නව ව්‍යවසායකයන්ට මෙන්ම, කර්මාන්ත ව්‍යාපාර ආරම්භ කර ඇති අයටත් මාර්ගෝපදේශනය සැලසීම සඳහා සති කිහිපයකට වරක් අප සුවිශේෂී ලිපි පෙළක් ඔබ වෙත රැගෙන එනවා. ඒ අනුව අද අප ඔබ වෙත රුගෙන එන්නේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික සේවා අංශය හරහා ඔබට ලබාගත හැකි සේවාවන් පිළිබඳ තොරතුරු.
මේ තොරතුරු ඔබට කියන්නට අපත් සමඟ සම්බන්ධ වුණා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්යක්ෂ (තාක්ෂණික සේවා) එච්.ඒ.පී. ගුණවර්ධන මහත්මා.
“ආයතනයක් විදියට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අපේ ප්‍රධාන පරමාර්ථය නව හා පවතින කර්මාන්තකරුවන්ට සේවාවන් සැපයීම. ඒ අනුව අපේ ආයතනය ප්‍රධාන අංශ නවයකින් සමන්විතයි. ඒ අතරින් එක් අංශයක් තමා තාක්ෂණික සේවා අංශය. අපේ අංශයෙන් සිදු කෙරෙන්නෙ, අලුතින් කර්මාන්තයක් ආරම්භ කරන්න උත්සාහ කරන අයටත්, දැනට කර්මාන්තයක් සිදුකරගෙන යන අයටත් අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීම"
ගුණවර්ධන මහතා සඳහන් කරන විදිහට ව්‍යාපාර අදහසක් සහිතව පැමිණෙන පිරිස් සමඟ සංවාදයක් ඇතිකර ගැනීම තමා තාක්ෂණික සේවා අංශය පළමුවෙන්ම සිදු කරන්නෙ. පෙර වතාවකදී අප සඳහන් කළ විදියට ඔබට ව්‍යාපාරය පිළිබඳ හරි අදහසක් නැත්නම් ව්‍යවසායකත්ව සංවර්ධන අංශය හරහා උපදෙස් ලබාගෙන තාක්ෂණික සේවා අංශයෙන් ඉදිරියට යන්න පුළුවන්.
“අලුතින් ආරම්භ කරන කර්මාන්තයක් නම් එයාගේ වෙළෙඳපොළ හොඳට තියෙනවද, මොනවද දැනට තියෙන පහසුකම් ආදිය පිළිබඳ අප සාකච්ඡා කරනවා. අනතුරුව තමයි අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීම ආරම්භ කරන්නෙ"
අලුතින්ම ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙක්ට වුණත් විධිමත් ක්‍රමවේදයක් යටතේ අවශ්‍ය තාක්ෂණික සේවාවන් ලබාදීමට තාක්ෂණික සේවා අංශය බැඳී සිටින බව ගුණවර්ධන මහතා අප සමඟ සඳහන් කළා.
“සමහර අයට තනි තනිව තාක්ෂණය ලබාගන්න ඕනෑ. ඒ වගේ අවස්ථාවල අපි ඒ අයට අවශ්‍ය සහයෝගය වෙනම ලබා දෙනවා. න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ඒ අයට ලබා දීලා, ඒ අයගේ නිෂ්පාදනවල සාම්පල වෙළෙඳපොළට ගැලපෙනවද කියන කාරණාවත් අපි පරීක්ෂා කරනවා. ඒ වගේම අපි ඔවුන්ට ලබා දෙනවා අදාළ නිෂ්පාදනවල ගුණ දොස් බලලා වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම දක්වා වූ සියලුම තාක්ෂණික සේවාවන්"
නව ව්‍යවසායකයන්ට තනි තනිව තාක්ෂණය ලබා ගැනීමට ලැබෙන අවස්ථාව අප වැනි රටවල්වල සීමාසහිතයි. ඒ නිසාම මෙම අවස්ථාව ඉතා සුවිශේෂී එකක්. තාක්ෂණික සේවා අංශයේ අධ්යක්ෂතුමා මේ පිළිබඳව තවත් තොරතුරු අප සමඟ බෙදාගත්තා.
“පාරිසරික සාධක සලකා සුදුසු ස්ථානයක් තෝරා ගැනීම, ව්‍යාපාරය ආරම්භ කිරීමට අවශ්‍ය ගොඩනැගිලි සහ ඉඩ පහසුකම් සලකා බැලීම, යන්ත්‍ර සූත්‍ර නිසි පරිදි ස්ථානගත කිරීම ආදී කටයුතුවල සිට පුළුල් පරාසයක උපදෙස් අපි ලබා දෙනවා. අවශ්‍ය වෙනත් සේවාවන් ලබා ගැනීම සඳහා සම්බන්ධීකරණයත් සිදු කරනවා"
නිෂ්පාදනවල සාම්පල් පරීක්ෂා කිරීම, ඇසුරුම් කිරීම, ලේබල් කිරීම, ගබඩා කිරීම සහ නිෂ්පාදන සම්බන්ධයෙන් පවතින නීතිමය කරුණු සම්බන්ධව වැඩි තාක්ෂණික උපදේශනයක් මෙම අංශය හරහා ලබාගැනීමට හැකියි. ඇත්තෙන්ම මේ හා සම්බන්ධවත් අපේ රටේ සෑම ව්‍යවසායකයෙක්ම දැනුවත්ව සිටීම අතිශය වැදගත්.
“දැන් නිෂ්පාදන සම්බන්ධ නව නීති බොහොමයක් හඳුන්වා දීලා තියෙනවා. කලර් කෝඩ් වගේ දේවල් තියෙනවා. ඒ අදාළ ප්රමිතිකරණයන් පිළිබඳ අවශ්‍ය නෛතික දැනුම ලබා දීම අපි සිදු කරනවා. ව්‍යාපාරය ආරම්භ කළාට පස්සේ ඒ අයට එන ගැටලුවලදී අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදීමටත් අපි සතුව හැකියාවක් තිබෙනවා. නිෂ්පාදන විවිධාංගීකරණය කිරීම, නාස්තිය අවම කිරීම ආදී කරුණු සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීමටත් අපිට හැකියි"
තනි පුද්ගලයන් විදියට ව්‍යාපාර අරඹන පිරිස් වෙත ලබා දෙන තාක්ෂණික සහයෝගයට අමතරව දැනටමත් ව්‍යාපාර ආරම්භ කර ඇති අය වෙත ද අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය කටයුතු කරමින් සිටින බව සඳහන් කළ යුතුයි.
“අපි කස්ටමයිස් ප්‍රෝග්‍රෑම් කරනවා. යම් ආයතනයක් ඇවිල්ලා පිරිසක් නම් කරලා ඒ අයට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දෙන්න කියලා ඉල්ලන අවස්ථාවලදී එය සිදු කිරීමේ හැකියාව තාක්ෂණික සේවා අංශය විදිහට අපි සතුව තියෙනවා. දැනටමත් අපි එහෙම ආයතන වෙත අදාළ සේවාවන් ලබා දෙනවා"
ව්‍යාපාරයේ අභිරුචිය මත අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම මෙම වැඩසටහන හරහා සිදුවන බව පැහැදිලියි. මෙම වැඩසටහන දැනටමත් කර්මාන්ත ක්ෂේත්රයේ ස්ථාපිතව ඇති ආයතනවල ඵලදායීතාව වර්ධනයට සපයන්නේ ලොකු දායකත්වයක්.
“මීට අමතරව අපිට විවිධ ඉල්ලීම් ලැබෙනවා මේ යම් යම් ක්ෂේත්‍ර සම්බන්ධව තාක්ෂණික දැනුම අවශ්‍යයි කියලා. ඒත් ඒ අයට තනි තනිවම දැනුම ලබාගන්න බෑ. ඒ නිසා ඒ අවශ්‍යතාවයන් සලකලා අපි අදාළ ක්ෂේත්රය පිළිබඳව පොදු වැඩසටහන් සකස් කරනවා. අපි එදින වැඩසටහන් විදිහට මේ වැඩසටහන් සංවිධානය කරනවා. මේ වැඩසටහන් සඳහාත් ලොකු ඉල්ලුමක් දැකගන්න පුළුවන්"
ගුණවර්ධන මහතා සඳහන් කරන සියලු වැඩසටහන් පිළිබඳ ඔබව දැනුවත් කිරීම අපගේ උත්සාහයයි. ඔබගේ මෙම දැනුවත්භාවය රටේ සංවර්ධනය සඳහා ඍජු දායකත්වයක් සපයන බව අපි විශ්වාස කරනවා.
මීට අමතරව පවතින කර්මාන්ත සඳහා සහතික පත්‍ර පාඨමාලාවන් ද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික සේවා අංශය විසින් සංවිධානය කරනවා.
“ඒ වැඩසටහන සාමාන්‍යයෙන් දින 5, 10, 12 වගේ කාලයක් පැවැත්වෙනවා. මෙහිදී බොහෝ වෙලාවට සාකච්ඡා කෙරෙන්නේ පවතින කර්මාන්තවලට දැනට තියෙන ගැටලු. මෙහිදී වෙළෙඳපොළ දක්වා කර්මාන්තය සම්බන්ධ සම්පූර්ණ විෂය පථයම ආවරණය වෙනවා. ඇත්තටම මේ වගේ පාඨමාලාවක් දැනට ලංකාවේ කොහෙවත් කෙරෙන්නේ නැහැ. ලංකාවේ ඉන්න ඉහළම පෙළේ සම්පත් දායකයන්ව මේ වැඩසටහන සඳහා අපි සම්බන්ධ කර ගන්නවා"
මෙම වැඩසටහන්වලට අමතරව දිස්ත්‍රික් මට්ටමින් සිදුකෙරෙන විවිධ නිෂ්පාදන සම්බන්ධ පුහුණු වැඩසටහන්, නිසි ප්‍රමිතියෙන් යුතුව ඒකමතිකව පවත්වාගෙන යාම සඳහා ද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික සේවා අංශය ලබා දෙන්නේ ඉහළ දායකත්වයක්.
“දැනට සිදු කරගෙන යන කර්මාන්තයක යම් ගැටලුවක් මතු වුණොත්, අපි ඒ ස්ථානයට ගිහිල්ල අදාළ පරීක්ෂාවන් සිදු කරලා විසඳුම් ලබාදීමත් මේ වන විට සිදු කරනවා. මෙහිදී පළමුව සිදුවෙන්නේ අදාළ ගැටලුව පිළිබඳ වාර්තාවක් ලබා දීම. ඒ ගැටලුව විසඳීම සඳහා තාක්ෂණය ලබා දෙන්න පුළුවන් නම් අපි ඒ බව සේවාලාභීන්ට කියනවා. මේ වගේ සේවා සඳහා අපි අය කරන්නෙ සහනදායී මුදලක්"
තවද ඉතා සහනදායී මුදලට ආහාර ඇතුළු නිෂ්පාදනවල ගුණාත්මකභාවය මැන බැලීමට අවශ්‍ය රසායනාගාර පහසුකම් ද ලංකා කාර්මික සංවිධානය මණ්ඩලය සතු බව සඳහන් කළ යුතුමයි.
මෙම සියලු සේවාවන් පිළිබඳ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ක්ෂණික ඇමතුම් අංකයෙන් විමසා දැන ගැනීමට ඔබට හැකියාවක් පවතිනවා. ඒ වගේම ඔබට වැඩි විස්තර සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවිය පරීක්ෂා කළ හැකියි. සැබැවින්ම ඔබ ව්‍යාපාරිකයකු නම් මේ සේවාවන් ලබා ගැනීමට උත්සාහ කළ යුතුමයි. මන්ද ඔබේ දියුණුව යනු රටේ දියුණුවයි.