ඇතැම් ඓතිහාසික සංධිස්ථාන සලකුණු කොට තබන්නට අපට අමතක වන්නේ, එම සිදුවීම්වල වර්තමානික වටිනාකමට වඩා අනාගත වටිනාකම වැඩි නිසාමයි. මෙම කතාව ද එලෙස අමතක වී යාමට තිබුණු කතාවක්. රටේ ව්‍යවසායකත්වයේ වර්ධනය ජාතික ආර්ථික සංවර්ධනයේ පාදම බව විශ්වාස කරන "දේශය" ට සැබැවින්ම මෙම කතාව මඟහැර යා නොහැකි.
පසුගිය සිකුරාදා නෙළුම් පොකුණ ජාත්‍යන්තර රඟහල් පරිශ්‍රයේ පැවැත්වුණු මෙම වැඩසටහන නම් කරලා තිබුණේ "පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව පදක්කම් අභිෂේකාභිමාන මංගල්‍යය" විදිහට. ඉතිහාසයේ පළමුවරට ව්‍යවසායකත්වය මහපොළොවේ පැළ කිරීමේ අරමුණ පෙරදැරිව ඇරඹුණු "පාසල් ව්‍යවසායකත්ව කව" වැඩසටහනේ පළමු අභිෂේකය විදිහටයි මෙම වැඩසටහන සංවිධානය වුණේ.
“අපේ තිබෙන ප්‍රධානතම අරමුණු දෙක තමයි, ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය සියයට 2.8 ඉඳන් සියයට 10 දක්වා 2030 වන විට වැඩි කිරීම සහ රට තුළ ව්‍යවසායකත්ව පරිසරයක් සංස්කෘතියක් නිර්මාණය කර ගැනීම. මේ අරමුණු ඉටුකර ගැනීමේ අපේක්ෂාවෙන් අපි විවිධ වැඩසටහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඒ අතරින් ප්‍රධානම "ව්‍යාපෘතියක් තමයි පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව" නිර්මාණය කිරීම."
ඉකුත් සිකුරාදා පැවැති “පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව පදක්කම් අභිෂේකාභිමාන මංගල්‍යය" පිළිබඳ තොරතුරු බෙදා හදාගන්නට අප සමඟ එක්වූයේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යවසායකත්ව අංශයේ සහකාර අධ්යක්ෂ ආචාර්ය සමින්ද රණතුංග මහතායි. ඔහු සඳහන් කරන ආකාරයට එම ව්‍යාපෘතිය ආරම්භ වන්නේ 2023 ජූනි මාසයේ දී.
“මේ රටේ අනාගතයට අවශ්‍ය ව්‍යවසායකයන් පාසල් තුළින්ම බිහිකර ගැනීමේ අරමුණින් තමයි අපි මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ. නවය ශ්‍රේණියේ ඉඳන් දරුවන් ව්‍යවසායකත්ව කව සඳහා බඳවා ගනිමින් ව්‍යවසායකත්වය සම්බන්ධ ක්‍රියාකාරකම් සිදුකිරීමට යොමු කළා. අනතුරුව දරුවන් සඳහා යම් පදක්කම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට අපි අදහස් කරගෙන තිබුණා."
“පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව පදක්කම් අභිෂේකාභිමාන මංගල්‍යය" ලෙසින් පසුගිය සිකුරාදා කලඑළි දුටුවේ මෙම පදක්කම් ක්‍රමවේදය හඳුන්වා දීමේ අවස්ථාවයි. මේ වන විටත් මෙම ව්‍යාපෘතිය හරහා පාසල් ගුරුවරුන් 1006 දෙනකු පුහුණු කර තිබෙනවා. ඒ අනුව පාසල් 350 කට වැඩි ප්‍රමාණයක ව්‍යවසායකත්ව කව නිර්මාණය කර ඇති අතර, ඒ සඳහා යොමුවී ඇති මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 12,000 කට අධිකයි.
“මේ අතරින් දරුවන් දහසකට අධික ප්‍රමාණයක් නියමු පදක්කම සඳහා සුදුසුකම් ලබල තිබුණා. ඒ අය අතරින් සෑම පාසලක්ම සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි තෝරාගත් දරුවන් 330ක් සඳහා නියමු පදක්කම් ප්රදානය කිරීම තමා පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව පදක්කම් අභිෂේකාභිමාන මංගල්‍යයේ දී සිදුවුණේ. ඒ වගේම ලෝකඩ පදක්කම දක්වා ගමන් කරපු සිසුන් 28 දෙනකුටත් මෙහිදී පදක්කම් ප්රදානය කෙරුණා."
නෙළුම් කුලුන රඟහලේ පැවැති මෙම සුවිශේෂී අවස්ථාව, කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු බොහෝ සම්භාවනීයන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය වුණා. කෙසේ වෙතත් හුදු උත්සවයකට එහා ගිය මෙම ව්‍යාපෘතියේ වටිනාකම අප ඔබ හමුවේ ඉස්මතු කළ යුතු වෙනවා.
“ඉතාම කෙටි කාලයක් ඇතුළත මෙම ව්‍යාපෘතිය අතිශය සාර්ථක වෙලා තියෙනවා. උදාහරණ රුසක් පෙන්වා දෙන්න පුළුවන්. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉන්නවා තමන්ගේ නිෂ්පාදන අපනයනය කරන සිසුන් දෙදෙනෙක්. තවත් අයට රුකියාවක් ලබා දෙන්න හැකියාව ඇති ශිෂ්‍යයෝ පාසල් තුළ නිර්මාණය වෙලා ඉන්නවා. නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ අපිට කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වෙලා තියෙනවා. කාන්තා පාවහන් ආදිය නිෂ්පාදනය කරන ඒ දරුවන්ට අපි අමුද්‍රව්‍ය ප්‍රදානයක් පවා සිදු කළා. වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ දරුවෝ යෝගට් නිෂ්පාදනය කරනවා."
පාසල්වලට අවශ්‍ය උපකරණ නිෂ්පාදනය කරගැනීමට මෙන්ම, පාසල් ආපන ශාලා පවත්වාගෙන යාමට ද හැකි මට්ටමට කෙටි කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය දියුණු වී තිබෙනවා. සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් නිර්මාණය කරන වෘත්තිකයන් වෙනුවට, වෘත්තිකයන්ට පවා රුකියා ලබාදෙන ව්‍යවසායකයන් නිර්මාණය කිරීම ඇත්තෙන්ම පැසසිය යුතු කටයුත්තක්.
“දරුවන්ට ඇසුරුම්කරණය පිළිබඳව, විවිධ තාක්ෂණික උපක්‍රම පිළිබඳව, අපනයනය පිළිබඳව මේ හරහා දැනුම ලබාදීම සිද්ධ වෙනවා. දරුවන්ව කර්මාන්ත ශාලා නරඹන්න එක්කගෙන යනවා, විතරක් නෙවෙයි පාසල් අධ්‍යාපනය නිමා කරලා ව්‍යවසායකයන් විදිහට තමන්ගේ ගමන ආරම්භ කරන්න දරුවන්ට ණය ලබා දීමට අපි කර්මාන්ත අරමුදලක් ස්ථාපිත කළා. පසුගියදා තෝරාගත් දරුවන් තිදෙනකුට ඒ ණය ලබාදීමත් සිද්ධ කළා."
ආර්ථික, දේශපාලන, සමාජ අවිනිශ්චිත බව නිසාම කලකිරුණු පුරවැසියන් සිටින රටක, මෙවන් තොරතුරු අසා දැනගැනීමට ලැබීම පවා සතුටක්. මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් නිසැක වශයෙන්ම ශ්‍රී ලාංකික ආර්ථිකයේ විශාල පංගුකාරීත්වයක් කර්මාන්තකරුවන් ව්‍යවසායකයන් අත රුඳෙන බව අපිට විශ්වාසයි. ආචාර්ය සමින්ද රණතුංග මහතා පවසන ආකාරයට, මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙහෙස වන ගුරුවරුන් අගයමින් ඔවුනට විදේශ සංචාර පිරිනැමීමට පවා කාර්මික සංවර්ධන මණ්ඩලය කටයුතු කර තිබෙනවා. එම අවස්ථා දරුවන් වෙත ද උදාවන බව ඔහු සඳහන් කළා.
“මේ වසර තුළ පාසල් දහසක ව්‍යවසායකත්ව කව නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. වසර තුනක් ඇතුළත අපේ ඉලක්කය පාසල් තුන්දහසක ව්‍යවසායකත්ව කව නිර්මාණය කිරීමයි. එක කවයක දරුවන් 15 ත් 25 ත් අතර සංඛ්‍යාවක් ඉන්නවා. ව්‍යවසායකත්ව කව කිහිපයක්ම තිබෙන පාසල් තියෙනවා. පාසල් 3000ක මේ කටයුත්ත සිද්ධ වුණොත් එක පාසලකින් වසරකට ව්‍යවසායකයෝ 5ක් බිහිවුණොත්, වසරකට රටට අවශ්‍ය දැනුමැති තරුණ ව්‍යවසායකයෝ 15000ක් වසරකට බිහි වෙනවා."
රටට අවශ්‍ය ව්‍යවසායකයන් නිර්මාණය කරන අතරේ ව්‍යවසායක සංස්කෘතියක් නිර්මාණය වීම ද මෙම ව්‍යාපෘතිය හරහා සිදුවෙනවා. ඒ නිසාම මෙම ආරම්භය ඉතිහාසයේ සලකුණු කොට තැබීම මාධ්‍යකරණයේ අපේ වගකීමක්.