2024 මාර්තු 09 වන සෙනසුරාදා

කෝච්චියේ ගැටෙන අලි ඇතුන් බේරන්න හදන කැලෑව මැද උමග

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 132

රොබට් ස්ටැන්ඩිෂ් ලියූ එලිෆන්ට් රෝඩ් නවකතාව ඉ. කොලොන්නගේ අලි පාර නමින් පරිවර්තනය කළේය. එහි විස්තර වන්නේ වනඅලි මංකඩක විසල් මන්දිරයක් තැනූ සුද්දෙක් එම මන්දිරය ද සමඟ අලින්ගේ කෝපයට පත්ව විනාශ වන ආකාරයයි. එලෙසම ලංකාවේ අලි මිනිස් ගැටුමට මෙන්ම වන අලින්ගේ විනාශයට ද මිනිසා අලි මංකඩ ආක්‍රමණය කිරීම හේතු වී ඇති බව කාටත් තේරුම් යන දෙයකි. නමුත් ඒ සඳහා නිශ්චිත විසඳුමක් වෙනුවට එහෙන් මෙහෙන් පැලැස්තර අලවා තුවාලය සුව කිරීමට බලධාරීන් කටයුතු කිරීම එදා පටන් දැකගැනීමට ලැබේ. අලිමංකඩ හරහා දිවෙන දුම්රිය මාර්ග අතරින් පාර පැනීමට යාමේදී දුම්රියේ ගැටී වන අලි මරණයට පත්වීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්වූ සිද්ධියකි. 

පසුගිය පළමුවැනිදා මෙසේ අලි දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා ගත් එක් උත්සාහයක් ලෙස අප රටේ ප්‍රථම වනජීවී උමං මාර්ගයට මුල පිරීම සිදුවිය. එය ඉදිකෙරෙන්නේ  අලි දුම්රිය අනතුරු වැඩිපුරම සිදුවූ ගල්ගමුව සහ අඹන්පොල අතර කාසිකොටේ ගැටදිවුල නම් ස්ථානයේය. ගැටදිවුල වන රක්ෂිතය අසලින් ඇදී යන දුම්රිය පාර යටින් වන අලින්ට ගමන් කළ හැකි උමඟක් තැනීමේ කටයුත්ත එසේ ආරම්භ කෙරුණි. එම උත්සවය පවත්වනු ලැබුවේ ප්‍රතිසංස්කරණය කරනු ලබන දුම්රිය මාර්ගය උඩම තැනූ තාවකාලික මණ්ඩපයකය. එම උත්සවයට පැය කිහිපයකට පෙර උදෑසනම වන අලි රංචුවක් එතැනින් පාර පැන වනාන්තර බිමට පැමිණි අතර උත්සවයෙන් පසුවත් වන අලි ඒ අවට ගැවසෙමින් පාර ගැන යන අන්දම දැකගත හැකි විය. 

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, සුරකිමු දුම්රිය ජාතික ව්‍යාපාරය ඇතුළු ආයතන සහ සංවිධාන සමඟ පැවති සාකච්ඡා කිහිපයකින් අනතුරුව වන අලින් මෙම දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී අනතුරට පත්වීම වැළැක්වීම සඳහා මෙම විශේෂ පියවර ගෙන තිබේ.

මෙම ස්ථානය හරහා වන අලි 150 - 200 ත් අතර ප්‍රමාණයක් නිරන්තරයෙන් දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කිරීම සිදුවේ. මේ වනවිට මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය ධාවනය නොවේ. ඒ ඉන්දියානු ණය ආධාර යටතේ සිදුකෙරෙන මහව - ඕමන්තේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන හෙයිනි. උමං මාර්ගයත් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබීම වනජීවී ලෝලීන්ට සතුටට කරුණකි. දැනට ක්‍රියාත්මක වන දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණයෙන් පසුව දුම්රියේ ගමන් වේගය පැයට කි.මී. 100ක් දක්වා වැඩිවන අතර එවිට අලි දුම්රියේ හැපී සිදුවන අනතුරු තවත් ඉහළ යාමට පුළුවන. අපට නම් සිතෙන්නේ ඒ සඳහා තවත් වනජීවී උමං කිහිපයක්ම දුම්රිය මඟ හරහා තැනීම අවශ්‍ය බවයි. 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගල්ල වනජීවී උමඟ ගැන අදහස් පවසා තිබෙන්නේ මෙසේය: 

‘‘අලිඇතුන් ජීවත් වන රටවල් දහතුනයි ලෝකයේ තිබෙන්නේ. ඒ අතරින් ලංකාවේ ජීවත්වන අලි ඇතුන්ට සංස්කෘතික වටිනාකමකුත් තිබෙනවා. ඒ නිසා අලිඇතුන් රැකගැනීමට ගත් පියවරක් ලෙස වනජීවී උමං මාර්ගයක් තැනීම අගනා වැඩක්. මෙරට වාර්ෂිකව සිදුවන අලි මරණවලින් සියයට 80ක්ම ඝාතනයි. මේ වනවිට අලි මිනිස් ගැටුමෙන් වාර්ෂිකව මිනිස් ජීවිත 80ක් ද අලිඇතුන් 400ක් ද අහිමි වී යනවා.''  

පසුගිය 2023 වසරේදී අලි ඇතුන් 470 දෙනකු මරණයට පත්ව ඇති අතර ඒ අතරින් දුම්රියේ ගැටීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 23කි.  දුම්රියේ වැදී අලි අනතුරු බහුතරයක් සිදුවන්නේ රාත්‍රියටය. ගල්ඔය හන්දිය කේන්ද්‍ර කර ගනිමින් කන්තලේ කිතුල්උතුව දෙසටත්, පලුගස්වැව හබරණ, මින්නේරිය, මනම්පිටිය ආදී ප්‍රදේශවල දුම්රිය මාර්ග ආශ්‍රිතවත් අලි මරණ සුලබය. ගල්ගමුව කාසිකොටේ ද එසේ අලි මරණවලින් වාර්තා තැබූ ස්ථානයකි. පොළොන්නරුව, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල වනාන්තර මැදින් යන දුම්රිය පාරේ දී අලි දුම්රියට බිලිවීම නිතර වාර්තා වේ. වන අලි දුම්රියේ හැපෙන තවත් ස්ථානයක් වන්නේ මන්නාරම දුම්රිය මාර්ගයේ සෙට්ටිකුලම අවටයි.  

ධාවනය වන දුම්රියක් නැවැත්වීමට මීටර් 600කට පමණ පෙර තිරිංග මුදා හැරිය යුතු වේ. හෙමින් දුම්රිය ධාවනය කළත් තිරිංග මුදා හැරීමෙන් පසුව මීටර් 600 ක් ඉදිරියට දුම්රිය ඇදී යාම සිදුවේ. ඒ නිසා වන අලි මාර්ගය හරහා යන වෙලාවට තිරිංග මුදා හැර  ඔවුන් බේරා ගැනීම ඉතාම අසීරු කාර්යයක් බව දුම්රිය නිලධාරිහු පවසති. 

පසුගිය වර්ෂයේ සැප්තැම්බර් 28 වැනිදා ගල්ගමුව ප්‍රදේශයේදී අලි සිව් දෙනෙකු සහ හබරණ ප්‍රදේශයේදී දෙදෙනෙකු වශයෙන් එක් රාත්‍රියකදී දුම්රිය අනතුරුවලින් අලි ඇතුන් සය දෙනෙකු මිය යාමෙන් පසුව අලි ඇතුන් සහ දුම්රිය යන මාතෘකාව යළිත් කාගේත් අවධානයට ලක්විය. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව දුම්රියේ ගැටීමෙන් මිය යන අලි සංඛ්‍යාව මෙරටින් වාර්තා වන සමස්ත අලි මරණවලින් 5% ක් පමණ වේ. එසේ මියයන අලි ඇතුන් සංඛ්‍යාව වසරකට 15-20 ක් පමණ වන බැවින් එය සුළුපටු නොවේ.

වනජීවී උමං මාර්ගය ඉදිකිරීමේ අවස්ථාවේ දී අනුශාසනයක් සිදු කළ සුරකිමු ලංකා පදනමේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ,

“ශ්‍රී ලංකාවේ ප්‍රථම වනජීවී උමං මාර්ගය වන්නේ අද ඉදිකිරීම් ආරම්භ වන කාසිකොටේ උමං මාර්ගයයි. එය ඉතාමත් ඓතිහාසික කාර්යභාරයක්. සංවර්ධන ව්‍යාපෘතියක් සිදුකෙරෙන විට ලෝකයේ පිළිගන්නා නිර්ණායක අතර ඉතාමත් සුවිශේෂී නිර්ණායකයක් ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය මෙලෙස ආරම්භ කරන වනජීවී උමං මාර්ගය සැලකිය හැකියි. එය වනජීවීන් මෙන්ම මිනිසුන් වෙනුවෙන්ද ඉතාමත් වටිනා තීරණයක්. වන සතුන් නිතර ගමන් කරන, ඔවුන්ට හුරුපුරුදු මාර්ගය තුළ කුමන බාධක පැවතුණත් වන අලින් ඒ හරහා ගමන් කරනවා. 

මෙම ස්ථානයේදී පමණක් අලි අට දෙනෙකුට වඩා දුම්රියේ ගැටී මිය ගොස් තිබෙනවා. මෙය තවදුරටත් සිත් පිත් ඇති මිනිස්සුන්ට බලා සිටිය හැකි කරුණක් නොවෙයි. 

අප වසර ගණනක් අලි මිනිස් ගැටුමට පිළිතුරු සෙව්වේ සිදුකළ නොහැකි දේ පිළිබඳ කාලය නාස්ති කරමිනුයි. නමුත් මේ මොහොතේ ප්‍රවාහන අමාත්‍යාංශය ඒ වගකීම භාරගනිමින් අති විශාල වියදමක් දරමින් මීට විසඳුම් ලබාදීමට ඉදිරිපත් වී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රදේශවාසීන් තුළද යම් යම් කුතුහලයන් පවතිනවා. නමුත් මිනිසුන් මෙන්ම මේ සතුන්ද ජීවත් විය යුතුයි. එමෙන්ම රටේ සංචාරක ව්‍යාපාරයෙන් 50% ට වඩා අති විශාල ආදායමක් ලබා දෙන්නේ අලි ඇතුළු වන සතුන් නැරඹීමට පැමිණෙන සංචාරකයන් වැය කරන ඩොලර් තුළින්. මෙම ප්‍රදේශයේ ජනතාවටද සංචාරකයන්ට වන අලින් නැරඹීමට අවශ්‍ය පහසුකම් ලබාදීම තුළින් විශාල ආදායමක් උපයා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා මේ ප්‍රදේශයේ ජනතාවද උනන්දු විය යුතුයි. ඉන්දියාව වැනි රටවල ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව එවැනි ක්‍රමවලින් විශාල මුදල් උපයනු ලබනවා. මේ ප්‍රදේශයම සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කළ හැකියි. අක්කර 900කට‍ අධික මේ අවට භූමි ප්‍රදේශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනජීවී කලාපයක් ලෙස නම් කිරීම තුළින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දිය හැකි වෙනවා.”

පසුගිය වසර කිහිපය තුළ දුම්රියන්හි ගැටීම නිසා වැඩිම වන අලි ප්‍රමාණයක් මිය ගිය සහ වනඅලි 150-200 ත් අතර ප්‍රමාණයක් නිරන්තරයෙන් දුම්රිය මාර්ගය ආශ්‍රිතව සැරිසරන, අඹන්පොල හා ගල්ගමුව දුම්රිය ස්ථාන අතර පිහිටි කාසිකොටේ, ගැටදිවුල  ස්ථානයේ දුම්රිය මාර්ගයට යටින් වනජීවී උමං මාර්ගයක් ඉදිකර දෙන ලෙසට යෝජනාවක් ඉදිරිපත් වී තිබුණි. එම ස්ථානයට නුදුරින් පවතින පැරණි බෝක්කුවක් වනජීවී උමං මාර්ගයක් වශයෙන් සංවර්ධනය කිරීමට යෝජනා වුවද එහි පවතින තාක්ෂණික ගැටලු කිහිපයක් නිසා අලිමංකඩ ස්ථානයේ නව වනජීවී උමඟක් ඉදිකිරීමට පසුව තීරණය විය.

වනජීවී උමඟට නුදුරු මහා මාර්ගයේ දී වේග පාලක ගැටි තනා වාහනවල වේගය අඩුකිරීම වැදගත් බවත් ප්‍රදේශවාසීහු පවසා සිටිති. 

ශ්‍රී ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට 60ක පමණ අලි ඇතුන් ජීවත්වන බව ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු කළ පර් යේෂණයකින් අනාවරණය වී තිබේ. එම ප්‍රතිශතය ආසියානු අලින් දිවිගෙවන අනෙක් රටවලට සාපේක්ෂව ඉතාමත් ඉහළ අගයක් ගෙන ඇත. මෙම වන අලි ගහනයෙන් සියයට හැත්තෑවක්ම (70%) රක්ෂිත ප්‍රදේශවලින් බැහැරව ජීවත්වීමද බලධාරීන්ගේ අවධානයට යොමුවිය යුතු කරුණකි. පසුගිය දශක හය පමණ කාලය තුළ අලි ඇතුන්ගේ වාසභූමි ප්‍රදේශවලින් සියයට පහළොවක් පමණ ඔවුන්ට අහිමි වී තිබේ.

ලෝකයේ වන සතුන් රැකගැනීමට වනාන්තර හරහා මහාමාර්ග ඉදිකිරීමේ දී විශේෂ අවධානයක් යොමුකිරීම සාමාන්‍ය සිද්ධියකි. ට්‍රාන්ස් කැනඩා අධිවේගී මග ඉදිකිරීමේදී බාන්ෆ් ජාතික උද්‍යානය මැදින් යාමේ දී වනජීවී උමං 38ක් ද වනජීවී පාලම් 6ක් ද   තනා තිබේ. එම වනමං භාවිත කරන්නේ අලිඇතුන් වැනි විශාල සතුන් නොව මුවන්, වෘකයන්, වලසුන්, ලින්ක්ස් වැනි සිව්පා සතුන් ය. අමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවේ ආවේණික සතකු වන ෆ්ලෝරිඩා පැන්තර් වෙනුවෙන්ම වනජීවී උමං 12ක් මාර්ග හරහා ඉදිකර තිබේ.

ඉදිරියේ දී තවත් මෙවැනි වනජීවී උමං සහ පාලම් ද ඉදිකිරීමට බලධාරින් උනන්දු විය යුතුය. මාර්ග සංවර්ධනය කිරීමේ දී වනසතුන්ගේ ආරක්ෂාව ගැන ද සැලකිලිමත් වීමෙන් එවැනි පියවර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් කරගත යුතු වේ.

I කුසුම්සිරි විජයවර්ධන
I සේයාරූ: අන්තර්ජාලයෙනි