කටුබැද්ද කාගිල්ස් සුපිරි වෙළෙඳසලට අප යන මොහොතේදීද ඔහු තම රාජකාරිය කරමින් සිටියේය. ඒ මුහුණේ ඇත්තේ සිනහවක් පමණි. කාගිල්ස් සුපිරි වෙළෙඳසලේ රථගාල අංශයේ ආරක්ෂක නිලධාරී ලෙසින් සේවය කරන ඔහු නමින් ආර්.එම්. සරත් කුමාර ය. රථගාලේ ගාල් කරන සෑම රථයක් වෙතටම දිවයන සරත් ඒ සියලු රථ ඉතා ඉක්මනින් පහසුවෙන් ගාල් කිරීමට රථ හිමියන්ට තම සේවය ලබා දෙයි. සරත්ගේ මුහුණේ නිතරම ඇත්තේ ප්‍රියමනාප පෙනුමකි. ඔහුටම ආවේණික වුණු විවිධ අංගචලනවල යෙදෙමින් ඔහු රථ ගාල් කිරීමට උදව් කරයි. ඔහු ළඟ ඇති කුඩා නලාව නාද කරමින් රථවාහන හසුරුවයි. බොහෝ ආරක්ෂක නිලධාරීන්ගේ මෙන් ඔහුගේ මුහුණේ තරහව, අකැමැත්ත පෙන්නුම් නොකරයි. සැබැවින්ම සරත් කුමාර තම සේවයට උපරිමයෙන්ම සාධාරණයක් සිදු කරන, තම රාජකාරියට ආදරය කරන ආරක්ෂක නිලධාරියෙකි.
සරත් කුමාරගේ උපන් ගම වූයේ මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාන්ඩුව මුතුකණ්ඩිය නම් ප්‍රදේශයයි. එය අතිශය දුෂ්කර ප්‍රදේශයකි. පිරිමි දරුවන් හතර දෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූයේ සරත් කුමාර ය. මව්පියෝ ගොවියෝ වූහ. ආර්ථික දුෂ්කරතා වැඩිවත්ම 1998 දෙසැම්බර් මාසයේදී සරත් කුමාර යුද හමුදාවට බැඳුණේය. ඒ රටේ යුද්ධය දරුණුවටම පැවැති සමයයි. බොහෝ තරුණයන් ඒ අවධියේදී හමුදාවට එක්වීමට අකැමැත්තක් දැක්වුවද නිවෙසේ පැවති ආර්ථික අපහසුතා ඉවසා දරාගන්නට නොහැකි වූ සරත් යුද හමුදාවට එක්විය. නමුත් ඔහුට වැඩි කාලයක් තම සේවයේ යෙදීමට හැකි වූයේ නැත. ජයසිකුරු මෙහෙයුමේ ආරම්භක අදියරේදී ඉදිරි ආරක්ෂක වළල්ලේ සේවය කරමින් සිටි සරත් මෝටර් ප්‍රහාරයකට ලක්විය. ඒ ඕමන්ත ඔඩ්ඩුසුදාන්වලදීය. 1999 මාර්තු මාසයේය. එහිදී සරත්ගේ දකුණු අතට, පාදයකට හා ඇසකට දරුණු ලෙස තුවාල සිදුවිය. මාස ගණනාවක් ඔහු රෝහල් ගතවී ප්‍රතිකාර ලැබීය.
''ඒ මෝටර් ප්‍රහාරයෙන් මම දරුණු විදිහට තුවාල වුණා. ටිකෙන් ටික සිහිය එද්දී මම මැරේවිද කියල මට අනන්තවත් හිතුණා. ඒ තරමටම ඒ තුවාල දරුණුයි. තාමත් මගේ අතින් බර උස්සන්න හරි අමාරුයි. දකුණු ඇහැ වැඩිය පේන්නෙ නැහැ. එකදිගට හිටගෙන ඉන්න බැහැ. ඒත් මොනව කරන්නද ජීවත් වෙන්න මේ රස්සාවට මට එන්න සිදු වුණා.'' යැයි සරත් කුමාර දේශයට තම ජීවිතය පිළිබඳ විස්තර කළේය.
සරත් කුමාර ගොවිතැන් කරමින් ජීවිතය ගොඩනගා ගැනීමට උත්සාහ දැරීය. නමුත් එය ද ලෙහෙසි වූයේ නැත. ඔහු කුඹුරු කෙටුවේය. හේන් ගොවිතැන් කළේය. ඒ තම පවුල ගොඩගැනීමටය. ඔහු දරුවන් හතර දෙනකුගේ පියෙකි. වැඩිමහල් දියණිය මේ වනවිට සබරගමුව විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබා සිටින්නීය. ඇය මේ වසරේ අගෝස්තු මාසයේදී පමණ සිය විශ්වවිද්‍යාල ගමන ආරම්භ කිරීමට සූදානම් වෙයි. සරත්ගේ දියණිය දක්ෂ ක්‍රීඩිකාවකි. ඇය ඌව පළාත් පාසල් ක්‍රීඩා මට්ටමින් බොහෝ ඉහළ ජයග්‍රහණ මලල ක්‍රීඩා ඉසව් වෙනුවෙන් ලබාගැනීමට සමත් වූවාය. සමස්ත ලංකා තරගවලට ඇය සහභාගි වන විට ඇගේ ගමන් වියදම් හෝ අවශ්‍යතා වෙනුවෙන් බොහෝ වෙලාවට සරත්ට මුදල් තිබුණේද නැත.
''දුව හරි දක්ෂ දරුවෙක්. සමස්ත ලංකා තරගවලට අනිත් දරුවෝ ඉතාම වටිනා ක්‍රීඩා සපත්තු දාගෙන තරගවලට ඉදිරිපත් වෙද්දි මගේ දුවට ඒ වගේ සපත්තු තිබුණෙ නැහැ. එයා එදත් එයාගේ පරණ සපත්තු දෙක දාගෙන තරගයට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කළා. දුව සබරගමුව විශ්වවිද්‍යාලයට තේරුණා. ''අනේ අප්පච්චි. මට කැම්පස් එකේ වැඩවලට ලැප්ටොප් එකක් ඕනෑ. ඒක අරගෙන දෙන්න අප්පච්චිට බැහැ කියල මම දන්නවා. ඒ නිසා මමත් කැම්පස් පටන් ගන්නකම් කොළඹට ඇවිත් රස්සාවක් කරන්නද?'' කියලා දුව මගෙන් ඇහුවා. මේ දවස්වල දුවත් මේ බිල්ඩින් එකේ ඇඳුම් සාප්පුවක වැඩ කරනවා. මට මගේ දරුවන් ගැන දුකයි. ලැප්ටොප් එකක් ගන්න දුව මහන්සි වෙනවා.'' යැයි සරත් කුමාර පැවසීය.
මේ වන විට සරත්ගේ පුතුන් තිදෙනා පාසල් අධ්‍යාපනය ලබමින් සිටිති. ඔවුන් ද ක්‍රීඩාවට දක්ෂ දරුවෝ වෙති. සරත් කොළඹට පැමිණියේ මීට මාස හතරකට පමණ පෙරය. ඒ දිනේෂ් දිසානායක මහතා විසින් පවත්වාගෙන යනු ලබන ආරක්ෂක සේවා ජාලයේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කිරීමටය. ඒ කටුබැද්ද කාගිල්ස් සුපිරි වෙළෙඳසලටයි. යුද හමුදා නිලධාරියකු ලෙසින් සේවය කළ සරත් ආරක්ෂක නිලධාරියකු ලෙස ඊට පෙර සේවය කර තිබුණේ නැත. නමුත් ඔහු ඉතා ඉක්මනින්ම තම රාජකාරියට පුරුදු විය.
''මෙතැනට එන මහත්තයල හරි හොඳයි. මම ඒ එන හැම කෙනෙක්ටම ''ගුඩ් මෝනිං, ගුඩ් ඊවිනිං, ගුඩ් නයිට්'' කියලා සුබ පතනවා. මම හිනාවෙලා කතා කරනවට මෙතැනට එන නෝනලා සර්ලා හරි කැමැතියි. මට ඒ අය කෑම ගෙනත් දෙනවා. පසුගිය නත්තලට මට තෑගි පවා දීපු නෝනලා සර්ලා ඉන්නවා. මගේ දරුවන්ට පොත් පවා අරගෙන දුන්නා. මගේ පුතාලා දෙන්නගෙන් මුල් දෙන්නා නිවුන්නු. ඒ එක පුතෙක්ගෙ කණේ ආබාධයක් පවා තිබිලා බෙහෙත් කළා. පුතාලත් ක්‍රීඩාවට දක්ෂයි. දරුවෝ මට හරි සමීපයි. එයාලගෙන් ඈත්වෙලා කොළඹ ඇවිත් මෙහෙම රස්සා කරන එක ඇත්තටම දුෂ්කරයි. දුකයි. ඒත් මොනව කරන්නද? ජීවත් වෙන්න බොහෝ දේවල් කැප කරන්න සිදුවෙලා තියෙනවා.'' යැයි සරත් කුමාර වැඩිදුරටත් පැවසීය.
සරත් කුමාර කොළඹට පැමිණියේ බොහෝ ආර්ථික අපහසුතාවලට මුහුණ දීම හේතුවෙනි. ඔවුන් ජීවත් වන්නේ ඔවුන්ගේ මහ ඉඩමේ නිවෙසකය. ඔහුගේ වැඩිමහල් සහෝදරයකු ද ජීවත් වූයේ ඔවුන්ට යාබද එම ඉඩමේම තැනූ නිවෙසකය. ඔහු තම සහෝදරයන්ට අසීමිතව ආදරය කළේය. ඒ ආදරය පෙරළා ඔහුට ද ලැබුණි. නමුත් එක්තරා රියැදුරකුගේ නොසැලකිලිමත්කම හා අනාරක්ෂිත රිය පැදවීමක් හේතුවෙන් සරත්ගේ සහෝදරයා රිය අනතුරකට ලක්වීමෙන් මෙලොව හැර ගියේය. තම සහෝදරයාගේ වියෝවෙන් සරත් දැඩි ලෙස කම්පා විය. ඒ වන විටත් ඔහුගේ සහෝදරයා දියණියන් දෙදෙනකුගේ පියෙකි. ඒ නිවහනේද ආර්ථික ගැටලු බොහෝමයක් එකින් එක පෙළ ගැසුණි. සහෝදරයා මෙලොව හැරගොස් මාස හතරකට පසුව සරත් කුමාර රුකියාවක් සඳහා කොළඹ පැමිණියේය.
''මම හිනාවෙලා වාහන හසුරුවද්දි සමහර නෝනලා සර්ලා මට ප්‍රශ්න නැහැ කියලත් හිතනවා ඇති. ඒ වුණාට මට තියෙන ප්‍රශ්න මෙතැන ඉන්න අනිත් අයට නැතිව ඇති. හිනාවෙලා හිටියට, හිනාවෙලා කතා කළාට මේ පපුව ප්‍රශ්නවලින් පිච්චෙනවා. දරුවට ඉගෙන ගන්න මට ලැප්ටොප් එකක් අරගෙන දෙන්නත් විදිහක් නැහැ. අද ඒ දරුවා ඒකට රස්සාවක් කරනවා. එකදිගට හිටගෙන ඉන්න බැහැ. මෝටර් ප්‍රහාරයෙන් දරුණු විදිහට තුවාල වුණු නිසා කකුල වේදනා දෙනවා. ඒත් මොනව කරන්නද? මම සේවය කරන ආයතනයේ ප්‍රධානියා වුණු දිනේෂ් සර් පවා මාව අගය කළා. මෙතැනට එන අය මාත් එක්ක ෆොටෝ ගන්නවා. මොනව වුණත් මම මේ රස්සාවට ආදරෙයි. හිනාවෙලා ඉන්න ආසයි.'' යැයි සරත් කුමාර දේශයට පැවසීය.
I දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ