එක්තරා දේශපාලනඥයෙක් අපේ ගමේ විහාරයක ධාතු නිධානෝත්සවයකට පැමිණියේය. ඔහු කිසිම ඉගෙනීමක් නැති කෙනකු බව කුඩා දරුවන් අතර පවා ප්රකටය. ඒත් විහාරයේ නිවේදකයා ඔහුගේ නම නිවේදනය කළේ ආචාර්ය යන අකුරු මුලට යොදාය.
''තාත්තෙ අර මන්ත්‍රී ඉස්කෝලෙ උගන්වනවාද?'' පුතා මගෙන් ඇසුවේය.
''නෑ.. මිනිහා ඉගෙනගෙන නෑ උගන්වන්න තරම්.''
''එහෙනම් කැම්පස් එකක ආචාර්ය උපාධියක් තියෙනවද?''
''ඒත් නෑ.''
මෙසේ හොර ආචාර්ය උපාධි පමණක් නොව ජනරංජන, දේශරංජන, දේශමාන්‍ය ආදී මෙකී නොකී නම් රැසකින් යුත් සම්මාන රටේ වපුරා ඇති බව සමහර දේශපාලනඥයන්, කසිප්පු මුදලාලිලා, හොර ජාවාරම්කාරයන් භාවිත කරන ගරු නාම දෙස බලන විට පෙනේ. ඔවුන් එම උපාධි නාම, ගරු නාම සඳහන් කර ලිපි ශීර්ෂ පවා පිළියෙළ කර භාවිත කිරීම ද දැකගත හැකිය. මෙය පිළිලයක් වන තරමට පැතිරී ගොස් ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. නීත්‍යනුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබා දීම හෝ ඒවා ලබා ගැනීම හෝ භාවිත කිරීමට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇති බව පසුගිය සතියේ වාර්තා විය.
විශ්වවිද්‍යාලවලින් පර් යේෂණ මත පදනම්ව ආචාර්ය උපාධි පිරිනැමීම සිදුවේ. ඒ සඳහා ආචාර්ය උපාධියකට ලියාපදිංචි වී තවත් ආචාර්යවරයකුගේ උපදේශකත්වය යටතේ පර් යේෂණයක් කළ යුතුය. ඊට අමතරව යම් ක්ෂේත්රයක විශිෂ්ට ප්‍රතිභාව දැක්වූ පුද්ගලයන්ට විශ්වවිද්‍යාල සනාතන සභාවේ අනුමැතිය මත සම්මාන ආචාර්ය උපාධි පිරිනැමේ. අමරදේව, ලෙස්ටර් ජේම්ස් පීරිස්, මාලනී ෆොන්සේකා, රත්න ශ්‍රී විජේසිංහ වැනි කලාකරුවන්, සාහිත්‍යධරයන් රාශියකට විවිධ සරසවි මගින් සම්මාන ආචාර්ය උපාධි පිරිනමා ඇත. වෙනත් කිසිදු ආයතනයකට හෝ පන්සලකට ආචාර්ය උපාධි පිරිනැමීමට ඉඩක් නැත. නමුත් ලංකාවේ නීතියක් නැති නිසා විවිධ ජාවාරම්කරුවන් මුදල් ලබාගෙන ආචාර්ය උපාධි නම් කඩදාසියක් ලබාදීම කලකට පෙර පටන් සිදුවේ.
ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයේ අවධාරණය කර තිබුණේ නිශ්චිත නිර්ණායක මත පදනම්ව, විධිමත් ක්‍රමවේදයකට අනුව තෝරාගනු ලබන සුවිශේෂ ශ්‍රී ලාංකිකයන් වෙත ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන ජාතික සම්මාන හා ගෞරව නාම සඳහා යොදා ගන්නා නාමයන් භාවිත කරමින්, විවිධ පුද්ගලයන් හා රාජ්‍ය නොවන සංවිධාන මගින් සම්මාන සන්නස් පත්‍ර හා සහතික ලබා දෙන අවස්ථා ජනාධිපති කාර්යාලයේ නිරීක්ෂණයට ලක්ව ඇති බවයි. මෙය අද ඊයේ සිදුවූ දෙයක් නොවේ. සමහර ව්‍යාපාරිකයන් එසේ හොර සම්මාන ලබාගෙන ඒ බව දැනුම් දීමට පුවත්පත් දැන්වීම් පවා පළ කරන අන්දම දැකගත හැකිය.
අසංවිධිත සම්මාන ප්‍රදාන මගින්, මේ දක්වා ගෞරව ප්රණාමයට පත් සුවිශේෂ ලාංකිකයන් හට දැඩි අසාධාරණයක් හා අගෞරවයක් වෙන බව පෙන්වා දෙන ජනාධිපති ලේකම්වරයා, ජාතික සම්මාන හා ගෞරව නාම වැරදි ආකාරයට භාවිත කරන පාර්ශ්වවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද අවධාරණය කරයි.
ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා අභිමාන සහ දේශමාන්‍ය සම්මාන පිරිනැමීම සිදුවේ. මේ අතරින් ශ්‍රී ලංකා අභිමාන සම්මානය රටට විශිෂ්ට සේවයක් කළ පුද්ගලයකුට පිරිනමන සම්මානයකි. ඉන්දියාවේ භාරත රත්න සම්මානය ද එවැන්නකි. ආතර් සී. ක්ලාක්, ලක්ෂ්මන් කදිරගාමර්, ඒ.ටී. ආරියරත්න, ලෙස්ටර් ජේම්ස් පිරිස් ඇතුළු කිහිප දෙනකුට මේ දක්වා ශ්‍රී ලංකා අභිමාන සම්මානය පිරිනමා ඇත. දේශමාන්‍ය සම්මාන ලේඛනයේ ගාමිණී කොරයා, දොන් සේපාල ආටිගල, නන්දදේව විජේසේකර, බදියුදීන් මහමුද්, ඩොරීන් විනිෆ්‍රීඩා වික්‍රමසිංහ, කාමලිකා ප්‍රියාදරී අබේරත්න ඇතුළු නම් රුසක් සඳහන්ය. ඊට අමතරව සංස්කෘතික අමාත්‍යංශය විසින් ද කලාවට සේවයක් කළ පුද්ගලයන් ගැන විමර්ශනය කර කලාශූරී සම්මාන පිරිනැමීම සිදුවේ. පළාත් සභා මගින් ද විනිශ්චය මණ්ඩලයක් මගින් තෝරා කලාවට සහ සාහිත්‍යයට සේවයක් කළ පුද්ගලයන්ට සම්මාන පිරිනැමීම දැකගත හැකිය. බස්නාහිර පළාත් සභාව මගින් පිරිනමන විශ්වාභිනන්දන සම්මානය එවැන්නකි.
මේ සම්මාන අවභාවිතය ගැන දැනගැනීමට අප කතා කළේ අධිනීතිඥයකු මෙන්ම ප්‍රකට සාහිත්‍යධරයකු ද වන ආචාර්ය ඩබ්ලිව්.ඒ. අබේසිංහටය. ඔහු සම්මාන ආචාර්ය උපාධි (D. lit) දෙකක් හිමි විද්වතෙකි. වයඹ විශ්වවිද්‍යාලය 2010 දී එක් ආචාර්ය උපාධියක් ඔහුට පිරිනැමූ අතර 2023 දී කැලණිය විශ්වවිද්‍යාලය ද ආචාර්ය උපාධියක් පිරිනැමුවේය.
‘''ආචාර්ය යන යෙදුම භාවිත කිරීමට නම් නිශ්චිත මූලාශ්‍රයකින් හිමිවුණු ආචාර්ය උපාධියක් තැබිය යුතුයි. සමහර පන්සල්වලින්, විවිධ සංවිධානවලින් ආචාර්ය උපාධි දෙනවා. ඒවායේ ශාස්ත්‍රීය වටිනාකමක් නෑ. මේවායින් කරන්නේ පලක් නැති සමාජ තත්ත්වයක් නැති මිනිස්සු සමාජයේ පැළ කරන්න හැදීමක්. මේවා පිරිනමන ආයතනවලත් ජාතික අරමුණක් නෑ. මේවායින් සිදුවන්නේ ඒවා ගන්නා අය තුළ හිස් මාන්නයක් ඇතිවීමයි. මම පවා ආචාර්ය උපාධිය නමට ඈදා භාවිත කරන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවකදී පමණයි. ඇත්තමට මේවා ගැන මගේ හිතේ තිබෙන්නෙ උපහාසාත්මක හැඟීමක්. ආණ්ඩුව දැන් මේවාට මැදිහත් වෙන්න යන්නෙ කරන්න වෙන වැඩක් නැතුව වෙන්න ඇති. ආණ්ඩුව විසින් කළ යුතු දේවල් කරන්නෙ නෑ. බඩු මිල අඩුකිරීමට හෝ ජීවන වියදම අඩුකර ජනතාවට සහනයක් දෙනු වෙනුවට මේවාගේ සිල්ලර වැඩක් කරන්න යන බවයි පේන්නේ.'' ආචාර්ය අබේසිංහ පැවසුවේය.
පසුගිය වර්ෂයේ මැයි මාසයේ දී ද ආචාර්ය, මහාචාර්ය තනතුරු අවභාවිත කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නීතිමය වැඩපිළිවෙළක් සකස් කරන්නැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධානීන්ට උපදෙස් දී තිබුණි. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතිමය බලයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නැතැයි එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා එම කමිටුවට දැනුම් දුන් බව එවකට වාර්තා විය.
යමෙකුට මහාචාර්ය තනතුරක් භාවිත කළ හැක්කේ විශ්වවිද්‍යාලයකින් ලබා දී ඇත්නම් පමණක් බව සඳහන් කළ මහාචාර්ය අමරතුංග මහාචාර්ය යනුවෙන් හැඳින්වෙන්නේ තනතුරක් බැවින් එම තනතුර දැරෑ අය විශ්‍රාම ගිය පසු ඒ නාමය භාවිත කළ නොහැකි බවද එවකට සඳහන් කළේය. ඔහු පැවසුවේ සම්මානිත මහාචාර්ය පදවි ලබා දිය හැකි පුද්ගලයන් කවුදැයි සඳහන් කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි.
අපට නම් සිතුණේ බෙහෙත්වලින් පවා හොරකම් කරන පාලකයන් සිටින රටක හොර උපාධි, හොර ගරු නාම භාවිතයත් කජ්ජක් ද කියාය.
I කුසුම්සිරි විජයවර්ධන