නිල් කටරොළු මලෙන් තම ජීවිතය ජයගන්නට වෙර දරන අතරේ තවත් පිරිසකට රැකියා අවස්ථා ලබා දෙමින් ඔවුන්ගේ ආර්ථිකය ඉහළ නංවන දිරිය කාන්තාවක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් අපට මුණගැසුණි. ඇය නමින් නෙල්කා හේවගේය. නෙල්කා රජයේ සේවිකාවකි. ඇය කර්මාන්ත අමාත්‍යාංශයේ සේවය කරන්නීය. එහිදී ගම්මානවල ජීවත් වන ජනතාව ස්වයංරැකියා සඳහා නොමිලේ පුහුණු කිරීමට යෙදවීම ඇයගේ කාර්යය විය. එහිදී ඒ ආයතන හරහා ආහාර ඇතුළු අනෙකුත් දෑ විජලනය සම්බන්ධයෙන්ද පුහුණුවීම් කරන්නට ඉඩ ලැබුණි. රැකියාව කරන අතරතුරේදීද නෙල්කාගේ හිතේ එක් බලාපොරොත්තුවක් තිබුණි. ඒ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමය. එය ඇය කුඩා කල සිටම තිබූ බලාපොරොත්තුවකි.
''මුලින් මම බලංගොඩ වැඩ කළේ. ඒ පැත්තේ කොස්, දෙල් බොහෝ වගා කෙරුණා. ඒ නිසාම කොස් විජලනය කරන වැඩමුළුවකට සහභාගි වෙන්න මටත් අවස්ථාවක් ලැබුණා. ''කොස්වලින් දෙයක් කරන්න පුළුවන්නෙ'' කියලා මටත් හිතුණු නිසා මම පුංචි ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ සඳහා කුඩා විජලන යන්ත්‍රයක් මම මිලදී ගෙන මගේ තාත්තගේ නිවෙසේ පිටතින් තිබූ කුඩා කාමරයක ව්‍යාපාරය පටන් ගත්තා. ඒ මීට වසර නවයකට පෙරයි. ව්‍යාපාරය ආරම්භ කරල කොස් විජලනය කළත් ඒ නිෂ්පාදන සඳහා හොඳ වෙළෙඳපොළක් ඒ කාලේ අපිට ලැබුණෙ නැහැ. වසර දෙකකට විතර පසුව මට කොළඹ 'good market' හරහා මගේ නිෂ්පාදනයට හොඳ අවස්ථාවක් ලැබුණා. කොස්වලට අමතරව මම පළතුරුත් විජලනය කරන්න පටන් ගත්තා.'' යැයි නෙල්කා හේවගේ මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසීය.
තම රැකියාවේ නිරත වන අතරතුරේ ව්‍යාපාරයක් කරගෙන යමින් සිටි නෙල්කාට ද කොවිඩ් ව්‍යසනයට මුහුණ දීමට සිදුවිය. ඒ හරහා ව්‍යාපාරයට විශාල බාධා එල්ල විය. ඒ ව්‍යසනය අවසන් වීමත් සමඟ ලංකාවම මුහුණදුන් ඉන්ධන ගැටලුවටද නෙල්කාගේ ව්‍යාපාරය මුහුණ දුන්නේය. ඇය ව්‍යාපාරය සඳහා යොදාගත් යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වූයේ භූමිතෙල් ආධාරයෙනි. එම යන්ත්‍ර මාර්ගයෙන් කොස්, පළතුරු විජලනය කරද්දී එකදිගට දවස් එකහමාරක් පමණ ක්‍රියාත්මක විය යුතුය. මේ නිසාම ඉතා දරුණු ලෙසින් ඉන්ධන ගැටලුවට නෙල්කාගේ ව්‍යාපාරය මැදි විය. ඒ නිසාම ලෝකයේ මේ මොහොතේදී අඩු ඉන්ධන ධාවනයකින් කළ හැකි විජලන මොනවාදැයි නෙල්කා සොයා බලන්නට තීරණය කළාය. කොවිඩ් ව්‍යසනයත් සමඟ රටේ ජනතාව ඖෂධීය පාන (herbal drink) කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වූහ. ඖෂධීය පාන සම්බන්ධයෙන් සොයා බැලීමේදී 'නිල් කටරොළු' සම්බන්ධයෙන් ඇගේ අවධානය යොමු වූයේ ඒ හේතුවෙනි.
''මේ සම්බන්ධයෙන් සොයා බලද්දී නිල් කටරොළු සහ පොකුරු වද මල් ගැන තොරතුරු සොයා ගන්නට මට හැකි වුණා. එවැනි මල් වර්ග විජලනය කරද්දී ඉතා අඩු කාලයක් තමයි වැය වෙන්නේ. ඒ නිසා එයින් භූමිතෙල් සහ විදුලි ගැටලු විසඳෙන බව සොයා ගන්නට හැකි වුණා. ඒ නිසා මම නිල් කටරොළු විජලනය කර වෙළෙඳපොළට නිකුත් කරන්නට තීරණය කළා. ඒ වෙලාවේ අපේ ගෙදර නිල් කටරොළු මල් වැල් දහයක් පමණ තිබුණා. ඒ වැල් දහයෙන් මම නිල් කටරොළු ව්‍යාපාරය ආරම්භ කළා.'' යැයි නෙල්කා හේවගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
ඇය තම ප්‍රදේශයේ, තම රාජකාරි කරන ප්‍රදේශයේ ජනතාව මේ පිළිබඳව දැනුවත් කළාය. විශේෂයෙන් ගෙවත්තේ නිල් කටරොළු වගා කොට ඒ මල් ඇගේ ව්‍යාපාරයට ලබා දී යම් ආදායමක් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කළාය. බොහෝ විට ගම්වල ජීවත් වන කාන්තාවෝ රැකියාවක් සඳහා තම නිවෙසින් පිටතට යාමට මැලිකමක් දක්වති. ඇතැම් සැමියෝ ඔවුන්ගේ බිරින්ඳෑවරුන් පිටත රැකියාවකට යැවීමට අකැමැත්තක් දක්වති. නමුත් ඔවුන්ගේ නිවෙස්වලද ආර්ථික අපහසුතා එමටය. එම ආර්ථික ගැටලුවලට කදිම විසඳුමක් ලෙසින් බොහෝ කාන්තාවෝ නෙල්කාගේ ව්‍යාපාරයට වක්‍රව සම්බන්ධ වෙමින් තම ගෙවත්තේ නිල් කටරොළු වගා කළහ. ඇය ගම්වල කාන්තා සමිති හරහා කාන්තාවන් වෙත මේ දැනුවත් කිරීම් සිදු කළාය. ඒ අතර ඇය ඕපනායක ප්‍රදේශයේ අක්කරයක පමණ ඉඩමක් තෝරාගෙන එහි අක්කර භාගයක කාබනික ලෙසින් නිල් කටරොළු වගා කිරීම ආරම්භ කළාය. නිල් කටරොළුවලට අමතරව ඇය ඉතිරි කොටසේ පොකුරු වද මල් ද වගා කළාය. ඒ මීට වසරකට පමණ පෙරදීය.
''ඕපනායක ප්‍රදේශයේ ග්‍රාමසේවක වසම් විසි හතරක් තියෙනවා. දැනට පවුල් කිහිපයක්ම නිල් කටරොළු වගා කරලා අපිට නිෂ්පාදන ලබා දෙනවා. ඒ අතර අපි අපේ විධාතා සම්පත් මධ්‍යස්ථානවල එක් යන්ත්‍රයක් තබා නිල් කටරොළු මල් නොමිලේ වේලන්න අවස්ථාව ලබා දෙනවා. නිල් කටරොළු අපි අව්වේ වේලන්නේ නැහැ. ඒවා යන්ත්‍ර මගින් වේලන්න ඕනෑ. ඒ අනුව තනි හෝ කණ්ඩායම් වශයෙන් තම ගෙවත්තේ නෙලාගන්නා මල් මේ යන්ත්‍ර මගින් වේලා අපිට ලබා දෙනවා. වේළුණු නිල් කටරොළු කිලෝවක් රුපියල් හාරදහස හාරදහස් අටසීය දක්වා මිලකට අපි ලබා ගන්නවා. එය කාලෙන් කාලෙට ටිකක් වෙනස් වෙනවා. ඊට අමතරව අලුත නෙලූ නිල් කටරොළු කිලෝවක් රුපියල් දෙසිය පනහත් තුන්සිය පනහත් අතර මිලකට අපි මිලදී ගන්නවා.''
එලෙස මිලදී ගනු ලබන වේළුණු නිල් කටරොළු මල් 'කුඩා තේ පැකට්' (Tea bag) ඇසුරුමක ඖෂධීය පානයක් වශයෙන් නිෂ්පාදනය කරයි. නෙල්කා වැඩි වශයෙන් මේවා ඉලක්ක කරනු ලබන්නේ විදෙස් සංචාරකයන් වෙතය. විදේශිකයෝ සම්පූර්ණ වේළුණු නිල් කටරොළු මලට ප්‍රියතාවක් දක්වති. ඒ නිසාම සම්පූර්ණ මල් ලෙසින් ටින් කර අලෙවි කිරීමද සිදු කරයි. මිලදී ගනු ලබන මෙයින් මල් එකක් හෝ දෙකක් මඳ රස්නය සහිත ජලයට දමා පානය කිරීමේ හැකියාව පවතී. එමෙන්ම කොක්ටේල් සාදන විට නිල් වර්ණය එක්කර ගැනීමටද ඇතැම්හු මෙම නිල් කටරොළු මිලදී ගනිති. %Ice tea^ පානයක් ලෙස ද මෙය පානය කළ හැකිය. රෙස්ටුරන්ට්වල බොහෝ රෙසිපි සඳහා ද නිල් කටරොළු මිලදී ගනු ලබයි.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලාංකීය නිල් කටරොළු මලට විදෙස් රටවලද විශාල ඉල්ලුමක් ඇත. මේ නිසාම නෙල්කා නිල් කටරොළු ඔස්ට්‍රේලියාවට අපනයනය කිරීම ද සිදු කරයි. ඔස්ට්‍රේලියාවේ රෙස්ටුරන්ට් දෙකකින් මේ සඳහා විශාල ඉල්ලුමක් පවතී. ඊට අමතරව ප්‍රංශය හා කුවෙට් රටවලටද ලංකාවෙන් නිල් කටරොළු අපනයනය කරයි. මේ සඳහා හොඳ ඉල්ලුමක් ඇත. මේ වන විට නිල් කටරොළු කුඩා කර්මාන්ත ශාලාවක් නෙල්කා රත්නපුරේ ඉදිකොට ඇත. පානයකට අමතරව ස්වභාවික වර්ණකයක් ලෙසින් ආහාරපාන සඳහා නිල් කටරොළු එක්කර ගැනීමට හැකියාව පවතී. බත්, ඉඳිආප්ප මෙන්ම කිරිටොෆි ආදී රසකැවිලි සඳහා ස්වභාවික වර්ණකයක් ලෙසින් මේවා එක්කර ගැනීමේ හැකියාව පවතී. නිල් කටරොළු වසර පුරාම ඵල දරන මල් වර්ගයකි.
I දිශානි ජයමාලි කරුණාරත්න