අවුරුදු නැකැත් වැරදි යැයි කියන්නේ අවස්ථාවාදී ගැත්තන්
- රාජ්‍ය නැකැත් කමිටු සාමාජික ප්‍රවීණ ජ්‍යොතිෂවේදී රේණුක වික්‍රමසිංහ
සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් අලුත් අවුරුද්ද උදා වෙයි. සූර්යා පෙරදැරිව උදාවන අලුත් අවුරුද්ද සූර්ය මංගල්‍ය ලෙස සැලකේ. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමට පෙර හා පසු පැය 12 යි මිනිත්තු 48 කාලය පුණ්‍ය කාලය වේ. එයින් පූර්ව, එනම් සූර්යා මේෂ රාශියට පැමිණීමට පෙර පැය 6 යි මිනිත්තු 24 ක කාලය තුළදී සුබ කටයුතු අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද සූර්ය සංක්රමණයෙන් පසු යෙදෙන පැය 6 යි මිනිත්තු 24 තුළදී යෙදෙන්නා වූ සුබ මුහුර්ත පෙරදැරිව ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම් ආදී සාම්ප්‍රදායික චාරිත්‍රවලට අදාළව නැකැතට කටයුතු කිරීම අනාදිමත් කාලයක සිට සිදු කරයි. සූර්යා මේෂ රාශියට පිවිසි අපර කොටස ඇතුළත නැකැත් සිදු කිරීමද සිදු කරන අතර එම අපර කොටස තුළ යෙදෙන්නා වූ සුබම මුහුර්ත තුළ ආහාර පිසීම, ලිප ගිනි මෙලවීම සිදු කරයි. මෙම චාරිත්‍ර පුරාණ කාලයේ සිට පැවත එන අතර සූර්ය මාරුව සිදුවූයේ උදේ ද රාත්‍රියේ ද කෙසේ වුවද අපර කොටස මුල් කරගෙන වාරිත්‍ර සිදු කෙරේ. පවුල්වල කාන්තාවන්ට දූ දරුවන්ට හෝ යම් යම් කණ්ඩායම්වල වුවමනා මත නොව ශාස්ත්‍රයට අනුකූලව යෙදෙන සුබ මුහුර්තයට අනුව චාරිත්‍ර සිදු කරන බව කිව යුතුය. පුරාණයේ සිට පැවත එන ආකාරයට චාරිත්‍රානුකූලව සූර්ය මංගල්‍ය සැමරීම දිගටම පවතී. ඉන්දියානු ජ්‍යොතිෂ ග්‍රන්ථවල පරිවර්තන අප රටේ භාවිතයට හා පරිශීලනයට ද ගන්නා අතර නැකැත් සකස් කිරීමේදී ඉන්දියානු ග්‍රන්ථවල සඳහන් යම් යම් කරුණු මූලාශ්‍ර අප රටට නොගැලපෙන අවස්ථා ද ඇති නමුත් ඉන්දියාවට සහ එහි ප්‍රාන්තවලට ගැලපෙන ආකාරයට සකස් වූවන් ද වේ.
මෙවර අවුරුදු උදාවන සූර්ය සංක්‍රාන්තිය රාත්‍රී 9 පසුවී විනාඩි 5 ට සිදුවන අතර සූර්ය සංක්‍රාන්තිය සෙනසුරාදා දිනයේ දී සිදුවීමත් මත එදින රාත්‍රී කාලයේ රාහු කාලය ද එම වේලාව තුළදීම යෙදීමෙන් පසු සුබ මුහුර්තයක් රාත්‍රී 11 ට උදාවීමත් සමඟ සුදුසු පංචමයන් අනුව ලිප ගිනි මෙලවීම රාත්‍රී 11 පසුවී විනාඩි 6 ට ලබාගෙන ඇත. ඉන්පසු ආහාර අනුභවය රාත්‍රී 12 පසුවී විනාඩි 6 ට නියම වී තිබේ. ආහාර අනුභව කරන මොහොත තුළදී ද යක්කු ගස් නගින වේලාවක් යැයි සඳහන් නැකැත් නැති බව පැවසිය යුතුව ඇත. මෙලෙස අවලාද නගමින් මහජනතාව මුලාවට පත් කිරීම පොඩි දරුවන්ගේ වැඩක් වැනිය. මුළු ලෝකයටම දෙසැම්බර් 31 ගෙවී ජනවාරි මාසය උදාවන විට රාත්‍රී 12 සමරමින් රතිඤ්ඤා දල්වමින් ප්‍රීතිය දක්වන්නේද යක්කු සැමරීමට වෙන්න පුළුවන් යැයි සමහරුන් පැවසීමට ද ඉඩ ඇත.
ජ්‍යොතිෂ කරුණුවලට පරිබාහිරව යම් යම් දේශපාලනික පක්ෂවල ඇතැම් මතධාරීන් විසින් රජය අපහසුතාවයට පත් කිරීමට රාජ්‍ය නැකැත් කමිටුවේ සාමාජිකයන් විසින් සකස් කරනු ලැබූ නැකැත් වැරදි බවට මතයක් ගොඩනගමින් තර්ක කරන බව පෙනේ. නැකැත් සෑදීමේදී තිදෙනෙක් පමණක් මෙවර උදේ කාලයේ නැකැත් සකස් කර තිබුණි. අන් සියල්ලන්ගේම එකඟතාවයෙන් මෙම නැකැත් සීට්ටුව සකස් කළ බව රාජ්‍ය නැකැත් කමිටුව නියෝජනය කළ ජ්‍යොතිෂවේදියකු ලෙස මට පැවසීමට පුළුවන. ජනතාවට හා රජයට යහපත් ලෙස රාජ්‍ය නැකැත් කමිටුව විසින් සුබම නැකැත් වේලා තනා ඇත. ව්‍යාජ සාවද්‍ය තර්ක ඉදිරියට දමමින් ජනතාව මුලා කිරීම බොරු ප්‍රකාශ ඉදිරිපත් කරමින් ප්‍රසිද්ධියක් ලබාගැනීමට යම් යම් කණ්ඩායම් උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබේ. රාත්‍රී 12 ට කෙනකුගේ දරුවකු උත්පත්තිය ලැබුවහොත් එ දරුවා යකා ගස් නගින වේලාවට උපන් නිසා යැයි ගෙදරින් පන්නනවාද? යන්න දැනගැනීමට කැමැත්තෙමි.
හිරු නිදියන රාත්‍රියට ගත් නැකැත් අසාර්ථකයි
- ප්‍රවීණ ජ්‍යොතිෂවේදී බී.ඒ. සමන් ගුණසේන
භාග්‍යවත් මාසයේ උදාවන හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය සිංහල අලුත් අවුරුදු උදාව නැකැතට මුල්තැන දෙන සූර්ය සංක්‍රාන්තිය මුල්කොටගෙන උදාවේ මෙවර නැකැත් විධි චාරිත්‍ර පිළිබඳව දැඩි මතයක් ගොඩනැගී තිබේ.
මෙවර සූර්ය සංක්‍රාන්තිය උදාවන්නේ අප්‍රේල් 13 වැනි ශනි දින රාත්‍රී 9.05 ටයි. ප.ව. 02.41 සිට 14 වැනි ඉරු දින අලුයම 03.29 තෙක් පවතින්නේ පුණ්‍ය කාල වේලාවයි.
මේ පුණ්‍ය කාලයේම අපර කොටස භාවිත කරමින් රාත්‍රී 11.06 ට රවි හෝරාවේ රවිගේම පංචම සූක්ෂම කාල හෝරාවන් තුළ ලිප ගිනි මෙලවීමත් මධ්‍යම රාත්‍රියේ 12.06 ට ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම චාරිත්‍ර විධි සලසා දීමත් කොතරම් සාර්ථකද? නුවණට හුරුද? යන්න දැඩිව සිතා බැලිය යුතුයි. ජ්‍යොතිෂවේදී මහත්වරුන් අතර වුවත් විවිධ මත තිබෙන්නට පුළුවනි. නමුත් ජ්‍යොතිෂයේ මූලික සිද්ධාන්ත වෙනස් කරන්නට නොහැකිය. ජනතාවට අනර්ථයක් සිදුවෙනවා නම් මොන තර්ක විතර්ක ගෙනාවත් වැඩක් නැත. රාජ්‍ය නැකැත් කමිටුව කළ යුත්තේ වඩාත් උචිත දේ සාමූහික තීරණයන් මත රටට ඉදිරිපත් කිරීමයි. විවිධ අයගේ ඕනෑ එපාකම් හමුවේ හෝ කවුරුවත් සතුටු කිරීමේ අරමුණින් බැහැරව සමස්ත රටවැසියාගේම සුබසිද්ධිය මුල්කර ගනිමින් නැකැත් ලබා දීම කළ යුතු වන්නේය. ශාස්ත්‍රීය මත ගැටුමක් නිර්මාණය වීමෙන් වටිනා ශාස්ත්‍රයක් කෙරෙහි ජනතාව අතර ඇති ගෞරවයට හානි පැමිණෙනු ඇත. සූර්යා මුල් කරගත් මේ මහා සංස්කෘතික මංගල්‍යය රඳා පවතින්නේම නැකැත් චාරිත්‍ර මත පදනම්ව බව අවධාරණය කරගත යුතුය. පැරණි ඉසිවරු විශ්වය මුල්කර ගනිමින් නැකැත් සකස් කළේ ආවට ගියාට නොවන බවට අප මතකයේ තබාගත යුතුයි. ඉර උදාවේ සිට ඉර බැසීම තෙක් දහවල් කාලයේත්, ඉර බැසීමේ සිට පසුදින ඉර උදාව තෙක් රාත්‍රී කාලයේත් කියන දිවා + රාත්‍රී කාල භාවිත කර සූර්යා බලවත් දිවා කාලයම ගෙන රවි නිදිගත් රාත්‍රිය බැහැර කර බලවත් නැකැත් සෑදිය යුතුයි.
රාජ්‍ය නැකැත් කමිටු සාමාජික මහතුන් මෙය ද සිහි තබාගත යුතු වෙයි. එදා සුද්ධෝදන රජතුමා සිදුහත් කුමරුට නම් තබන්නට තතු දත් බමුණන් 108ක් රජ මාලිගාවට ගෙන්වාගෙන සියල්ලන්ගෙන් කරුණු විමසා කොණ්ඩඤ්ඤ නම් බමුණාගෙන් අවසන් නිගමනයත් ගෙන සැමගේම එකඟතා මත පුත් කුමරුට නම් තැබුවේ නම් අපේ නැකැත් කමිටුවේ සිටින 42 ට සාමූහික තීරණයක් ගත නොහැකි ඇයිද? නාරද සංහිතාව, ජ්‍යොතිෂ සිද්ධාන්ත හරියට භාවිත කළේ නම් නිදාගත් බල අඩු හිරුගේ වේලාවක මෙවන් වටිනා නැකැත් චාරිත්‍රයක් ලබා දෙන්නේ කෙසේද?
පුණ්‍ය කාලයත් ඇත්තේ අලුයම දක්වාමය. 14 පසු දිනය ඉරු දිනයත් (රවිටම අයත්) මේ ඉරු දින උදය කාලයේ දුන්නා නම් සමස්ත ජනතාවටම සෙතක් සිදුවනවා ඇත. අවුරුදු කුමාරයා රූට එන්නේත් නැත. බුද්ධ පූජා දී කටයුතු කරන්නත් බැරිය. දරුවන් හා සියලු මිනිසුන් මහ රාත්‍රී නිදිවර්ජිතව පසුවෙන්නේ නැති බව සැලකිව යුතුය. ධන හානි, ආර්ථික හානි, දේශගුණික විපර්යාසයන්ගෙන් පිරි රටකට බත බුලතින් සශ්‍රීක වන්නට මහ රූ දෙන වැදගත්ම නැකැත්වලින් පුළුවන් වේවිද? අටුකොටු සරුසාර බක් මහේ අරුතවත් හරියට තේරුම් ගතහොත්, රටේත් වැසියාගේත් සශ්රීකත්වයත් සෞභාග්‍යයත් සලකාගෙන මේ මහා සූර්ය මංගල්‍යය අර්ථවත් කර ගන්නට කටයුතු සලසා ගන්නට තවදුරටත් කාලය තිබේ. මේ වන විටත් රට තුළ ඇතිවී තිබෙන අභාග්‍යසම්පන්න සිදුවීම් නව වසරේ සූර්ය සංක්‍රාන්තියත් සමඟින් දුරු වී බත බුලතින් සපිරි සාමය සතුට රජයන නව වසරක් ළඟා කර ගන්නට නිවැරදි නැකැත් කාලයක් සලසා දෙනු ඇතැයි අපේක්ෂා කරමු.
ප්‍රායෝගික නැකැත් සීට්ටුවක් යළි සැකසිය යුතුයි
- ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වෛද්‍ය ඩබ්ලිව්. තිලක් ද සිල්වා
රටක ජන සමාජයෙහි යහපත් පැවැත්ම හා එහි සමෘද්ධිමත් බව ඇතිවන්නේ අර්ථයෙන් ධර්මයෙන් සපිරි යහපත් පාලකයන් විසින් එම රට කරවනු ලබනවා නම් පමණි. එවැනි වූ යහපත් වපසරියක් තුළ බක් මහේ සූර්යා මේෂයේ ආරම්භයත් සමඟම මුළු මහත් ජන සමාජය එකම මොහොතක සිත් සතුටින් යුක්තව සාමූහික වශයෙන් ඔවුනගේ සිත් සතන් හි මතුවන යහපත් ප්‍රාර්ථනා හා අධිෂ්ඨාන විශ්වයට මුදාහරිමින් කළගුණ සලකමින් වසර ආරම්භ කිරීම හෙළ සංස්කෘතියේ සුවිශේෂිත වූ ලක්ෂණයක් ලෙස හැඳින්විය හැකිය.
කෘෂි කර්මාන්තය හා බද්ධ වී ඇති ජන ජීවිත සුඛිත මුදිත වී අටුකොටු පිරී ඉතිරී බව-භෝග සම්පත් හා බත-බුලතින් සපිරිව මුළු රටම සශ්‍රීක වීම සඳහා පරම පවිත්‍ර වූ චේතනාව පෙරදැරිව ස්වභාවධර්මයෙන් ආශිර්වාද ලබාගැනීමේ අදිටනින් යුක්තව නව වසරේ ප්‍රායෝගික වශයෙන් අවස්ථාවට උචිතව ඇති සුබ මොහොතින් වැඩ ඇල්ලීම හෙවත් වැඩ ආරම්භ කිරීම ප්‍රධානතම චාරිත්‍රය විය යුතු වන්නේය. එම ක්‍රියාවලිය මුළු රටටම බලපාන බව අවධාරණය කළ යුතුය.
ඍෂි භාෂිතයට අනුව හෙළ සම්ප්‍රදායනුකූලව අවුරුදු චාරිත්‍ර නිසි ලෙස සකස් නොකිරීම හේතු කොටගෙන මුළු මහත් ජන සමාජයම පහතට ඇද දමා තිබේ. ඒ නිසාම වර්තමානයේ දී අපේ ජන සමාජය මෙම චාරිත්‍ර අනුගමනයෙන් වැළකීමත් එය හාස්‍යයට ලක් කිරීමටත් යොමු වී ඇති බවක් දකින්නට තිබීම අතිශය කනගාටුදායකය.
එයට කදිම නිදසුනක් වශයෙන් 2024 වර්ෂයේ අවුරුදු චාරිත්‍ර පද්ධතියේ ප්‍රධානතම කාරණය වූ ආහාර අනුභවය සහ වැඩ ඇල්ලීම නැකැත් රාත්‍රී 12.06 ට යොදා තිබීම දැක්විය හැකිය. ඇත්තටම මෙය කොතරම් හාස්‍ය උපදවන අවස්ථාවක් දැයි වත්මන් හි කුඩා දරුවාට පවා අවබෝධ වන කාරණයකි. මැදියම් රුයෙහි කිරිබත් අනුභවය සිදුකරන්නට සැලසීම නුසුදුසු ක්‍රියාවක් බව ජ්‍යොතිෂවේදීන් නොදැන සිටීම ද පුදුමයට කාරණයකි. මෙය ආයුර්වේදයට අනුව කිසිසේත්ම එකඟ විය නොහැකි අවස්ථාවක් වේ. ඒ නිසා ප්‍රායෝගිකව ක්රියාවේ යෙදවිය හැකි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම බුද්ධිමත් ජ්‍යොතිර්වේදීන්ගේ යුතුකමක් හා වගකීමක් වෙයි.
පුණ්‍ය කාලය යනු මුළුතැන්ගේ සිට ගෙදර දොරේ වත්ත පිටියේ හා ගොවිපොළේ ඇති සියලුම කටයුතුවලින් නිදහස් වී සැහැල්ලු සිතින් ආගමානුකූලව හැසිරීම සඳහාම වෙන්කරන ලද කාල පරාසයකි. මෙහිදී යම් අයකුට අවශ්‍ය නම් ආහාර නොගෙන උපවාස කිරීමට ද අවකාශය තිබුණත් ආහාර ගැනීම සඳහා තහනම් නියෝග පනවා නොමැත.
පුණ්‍ය කාලය මධ්යමයේ සූර්ය සංක්‍රාන්තිය සිදුවන අවස්ථාවට පෙර හා අපර යනුවෙන් පුණ්‍ය කාල කොටස් දෙකකට බෙදා ඇති අතර එහි අපර කොටසේ ලිප ගිනි මෙලවීම සහ සියලු වැඩ අල්ලා ගනුදෙනු කිරීම සඳහා සුදුසු බව කියා තිබුණත් පුණ්‍ය කාලයේ අපර කොටස අයත් වන්නේ රාත්‍රී මානයට නම් එයින් බැහැරව හිරු උදාවෙන් පසු සුදුසු වෙලාවක එම චාරිත්‍රය සිදුකරන්නට සුදුසු බව ඍෂිවරුන් පවසා ඇත. ඒ පිළිබඳ අවස්ථානුකූලව තීරණ ගන්නවා විනා සාම්ප්‍රදායික කරුණු ඉදිරිපත් කරමින් සාම්ප්‍රදායික මතවල එල්ලී සිටීම ප්‍රඥා ගෝචර නොවේ. එවන් පසුබිමක් තිබියදී මහ රූ ජාමයේ චාරිත්‍ර සිදු කිරීම නිසා වත්මන් පරපුර විසින් මහ ඍෂිවරුන්ව පවා එය හාස්‍යයට භාජනය කරනු ලැබීම අරුමයක් නොවේ.
වත්මන් හි උගත් බුද්ධිමත් රටට හා ජන ජීවිත කෙරෙහි වගකීමක් ඇතිව කටයුතු කරන තරුණ දක්ෂ ජ්‍යොතිර්වේදීන්ගෙන් සැදුම්ලත් පිරිසක් බිහි වී තිබීම සතුටු විය හැකි කාරණයකි. ජ්‍යොතිෂයේ උන්නතිය මෙන්ම අවුරුදු චාරිත්‍රයන්හි සැබෑ අරුත ජන සමාජය වෙත පිළිගන්වා යටපත්ව යන අපේ හෙළ සිරිත් වෙත නැවත අනුගත කිරීම සඳහා ජාතික නැකැත් කමිටුව නමින් කමිටුවක් බිහි වී තිබීම ද සතුටට කාරණයක් මෙන්ම එය ඉතාමත් කාලෝචිත බව පැවසිය යුතුය. එහෙයින් ඍෂි භාෂිතයට අනුව කාටත් පිළිගත හැකි ප්‍රායෝගික වූ අවුරුදු නැකැත් පත්‍රයක් සැකසී එය නොබෝ දිනකින් එළි දක්වනු ඇත යන්න අපේ විශ්වාසයයි. රාජ්‍ය නැකැත් කමිටුව විසින් ගනු ලබන අත්තනෝමතික හා ප්‍රායෝගික නොවන මෙවැනි තීරණවලට විරුද්ධව මෙයට බොහෝ කලක සිට හඬ නැගුවත් එය නොසලකා හැර තිබීම ගැන ද මෙහිදී කනගාටු වෙමි.
සංස්කරණය - යසවර්ධන රුද්රිගූ