2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

සාම්ප්‍රදායික පිත්තල කර්මාන්තයේ අලුත් පිම්ම

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 98

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කර්මාන්ත අතර පිත්තල කර්මාන්තයට ලැබෙන්නේ ඉහළ ස්ථානයක්. මධ්‍යම පළාත තමයි ශ්‍රී ලංකාවේ පිත්තල කර්මාන්තයේ තිඹිරි ගෙය බවට පත්වෙන්නෙ. ඒත් පසුගිය කාලේ සාම්ප්‍රදායික කර්මාන්ත විවිධ අභියෝග හමුවේ වියැකී යමින් පවතින බව අපිට දැනගන්න ලැබුණා. ඒත් එක්කම මෙම තත්ත්වයට විසඳුම් ලබාදීමට කාර්මික සංවර්ධන මණ්ඩලය සුවිශේෂී මැදිහත්වීමක් සිදු කරමින් ඉන්න බවත් ආරංචි වුණා. 

මේ නිසාම මධ්‍යම පළාතේ පිත්තල කර්මාන්තයේ හෙට දවස පිළිබඳව සංවාදයකට අප එකතු කරගත්තේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ රෝහිත සුමනවීර මහත්මාව. 

“මධ්‍යම පළාත පෞරාණික හස්ත කර්මාන්ත බහුල පළාතක්. මහනුවර දිස්ත්‍රික්කයේ හන්දෙස්ස, පමුණුව, පිළිමතලාව වගේ ප්‍රදේශවල වගේම මාතලේ දිස්ත්‍රික්කයේ ලෑලිඅඹේ වගේ ප්‍රදේශවල මේ කර්මාන්තය පැතිරිලා තියෙනවා. පිත්තල නිෂ්පාදන කර්මාන්තය ගැන කතා කළොත් ඒකෙ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි පිත්තල තහඩුවේ සිදු කරන නිර්මාණ. අනෙක තමයි පිත්තල වාත්තු කර්මාන්තය."

මධ්‍යම පළාතේ වඩාත් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ පිත්තල වාත්තු කර්මාන්තයට. කුකුළා පහන, සාම්ප්‍රදායික මල් වාස්, බෝධි ප්‍රාකාර සඳහා ඉදිවන රන්වැට ආදී නිර්මාණ සිදුවෙන්නේ මේ වාත්තු කර්මාන්තය හරහා.

ඒත් මධ්‍යම පළාත් අධ්‍යක්ෂවරයා සඳහන් කරන විදියට මේ සාම්ප්‍රදායික පාරම්පරික කර්මාන්තය මෑත කාලීනව අභියෝග රැසකට මුහුණ දෙනවා. 

“අපි දීර්ඝ කාලයක් පිත්තල කර්මාන්තකරුවන් එක්ක සම්බන්ධවෙලා වැඩ කරලා තියෙනවා. සාම්ප්‍රදායික නිර්මාණ තුළම ඇතැම් කර්මාන්තකරුවන් එළැඹ සිටීම නිසා ඔවුන්ට වෙළෙඳපොළ අවස්ථා අඩුවන බව අපි හඳුනා ගත්තා. බොහෝ සාම්ප්‍රදායික නිර්මාණ පාරිභෝගිකයෙක් එක් වතාවක් පමණයි මිලදී ගන්නෙ. බොහෝ විට පරම්පරාවකටම එකක් මිලදී ගත්තම ප්‍රමාණවත්."

සම්ප්‍රදාය කිසිවිටෙක අවතක්සේරු කළ නොහැකි නමුත්, මෙම යථාර්ථය හමුවේ බොහෝ පිත්තල නිර්මාණකරුවන් කර්මාන්තයෙන් ඈත්වෙමින් සිටින බව පසුගිය කාලය පුරා දැකගන්න ලැබුණා. කාර්මික සංවර්ධන මණ්ඩලයේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ රෝහිත සුමනවීර මහතා ඇතුළු පිරිස මේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරලා තිබුණා.

වසර දහයක පහළොවක සිට කාර්මික සංවර්ධන මණ්ඩලය පිළිමතලාව පමුණුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කර්මාන්තකරුවන්ට පහසුකම් සැපයීම සඳහා වන මධ්‍යස්ථාන මේ සඳහා උපයෝගී වෙලා තියෙනවා.

“මේ අයව තාක්ෂණික වශයෙන් සන්නද්ධ කරන්න ඕනෑ කියල අපි හඳුනා ගත්තා. බරින් සහ ප්‍රමාණයෙන් අඩු විදේශ වෙළෙඳපොළ ඉලක්ක කරගත් නිර්මාණ සඳහා යාමේ පැහැදිලි අවශ්‍යතාවයක් මේ කර්මාන්තය තුළ තිබුණා. මේ කර්මාන්තකරුවන් තුළ ආකල්පමය වෙනසක් ඇතිකිරීමේ අවශ්‍යතාවයත් ඒත් එක්කම අපි හඳුනා ගත්තා.

දෙවැනි සහ තුන්වැනි පරම්පරාවල් කර්මාන්තයෙන් ඉවත් වෙමින් හිටියේ. ඔවුනට මේ තුළ වෙළෙඳපොළක් ඇති බව පෙන්ව‍ෙදීමේ අවශ්‍යතාවය මතු වුණා."

තාක්ෂණය ලබාදීම, ආකල්ප වෙනස් කිරීම, වෙළෙඳපොළ හඳුන්වා දීම, අමුද්‍රව්‍ය සපයා දීම ආදී කටයුතු වෙත ප්‍රමුඛ අවධානයක් ලබා දිය යුතු බව කාර්මික සංවර්ධන මණ්ඩලය තීරණය කරන්නෙ මේ අනුව යමින්. ඒ අනුව පසුගිය ඔක්තෝබරයේදී පමුණුව ප්‍රදේශයේ පැවැති මධ්‍යස්ථානය පිළිමතලාවෙන් නගරයට රුගෙනවිත් නව තාක්ෂණික පහසුකම් සහිතව ස්ථාපිත කිරීමට කටයුතු සකස් වුණා.

“පිත්තල සංවර්ධන තාක්ෂණික මධ්‍යස්ථානයක් පිළිමතලාවේදී ස්ථාපිත කිරීමට කටයුතු කළා. මධ්‍යස්ථානය තුළ 3D මැෂින් එකක් තියලා තියෙනවා. මේ යන්ත්‍රය හරහා ව්‍යවසායකයන්ට, කුඩා අලංකාර නිර්මාණ සඳහා මෝල්ඩ් එක සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව අමුද්‍රව්‍ය සැපයීම, රජයේ අබලි ද්‍රව්‍ය ලබාගෙන නිෂ්පාදකයන්ට ලබා දීම වගේ වැඩ කටයුතු අපි සිදු කරනවා."

නිෂ්පාදකයන් සඳහා විදේශීය වෙළෙඳපොළ සොයා දීමටත් මේ වන විට කාර්මික සංවර්ධන මණ්ඩලය මැදිහත් වී සිටින බව  මධ්‍යම පළාත් අධ්‍යක්ෂ රෝහිත සුමනවීර මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

“ශ්‍රී ලංකාවේ සිද්ධස්ථානවල කුඩා අනුරූ, සංචාරකයන් සඳහා ආකර්ෂණය සහිත කුඩා නිර්මාණ සිදුකිරීම සඳහා අපි නිර්මාණකරුවන් දිරිගන්වනවා. මේ සඳහා විදේශීය වෙළෙඳපොළ සොයා දෙන්න ඩිජිටල් වේදිකාවක් පවා මේ වන විට නිර්මාණය කරලා තියෙනවා. මේ වැඩසටහන ඉතා පුළුල්ව මේ වන විට ක්‍රියාත්මක වෙනවා."

මෙම සාම්ප්‍රදායික කර්මාන්තය වැළලී යාමට නොදී, සිදුවන මේ මැදිහත් වීමෙන් උපරිම ප්‍රතිඵල නෙලා ගැනීමට නිර්මාණකරුවන්ද උනන්දු විය යුතු බව පැහැදිලියි. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කර්මාන්ත විෂයයෙන් මෙම නව ආරම්භය ඇත්තෙන්ම ඵලදායී එකක් බව අවසානයේ සඳහන් කළ යුතුයි.