වෙළෙඳපොළ පවතින භාණ්ඩ හා සේවා අප බොහෝ විට හඳුනා ගන්නෙ ඒවායේ සන්නාම අනුව. නිෂ්පාදන සමාගමට වඩා බොහෝ විට පාරිභෝගිකයන්ට මතක තියෙනවා සන්නාමය. ඇතැම්විටෙක වෙළෙඳපොළ භාණ්ඩවල ව්‍යවහාර නාම බවට සන්නාම පත්වන අවස්ථාවත් තිබෙනවා. එනිසා සෑම ව්‍යාපාරයකම අරමුණ ජනප්‍රිය ශක්තිමත් සන්නාමයක් ගොඩනැගීම. එහෙත් එය පහසු කටයුත්තක් නෙවෙයි.
ඒ නිසාම ලෝකයට සන්නාම අගයන ක්‍රමවේද පවතිනවා. ශ්‍රී ලංකාව තුළත් ජනාදරයට පත්වන සන්නාම අගය කිරීම සඳහා සම්මාන උළෙල කිහිපයක්ම පැවැත්වෙන්නේ ඒ අනුව. එහෙත් කර්මාන්ත ක්ෂේත්රයේ විශේෂ සන්නාම සඳහා වන සම්මාන උළෙලක් ශ්‍රී ලංකාව තුළ පැවතුණේ නැහැ. ජාතික ආර්ථිකයේ විශාල පංගුකාරීත්වයක් දරන කර්මාන්ත ක්ෂේත්රයට එවන් ඇගයීමක් නොලැබීම මහත් අඩුපාඩුවක් වූ බව සඳහන් කළ යුතුයි.
කෙසේ වෙතත් දැන් එම අඩුපාඩුව මඟහරිමින් ලංකාවේ පළමු වරට කර්මාන්ත සන්නාම සඳහා සම්මාන උළෙලක් සංවිධානය කිරීමට කාර්මික සංවර්ධන මණ්ඩලය පියවර ගනිමින් සිටිනවා. අප ඒ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු දැන කියාගන්න කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්යක්ෂ (ව්‍යවසායකත්ව) රේණුකා ජයලත් මහත්මිය සම්බන්ධ කර ගත්තා.
“ජාතික විශිෂ්ටතා සන්නාම උළෙල 2024 අපි සංවිධානය කිරීමට සූදානමින් ඉන්නවා. මෙතුවක් කල් කර්මාන්ත සන්නාම ඇගයීම සඳහාම වූ සම්මාන උළෙලක් පැවැත්වුණේ නැහැ. නමුත් අපි මෙවර එවන් සම්මාන උළෙලක් පවත්වනවා. කර්මාන්ත ප්‍රවර්ධනයට මෙම ඇගයීම විශාල දිරිගැන්වීමක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා."
පෞද්ගලික ජීවිතය තුළ මෙන්ම ව්‍යාපාරික ලෝකය තුළ ද ඇගයීම් ජයග්‍රහණ සොයා යන්නන් හට මෙය ශක්තියක් වන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ.
ඒ වෙළෙඳපොළ තරගකාරීත්වය ඇතිවීමත් සමඟයි සන්නාම පිළිබඳ අදහස ලෝකය තුළ නිර්මාණය වෙන්නේ, විසිවැනි සියවසේ මුල් දශක කිහිපය තුළදී. එකම නිෂ්පාදනය විවිධ නිෂ්පාදකයන් විසින් සපයන්නට වීම නිසා තමා සන්නාම හෙවත් ‘බ්‍රෑන්ඩ්’ සංකල්පය නිර්මාණය වෙන්නෙ. සරලවම කිව්වොත් සන්නාමයක් අවශ්‍ය වන්නේ එක් නිෂ්පාදකයකුගේ නිෂ්පාදනයක් එම වර්ගයේ අනිත් නිෂ්පාදනවලින් වෙන්කර හඳුනා ගැනීම සඳහා.
වර්තමානය වෙනකොට වෙළෙඳපොළ තවත් සංකීර්ණ වීමත් සමඟ, නිෂ්පාදනයේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ගැන කතා කිරීමේදී එහි සන්නාමය අත්‍යාවශ්‍ය අංගයක් වෙලා තියෙනවා. සන්නාමයක සැබැවින්ම ඇත්තේ සංකේතාත්මක වටිනාකමක් වුණත් ඒ පසුපස තියෙන වටිනාකම් මෙතෙකැයි කියලා කියන්න බැහැ. ඒ නිසාම වර්තමාන වෙළෙඳ පාරිභෝගික ප්‍රසාදය දිනාගත් සන්නාමයක් ගොඩනැගීම පහසු කටයුත්තක් නෙවෙයි. විශේෂයෙන්ම කර්මාන්ත ක්ෂේත්රය තුළ සන්නාමයක් ගොඩනැගීම විශාල අභියෝගයක්.
කාර්මික සංවර්ධන ව්‍යවසායකත්ව අංශයේ අධ්යක්ෂ රේණුක ජයලත් මහත්මිය මෙම සම්මාන උළෙල පිළිබඳ තවදුරටත් අප සමග පැහැදිලි කළා.
“මිනිසුන්ගේ හදවතටම කිදාබැහැපු සන්නාම තමයි අපි අගය කරන්න සූදානම් වෙන්නෙ. තමන්ගේ කර්මාන්තයේ නම ජාතික තලයට වගේම ජාත්‍යන්තරයටත් ගෙන ගියපු ව්‍යවසායකයන් අපේ රට තුළ ඉන්නවා. ප්‍රාදේශීය මට්ටමෙනුත් තමන්ගෙ කර්මාන්ත සන්නාමය මිනිස්සු අතරට ගෙනියන්න සමත්ව වුණු ව්‍යවසායකයන් ඉන්නවා. ඒ අයව තමා අපි මෙතැනදි අගය කරන්නෙ."
ප්‍රාදේශීය සන්නාම ජාතික තලයට රුගෙන යාමටත්, ජාතික මට්ටමේ සන්නාම ජාත්‍යන්තරයට රුගෙන යාමටත් මෙම අගය කිරීම හේතුවක් වනු ඇතැයි කාර්මික සංවර්ධන මණ්ඩලය අපේක්ෂා කරනවා. එම නිසා මෙම සම්මාන උළෙල තවත් එක් සම්මාන උළෙලක් ලෙස නොව අධ්‍යාපනික සහ සමාජීය වටිනාකම සහිත වැඩසටහනක් ලෙස සංවිධානය කිරීම තමා ඔවුන්ගේ අපේක්ෂාව.
“සන්නාමයක් නිර්මාණය කර ගැනීම හරහා පැහැදිලිවම එම ව්‍යාපාරයේ ලාභය වැඩි වෙනවා. අපි මේ සම්මාන ලබා දීමෙන් සන්නාමයක් ගොඩනගා ගැනීමට කර්මාන්ත ක්ෂේත්රය උනන්දු කරනවා. ඒ වගේම සන්නාමයක් සහිතව එන නිෂ්පාදනයක තිරසර බව වැඩියි. සන්නාමයක් හදාගත්තට පස්සේ එම ආයතන කඩා වැටෙන්නෙ නැහැ. කර්මාන්තයක එක ප්‍රඩක්ට් එකක් බ්‍රෑන්ඩ් වුණොත් ඒ මත අනිත් නිෂ්පාදනවලටත් පවතින්න පුළුවන් අවස්ථා අපි දැක තියෙනවා."
රේණුකා ජයලත් මහත්මිය පෙන්වා දෙන ආකාරයට විටෙක ආයතනයේ සමස්ත වත්කම් ප්‍රමාණයට වඩා වැඩි වටිනාකමක් සන්නාමයට ලැබිය හැකියි. එවන් සන්නාම විසින් ලෝක ආර්ථිකයේ විශාල පංගුවක් අත්පත් කරගෙන සිටින බවට ඕනෑ තරම් උදාහරණ තිබෙනවා. රටක් ලෙස අපට දියුණු වන්නට නම් එවන් සන්නාම නිර්මාණය විය යුතු බව කාර්මික සංවර්ධන මණ්ඩලය විශ්වාස කරනවා.
“මෙම සම්මාන උළෙල සඳහා අයැදුම් කරන්න දැන් කර්මාන්ත ක්ෂේත්රයේ නියුතු ප්‍රජාවට පුළුවන්. අපි මේ දිස්ත්‍රික් කාර්යාලය වෙත මේ මස පළමුවැනිදා සිට අයැදුම්පත් යවලා තියෙනවා. සන්නාම නිර්මාණය කරගෙන ඉන්න සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ කර්මාන්තවලට මේ සම්මාන උළෙල සඳහා අයැදුම් කළ හැකියි. මේ කාණ්ඩ තුනට අයත් ක්ෂේත්‍ර 25ක් සඳහා අපි සම්මාන ප්රදානය කිරීමට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව පළාත් මට්ටමිනුත් හොඳම සන්නාම සඳහා සම්මාන ප්රදානය කෙරෙනවා.”
වසරේ හොඳම අපනයන කර්මාන්ත සම්මානය, හොඳම ස්ථාපිත සම්මානය ආදී තවත් අංශ කිහිපයක් යටතේම සම්මාන ප්රදානය කිරීමට කාර්මික සංවර්ධන මණ්ඩලය සූදානම්. මාර්තු මාසය පුරා මෙම සම්මානය උළෙල සඳහා අයැදුම්පත් කිරීමේ හැකියාව කර්මාන්ත ක්ෂේත්රයේ ව්‍යාපාරිකයන් සතුයි. ඒ වගේම මෙම අයැදුම්පත් සම්පූර්ණ කිරීම සඳහා මාර්ගගත සහයෝගයත් ලබා දීමට මණ්ඩලය සූදානමින් සිටිනවා.
“දිස්ත්‍රික් කාර්යාලවලින් ඔය වගේම අපේ වෙබ්අඩවියෙනුත් අයැදුම්පත් ලබාගත හැකියි. 1995 අපේ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තවදුරටත් අවශ්‍ය සහායෝගය ලබාගන්න පුළුවන්. මාර්තු මාසයේ අයැදුම්පත ලැබීමෙන් පසුව විශේෂ පැනල් එකක් හරහා අපි අදාළ තෝරාගැනීම් සිද්ධ කරනවා. අප්‍රේල් 19, 20, 21 දිනවලදී අවසාන වටයට තෝරාගත්ත කර්මාන්ත සඳහා ප්‍රසන්ටේෂන් එකක් සිදු කරන්න අවස්ථාව ලබා දෙනවා."
ඉතිහාසයේ පළමුවරට ක්‍රියාත්මක වන මෙම සුවිශේෂී සම්මාන උළෙල ද මෙරට සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මෙන්ම මහා පරිමාණ කර්මාන්තකරුවන්ට නැවුම් අත්දැකීමක්. සැබැවින්ම සන්නාමයක් යනු අභිමානයක්. ව්‍යාපාරිකයෙක් ලෙස ඔබට අභිමානයට පත්වන්නට නම් ඔබ සන්නාමයක් ගොඩනගා ගත යුතුමයි.