සිංහල ක්‍රමයට වසරේ පළමු මාසය බක් මාසයයි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන්නේ බක් මාසයේ බැවින් එය සිංහලයන් හා හින්දුන්ගේ අලුත් අවුරුදු මාසයයි. එය බක්මහ කෝණ මංගල්‍යය ලෙසින්ද හැඳින්වේ. එරබදු මලින් පරිසරයම රත් පැහැයක් ගන්නා මේ කාලයේ කොහාගේ සංගීතය සමඟ අලුත් අවුරුද්ද වෙනුවෙන් නිර්මාණය වූ ගීතද අපට අසන්නට ලැබේ.
අලුත් අවුරුදු සමය තේමා කරගනිමින් ගුවන්විදුලි, චිත්‍රපට හා කැසට් ගීත රුසක් නිර්මාණය වී තිබේ. ඒ අතරින් මගේ මතකයට නැගෙන පැරණිම ගීත අතර 1960 දශකයේ ගුවන්විදුලියෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය අවුරුදු ගීතයක් වූ සුනිල් ශාන්තයන් ගැයූ ''සිංහල අවුරුද්දේ මංගල ගී සද්දේ'' වැනි ගීත සුවිශේෂී වේ. මෙම ගීතය බක්මහේ අසිරිය ගැන කියැවෙන වර්ණනාවක් බඳුය. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සිංහල අවුරුදු අසිරිය පිළිබඳ ගීත රුසක් ගායනා කර ඇත. ඒ අතර මහගම සේකරයන්ගේ පද රචනයක් ඇසුරින් අමරදේවයන් තනුව හා සංගීතය නිර්මාණය කොට ගායනා කළ ''නීල කොබෙයි රූන ඇදී වී අහුලන ඉපනැල්ලේ'' ගීතය අලුත් අවුරුදු කාලයට ගහකොළ, සතා සීපාවා මෙන්ම පරිසරයද විචිත්‍රවත් වන ආකාරය පිළිබඳව අප තුළ කදිම චිත්‍රයක් මවන්නට සමත් වෙයි.
''නීල කොබෙයි රූන ඇදී වී අහුලන ඉපනැල්ලේ
මාල ගිරවු පේලි සැදීලා - නව අවුරුදු ගීත ගයනවා
වක්කඩ ළඟ දිය සුළියේ - තිත්ත පැටවු කලබලයේ
ඒ තාලෙට වරල් සලාලා - නව අවුරුදු නැටුම් නටනවා''
මහගම සේකරයන් පද රචනය කළ පණ්ඩිත් ආචාර්ය අමරදේවයන් සංගීතවත් කොට ගායනා කළ තවත් අවුරුදු ගීතයක් වන්නේ ''වඩින්න අප වෙත අවුරුදු කුමරියනේ'' යන ගීතයයි. අලුත් අවුරුද්දට කෙරෙන ආරාධනාවක් බඳු මේ ගීතය වර්තමානයේ අසන්නට නොලැබුණද ඉතා මිහිරි ගීතයකි.
''වඩින්න අප වෙත අවුරුදු කුමරියනේ
වසන්ත සමයේ සුරංගනාවියනේ
සිරියාවෙන් කෙත් වතුපිටි සරු කර - මිටියාවත් කඳු හෙල් පසුකර
සන්තෝසය ගෙන් ගෙට පතුරා හැර - සෞභාග්‍යය සව් සතට උදා කර''
මේ හැර සිංහල අවුරුද්ද පාදක කර ගනිමින් පණ්ඩිත් අමරදේවයන් විසින් ගැයුණු තවත් ගීත රුසක් තිබේ. ඒ අතුරින් ඉතා කන්කළු ගීතයක් වන්නේ අරිසෙන් අහුබුදුවන් විසින් රචිත ''මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී'' නමැති ගීතයයි.
''මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී - මී වදවල පැණි පුරවන්නී
කුරුළු සරින් කන් පිනවන්නී - මුළු ලොව උයනක් කරවන්නී''
සුනිල් සරත් පෙරේරා විසින් රචිත ''අතුරු මිතුරු දඹදිවතුරු - ගහ වැල මල් ලන පියකරු'' නමැති ගීතයද, ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් ගැයුණු අවුරුදු ගීත අතර ප්‍රධානය.
1970 දශකයේ නිර්මාණය වූ තවත් විශිෂ්ට අවුරුදු ගීතයක් වන්නේ හෙන්රි තෙන්නකෝන් නමැති කාටූන් ශිල්පියා විසින් රචිත පියසිරි විජේරත්න සහ අමිතා වැදිසිංහ ගායනා කළ ''බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද'' නමැති ගීතයයි. මෙම ගීතයේ පද රචනය මෙන්ම තනුව හා ගායනයද අසන්නා වෙනස්ම මානයකට රුගෙන යන අතර විචිත්‍රවත් රෑපාවලියක් මවා පායි.
''බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද
ඉද්ද පනා මල් කැන් පිපිලා
සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ලද
නැද්ද කනෙයියනෙ රොන් ඉසිලා
බැද්දට මල් වරුසාවක් වැහැලද
නිල් කොළ මත ඒ මල් ඉහිලා
පාර වටේ ඇති සේරම ගස්
සරුසාර හැඩයි ගෙඩි හට ගැනිලා''
සිංහල අවුරුදු සමයට නොවරදවාම ඇසෙන තවත් ගීතයක් වන්නේ මහාචාර්ය සනත් නන්දසිරි හා සුජාතා අත්තනායක ගයන ''කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ'' නමැති ගීතයයි. බක් මාසයේ ඇරඹුමත් සමඟ ඇසෙන්නට පටන් ගන්නා මේ ගීය විවිධ ප්‍රදේශයන්හි අවුරුදු උත්සවවල අනිවාර්යයෙන්ම ඇසෙන්නකි.
''කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ උඹට ඇහෙනවදෝ
රබන් හඬට බමරු නටන ලස්සන ගම් මැද්දේ
කොහෝ උඹත් ගී කියපන් සිංහල අවුරුද්දේ''
මේ ගීතයේ පද රචනය ආචාර්ය අජන්තා රණසිංහගෙන් වන අතර සංගීතය සනත් නන්දසිරිගෙනි.
සිංහල අවුරුද්ද තේමා කරගනිමින් වැඩිම ගීත සංඛ්‍යාවක් ගායනා කර ඇත්තේ එච්.ආර්. ජෝතිපාල විය හැකිය. එම ගීත රුස අතර ''කිරි ඉතිරේවා නව වසරේ'' (පද රචනය - චිත්‍රානන්ද අබේසේකර), ''ආවා අවුරුදු දේවී'' (පද රචනය - කරුණාරත්න අබේසේකර), ''කොහෝ මල්වාරම් ගැයෙනා උදේ - මැණිකේ බලන් අපේ ගමේ රබන් වැයෙන්නා'' (පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ), ''නව අවුරුදු දා බක් මාසේ'' (පද රචනය - තිස්ස ඩයස්), ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගැයූ ''දෙදෙනා දෙරටක අද අවුරුදු සමරනවා'' (පද රචනය - තිස්ස ඩයස්), ''මී බී මත්වුණු කොවිළිඳු'' (පද රචනය - සුනිල් ගුණවර්ධන), ''අවුරුදු ආවා නව අවුරුදු ආවා'', ''අවුරුදු නව සඳ පායන්නේ - කවුරුත් හිස තෙල් ගාගන්නේ'', ''කොහා ගැයු ගී - ඇසේ සුමිහිරි'', ''අවුරුදු ළඟා වුණා - එරබදු මල් පිපුණා'' වැනි ගීත රාශියකි. ජෝතිපාලගේ අවුරුදු ගීත අතර එකම තනුවට විවිධ පද රචනාවලින් ගැයුණු ගීතද දැකිය හැකිය.
රෝහණ බැද්දගේ ගයන ''සූරිය මංගල්ලේ'' සහ ඔහු පිරිසක් සමඟ ගයන ''මේ අවුරුද්දේ කිරි ඉතිරෙන්නයි - රට වැසියන්ගේ ආයු ලැබෙන්නයි'', ජයතිස්ස බොරලුගොඩ විසින් රචිත ලයනල් රන්වල ගයන ''මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ'', ''කජු වාරේ එරබදු යායේ'', ''වන්නම් සවුදම්'', එඩ්වඩ් ජයකොඩි ගයන ''චක්ගුඩු ගුඩු'', ''අවුරුදු මංගල්ලේ'', ''කොපර කොපර පිපිඤ්ඤා'', ''අවුරුද්දක් ගෙවුණු තැනේ පරණ වෙච්ච බොළඳ ලියා'', ඇනස්ලි මාලවන ගයන ''රබන් සුරල් වැයුනා - මල් වාරම් ගැයුණා'', ඩෝල්ටන් අල්විස් රචනා කළ නන්දා මාලිනී ගයන ''දීග නොගිය පුංචි නෑනෝ'', විජය කුමාරතුංග සහ චන්ද්‍රලේඛා පෙරේරා ගයන ''පුංචි පැලත් මේ කාලේ මාලිගා'', රත්න ශ්‍රී විජේසිංහ පද රචනය කළ ප්‍රදීපා ධර්මදාස ගයන ''නාඩන් පුංචි හිරමනේ'' වැනි ගීතද සිංහල අවුරුද්දේ වරුණ පිළිබඳ කියැවෙන ගීතාවලියකි.
සුනිල් සරත් පෙරේරා, මහාචාර්ය සුනිල් ආරියරත්න, රත්න ශ්‍රී විජේසිංහ වැනි රචකයෝ මෑත කාලයේ අවුරුදු ගීත සාහිත්‍යයක් උදෙසා නිර්මාණ එක් කළහ. මෙම ගීත අතරින් වැඩි සංඛ්‍යාවක් අද අසන්නට නම් ලැබෙන්නේ නැත. අලුත් ගීත වෙනුවට තවමත් අවුරුදු කාලයට ඇසෙන්නේ පැරණි ගීතය.
සිංහල අවුරුද්ද තේමා කරගත් ගීත ඇතැම් සිංහල චිත්‍රපටවලින්ද අසන්නට ලැබිණි. ඒවා අතුරින් වර්තමානයේද අනිවාර්යෙන්ම සිංහල අවුරුද්දට ඇසෙන ගීතයකි ''ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා නමැති ගීතය. එය අන්තර්ගත වූයේ 1964 තිරගත වූ එම්. මස්තාන් අධ්‍යක්ෂණය කළ එම්.කේ. රොක්සාමි සංගීතවත් කළ ධීවරයෝ චිත්‍රපටයේය. කරුණාරත්න අබේසේකර පද රචනා කළ එය ගායනා කළේ අල්හාජ් මොහිදීන් බෙග්, ලතා වල්පොල, මල්ලිකා කහවිට, සහ ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා විසිනි.
''ඇවිල්ල ඇවිල්ලා
සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ලා වරෙල්ලා
වැල්ලෙ පදිමු රන් ඔංචිල්ලා''
එම ගීතය එවක ඉතා ජනප්‍රිය වූ අතර වර්තමානයේ සිංහල අවුරුදු සමයේ නිරන්තරයෙන්ම අසන්නට ලැබෙයි. චංචල රේඛා චිත්‍රපටයේ අන්තර්ගත වූ මිල්ටන් මල්ලවආරච්චි සමඟ නීලා වික්‍රමසිංහ ගායනා කළ අජන්තා රණසිංහ රචනා කළ ''මී අඹ අත්තේ කොහෝ කොහෝ'' ගීතය ද 80 දශකයේ ඉතා ජනප්‍රිය වූ ගීතයකි.
“මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ
රබාන රත්වෙන නැකැත් වෙලාවට
නලාව පිඹපන් කොහෝ කොහෝ”
දයානන්ද ගුණවර්ධනගේ බක් මහ දීගේ චිත්‍රපටය සඳහා ඔහු විසින් රචනා කළ අමිතා වැදිසිංහ ගැයූ ''කන්ද උඩින් සඳ පායන ලීලා'' පොඩි මල්ලී චිත්‍රපටයට ධර්මසිරි ගමගේ රචනා කළ ''බුලත් අතයි රබන් හඬයි'' වැනි ගීතද සිංහල සිනමාවෙන් අවුරුදු සමරමින් අසන්නට ලැබුණ ගීත වේ.
මේ අතර නව පරපුර විසින් අලුත් අවුරුද්ද වෙනුවෙන් නිර්මාණය කළ අපූරු ගීත කිහිපයක්ද පසුගිය කාලයේ අසන්නට ලැබිණි. ඒ අතර කුසල විදානපතිරණ පද රචනා කළ දේශාන්, තුවාන්, හංසනී සහ නිමල්කා ගයන අමිත් ගුරුලවෙල සංගීතවත් කළ ''සුබ සිහිනේ යාවි නව අවුරුදු ඈඳී රුසිරු සළඹ මහද නද දෙනා'' ගීතය මෑත කාලයේ අසන්නට ලැබුණු අපූරුතම ගීතයකි. ඉතා මියුරු නාද රටාවකින් හා ගායනයෙන් පිරිපුන් එම ගීතය වත්මන් පරපුරේ බොහෝ දෙනකුගේ ආදරය දිනාගන්නට සමත් වූවකි.
දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළ අවුරුදු ගීත සමුච්ඡයක්ද පසුගිය කාලයේ අවුරුදු ගීත සාහිත්‍යයට එක්විය. ඒ අතර අමරසේන කංකානම්ගේ රචනා කළ සමන්ත පෙරේරා සහ ප්‍රදීපා පෙරේරා ගායනා කළ ''පංචි පෙතක් ගේමු - පංචි අතක් දාමු'' ලක්මිණි උඩවත්ත ඇතුළු පිරිස ගයන අසංග රුවන් සාගර රචනා කළ ''බැද්ද වටට'' සහ ''ඉරට උඩින්'', ලක්මිණි උඩවත්ත සහ පිරිස ගයන ''අවුරුදු ඇවිදින්'' නන්දසිරි කීඹියහෙට්ටි රචනා කළ සයුරි ප්‍රාර්ථනා ගයන ''දොළොස් මහක් ගතවන දා'' වැනි ගීත මෑත කාලයේ නිර්මාණය වූ අවුරුද්ද හා සබැඳි ගීත අතර වෙයි.
එමෙන්ම සෙන්ටිග්‍රේඩ් ගායක කණ්ඩායම ගයන චානක ජයසේකර පද රචනා කළ ''කිචි බිචියට ගී ගයන්න රෑ වරුණා මැව්වයි - කතා කරන ඔය ඇස් දෙක අලුත් ඉරක් මැව්වයි'', ''රන් දෑකැත්තෙන්'', රජීව් සෙබස්තියන් සහ නෙලූ අධිකාරි ගයන ''එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි'', වායෝ සංගීත කණ්ඩායම ගයන ''අවුරුදු කෙළිය'', කාංචනා අනුරාධි සහ දිනේෂ් ගමගේ ගයන ''මේ එරබදු කාලේ'', සමන් ලෙනින් සහ කල්පනා කාවින්දි ගයන ''සරුසාරයි සිරිසාරයි'' වැනි ගීතද මෑත කාලයේ අවුරුදු ගීතාවලියට එක්වූ ගීත අතරින් කිහිපයකි.
අවුරුද්ද පිළිබඳ කෙතරම් ගීත නිර්මාණය වුවද ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා, කිරි ඉතිරේවා නව වසරේ, කොහෝ මල්වාරම් ගැයෙනා උදේ, කොහෝ කොහෝ සහ බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි වැනි ගීත සෑම සිංහල සහ හින්දු අලුත් අවුරුද්දකම අනිවාර්යයෙන්ම ඇසෙන ගීත බවට පත්ව තිබේ.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා