2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා

සිරි පතුල නැමද ලෝක වාර්තාවක් තබයි!

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 59

“මගේ ගම පානදුර‍. සිරිපාදෙ කරුණා කරන්න මම හැමදාම මගේම වාහනේ තමයි රත්නපුරේට හරි හැටන්වලට හරි එන්නේ. මම සිරිපාදෙ කරුණා කළේ වාර්තාවක් තියන්න හිතාගෙන නෙමෙයි. මම විශ්‍රාම ගියාට පස්සෙ කිහිප වරක් සිරිපාදෙ කරුණා කළා. ඊටපස්සෙ මගෙ හිතේ බලාපොරොත්තුවක් තිබුණා විශ්‍රාම ගියාට පස්සෙ සියවරක් සිරිපා කරුණා කරන්න ඕනෑ කියලා. මට සිරිපාදෙ ගැන ගොඩක් පැහැදීමක් ඇතිවුණා. මට පුළුවන් හැම වෙලාවකම මම  සිරිපා කරුණා කළා.”

අප කතා නායකයා නඩේගුරකු ලෙස ඔබට වැටහුණද ඔහු විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකි. එසේ නොවුණත් නඩේගුරකු තරමටම ඔහුට ඒ සම්බන්ධයෙන් අත්දැකීම් ඇතුවාට නම් සැකයක් නැත. ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කිරීමට ඇති නල්ලතන්නිය, එරත්න, පලාබද්දල සහ ‍මාලින්බඩ යන මාර්ග 04 ඔස්සේ පැය 23යි විනාඩි 46ක කාලයක් ඇතුළතදී ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කර, පැය 24ක් ඇතුළත වැඩිම වාර ගණනක් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කළ පළමු පුද්ගලයා ලෙස සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටුවීමට ඔහු සමත් වී සිටී. 

මෙම ලෝක වාර්තාව තබා ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියකු වන රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතාය. මෙම සෙරන්ඩිබ් ලෝක වාර්තාව පිහිටුවීම සඳහා මොහු පසුගිය 08 වැනිදා පස්වරු 03.00 ට පළමුව නල්ලතන්නිය ශ්‍රී පාද පිවිසුම් මාර්ගයෙන් ගමන් ආරම්භ කළ අතර ඉන් අනතුරුව, එම මාර්ගය ඔස්සේ ශ්‍රී පාදස්ථානය වෙතත්, එතැන් සිට එරත්න මාර්ගය ඔස්සේ පහළට පැමිණ, එම මාර්ගයේ නැවත ශ්‍රී පාදස්ථානය වෙතත්, එතැන් සිට පලාබද්දල මාර්ගයෙන් පහළට පැමිණ එම මාර්ගයෙන් නැවත ශ්‍රී පාදස්ථානය වෙතත්, එතැන් සිට මාලින්බොඩ මාර්ගයෙන් පහළට පැමිණ, එම මාර්ගයෙන් නැවත ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කර ඇත. අවසන් අදියර වශයෙන් ශ්‍රී පාදස්ථානයේ සිට නල්ලතන්නිය මාර්ගය ඔස්සේ නල්ලතන්නිය වෙත පැමිණ, මෙලෙස මාර්ග 04ක් ඔස්සේ පැය 23යි විනාඩි 46ක කාලයකදී ශ්‍රී පාදස්ථානය කරුණා කර ඇත. ශ්‍රීපාද උඩ මළුවේ සිට නල්ලතන්නිය දක්වා පැය 1 යි විනාඩි 40ක කාලයක් ඇතුළත නල්ලතන්නිය වෙත පැමිණ සිය වාර්තාව පිහිටුවීමට ඔහු සමත් විය. ප්‍රින්ස්ලි ලියනගේ මහතා සෙරන්ඩිබ් ගිනස් වාර්තාව පිහිටුවීමට අපේක්ෂා කළ කාලයට වඩා විනාඩි 14ක් කලින් කිලෝමීටර් 88.8 ක් දුර පා ගමනින් ගොස් සිය වාර්තාව පිහිටුවීමට සමත් වී තිබීමද විශේෂත්වයකි. 

මෙම ගිනස් වාර්තාව පිහිටුවීමේ පා ගමනට ප්‍රින්ස්ලි ලියනගේ මහතා සමඟ නාවික හමුදා නිලධාරීන්ගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේද සහාය ලැබී ඇත‍. මෙම වාර්තාව තැබීමෙන් පසු ඔහු සිය සාමාජිකයන් සමඟ සිරිපා මළුවට ගොස් ආශිර්වාද පූජාවලටද සහභාගී වී ඇත. 

“මගේ ගම පානදුර. මම හැමදාම මගේම වාහනේ තමයි රත්නපුරේට හරි හැටන්වලට හරි එන්නේ. පහුගිය කාලයේ තෙල් ප්‍රශ්න තිබුණු නිසා එක පාරක් කරුණා කරන්න එන එකට වඩා එක දවසේ දෙවරක් කරුණා කළා. ඊටපස්සෙ දවස් තුනක් කරුණා කළා. ඊටපස්සෙ පුරුද්දකට හැම අවුරුද්දකම වගේ පැය 24ක් ඇතුළත තුන් පාරක් කරුණා කරලා ගියා.‌ ගොඩක් වෙලාවට ගමන් කළේ නල්ලතන්නියෙන්. මට හිතුණා පැති තුනකින් මේ ගමන කළොත් හොඳයි කියලා. මාර්ග 4කින් මේ වාර්තාව තියන්න ආසන්න දවස් දෙක තුනේ මම ගොඩක් පීඩනයක හිටියේ. මේ වගේ වැඩකට කලින් හොඳට නිදාගන්න වුවමනා වුණත් පෙර දා මම ඇහැරිලා හිටියේ. මේ අභියෝගය මම ජයගත්තේ ලොකු අමාරුකම් මැද්දේ.” 

ප්‍රින්ස්ලි ලියනගේ මහතා සිය අභියෝගය වචනයට පෙරළුවේ එහෙමය.

විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා මාර්ග හතරක් ඔස්සේ පැය 23යි විනාඩි 46ක් ඇතුළත ශ්‍රී පාදස්ථානයට පා ගමනින් ගොස් කරුණා කිරීමට සමත් වීම සම්බන්ධයෙන් ගිනස් වාර්තා සංවිධානයට පසුගියදා (09) ‍පස්වරුවේ දැනුම් දුන් බවත් ඒ අනුව ඉදිරියේදී ගිනස් වාර්තා සංවිධානය විසින් අදාළ වාර්තාව නිකුත් කරනු ලැබීමට නියමිත බවත් සෙරන්ඩිබ් ලෝක වාර්තා සංවිධානයේ මෙරට සාමාජික වෛද්‍ය ලාල් ඒකනායක මහතා කියා සිටියේය. 

මෙම සෙරන්ඩිබ් ලෝක වාර්තාව පිහිටුවීම අධීක්‍ෂණය සහ සෙරන්ඩිබ් ලෝක වාර්තාවට අදාළ තරග නීතිරීතීවලට අනුකූලව වාර්තාව පිහිටුවන ලද බව ප්‍රකාශයට පත් කිරීම, ලෝක වාර්තා පිහිටුවීම සම්බන්ධ නිල ආයතනය ලෙස කටයුතු කරනු ලබන සෙරන්ඩිබ් ලෝක වාර්තා ආයතනය විසින් සිදු කළ අතර, එම ආයතනය මගින් සෙරන්ඩිබ් ලෝක වාර්තාව පිහිටුවීම සම්බන්ධ සහතිකය රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා වෙත පිරිනැමීම පසුගිය 09 වැනිදා සිදු කෙරිණි. 

පසුගිය කාලයේදී යුද හමුදාවේ මාණ්ඩලික සැරයන්වරයකු පයින් ගොස් සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් තැබුවේය. එනම් පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා කිලෝමීටර් 580.16 ක දුරක් පා ගමනින් ගොස්ය. ලෝක වාර්තාවක් පිහිටුවීමේ අරමුණින් මෙම පා ගමනේ නිරත වූ මාණ්ඩලික සැරයන් කේ.අයි.එස්. කීර්තිරත්න මහතා ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය බලප්‍රදේශයේ ස්ථාපිත 3 ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකි. පේදුරුතුඩුවේ සිට ආරම්භ කරනු ලැබූ මෙම පා ගමන කිළිනොච්චිය, වවුනියාව, මැදවච්චිය, අනුරාධපුරය, කුරුණෑගල, කොළඹ, අලුත්ගම, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක පසු කරමින් දින 12කට පසු කිලෝමීටර් 580.16 ක දුරකින් සමන්විත පා ගමන ඔහු සාර්ථකව අවසන් කළේය. 

I සසංක චලන ගිම්හාන
ඡායාරූප - නාවික හමුදා වෙබ් අඩවියෙනි

 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00