200ක සාමාන්‍ය උසකින් යුක්තය. සඳතැන්න මුදුනේ ඌව ද්‍රෝණිය සහ මධ්‍යම පළාතේ ප්‍රදේශ බොහොමයක් අංශක තුන්සියේ හැටේ කෝණයකින් යුතුව දැක බලාගත හැකි අපූරු ස්ථානයකි. එතැන හැඳින්වෙන්නේ පුංචි ලෝකාන්තය නමිනි.  

අවට පැතිර තිබෙන කඳු අතර අප රටේ උසම කඳු දහයෙන් නවයක්ම සඳතැන්නේ දී දර්ශනය වීම මෙහි ඇති විශේෂත්වයකි. එම කඳු නම් උසම කන්ද වූ පිදුරුතලාගල (අඩි 8281), සිංගල් ට්‍රී (අඩි 6890), කිකිලියාමාන (අඩි 7339), ග්‍රේට් වෙස්ටර්න් (අඩි 7257), කොනිකල් හිල් (අඩි 7339), කිරිගල්පොත්ත (අඩි 7835) තොටුපල කන්ද (අඩි 7737), හග්ගල (7110), නමුණුකුල (අඩි 6680) යන ඒවා වේ. ඉර සේවය නරඹන්නන්ට මේ කඳු අතරින් හිමිදිරියේ ඉර උදාවන ආකාරය දැකබලා ගැනීමේ වාසනාව හිමි වේ. 

හග්ගල, පිදුරුතලාගල හා හෝර්ටන්තැන්න මධ්‍යයේ පිහිටි සඳතැන්න අවට වනපෙත ජෛව විවිධත්වයෙන් ද ඉහළය. මෙහි ඉර සේවය ඉතා හොඳින් දැකගත හැකි ස්ථානයක් ද වේ.  

සඳතැන්නට පිවිසෙන සංචාරකයන්ට උදෑසනින් සහ සන්ධ්‍යාවේ තැනිතලාවේ තණ කමින් හැසිරෙන ගෝනුන් සිය ගණනින් නැරඹීමට අවස්ථාව හිමිවේ. මුවන්, හාවුන්, කුළු හරකුන්, වල්ඌරන් සහ කොටි ද මෙහි වාසය කරති. නමුත් කොටියා දැකගැනීම නම් අසීරුය. නුවරඑළියේ සීත දේශගුණයට නුපුරුදු මොණරුන්ද සඳතැන්නේදී දැකගැනීමට හැකිය. ඌව පළාතේ සිට මොණරුන් මෙහි සංක්‍රමණය වී ඇති බව පැවසේ. ශ්‍රී ලංකාවට ආවේණික කුරුළු විශේෂ වන කහ කන් කොණ්ඩයා ශ්‍රී ලංකා සිතෑසියා හෙවත් කඳුකර මල් කුරුල්ලා ශ්‍රී ලංකා මයිලගොයා, නිල් මැසිමරා හෙවත් කෝපි කුරුල්ලා, දෑ දෙමලිච්චා  වැනි මධ්‍යම කඳුකර වනාන්තරවලදී දැකිය හැකි ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ පක්ෂි විශේෂ මෙහිදී නිරීක්ෂණය කළ හැකිය. 
සංචාරකයන් මෙහි බීජ අර්තාපල් ගොවිපොළ අසල සිට ගමන් කළ යුතු වන්නේ ජීප් රථවලිනි. මෙම ජීප් රථ ක්ලෝරීන්වලින් සෝදා ගොවිපොළ භූමියට ඇතුළු කරන අතර, ජීප් රථවලින් ඉවත්වන දූවිලි තුළින් බීජ ගොවිපොළේ පරිසරයට කිසිදු ආගන්තුක විෂබීජයක් ඇතුළු නොවීමට මෙම ක්‍රියාවලිය කෙරේ. මෙහි බීජ ගොවිපොළ ආරම්භ කළේ 1958 දී ය. අක්කර 155ක් විශාල බීජ අර්තාපල් ගොවිපොළේ අවට වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාලනය වේ. 

සමනළ කන්දේ ඉර සේවය නැරඹූ සංචාරකයෝ ඈත අතීතයේ සිට ඒ අසිරිමත් අවස්ථාව තමන් ලියූ පොත්වල වර්ණනා කළහ. මේජර් ස්කිනර්, ආර්. පර්සිවල්, ඊ.ආර්. බැසට්, ජෝන් ස්ටිල් ඒ අතර කිහිප දෙනෙකි. පසුගිය වර්ෂයේ සිට සීගිරිය පර්වතය මුදුනේ සිට ඉර සේවය නැරඹීමට සංචාරකයන්ට ලබාදුන් අතර ඒ අනුව අලුයම 5.30 සිට රාත්‍රී 8.30 දක්වා සීගිරිය සංචාරකයන් වෙනුවෙන් විවෘතව තැබේ.

ඉදිරියේ දී සඳතැන්නේ ඉර සේවය නැරඹීමටත් බොහෝ දෙනෙක් ඇදී එනු නියතය. එහිදී පරිසරය රුක ගැනීමට මෙන්ම අඳුරේ දී වන සතුන්ගේ චර්යාවට බාධා නොවන අයුරින් ක්‍රියා කිරීමටත් බලධාරීන් සැලසුම් කළ යුතුය.

I කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ: අන්තර්ජාලයෙනි