2024 මැයි 04 වන සෙනසුරාදා

ලංකාවේ පළමුවැනි ඉටි රූප වලව්ව

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 226

ඇහැලේපොළ නිලමේ උඩරට රාජධානියේ දිසාවවරු අතරින් වඩාත් ප්‍රකට මෙන්ම විවාදාපන්න චරිතයකි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමඟ අමනාපයෙන් පසුවූ ඔහු ඉංග්‍රීසින් වෙත පලාගිය අතර රජවීමේ සිහිනයකින් පෙළුණු රදලවරයෙකි. කේලම්වලින් ඇවිස්සුණු රජු ඇහැලේපොළ දරු පවුල ම්ලේච්ඡ වධ බන්ධනයට ලක්කර මරා දැමූ බවට ප්‍රවාද පැතිර තිබේ. උඩරට ඉංග්‍රීසින්ට යටත් කර ගැනීමට සහයෝගය දැක්වූ මෙම නිලමේවරයා පසුව ඉංග්‍රීසින්ගේත් සැකයට බඳුන් වී මෙරටින් පිටුවහල් කළේ මුරුසි දිවයිනටයි. රත්නපුර දිසාව බාරව කටයුතු කළ සමයේ ඔහු එහිද වලව්වක් ඉදිකරගෙන වාසය කළේය. අද එය රත්නපුර ජාතික කෞතුකාගාරයයි. 

මහනුවර නගරයේ උඩරට වලව් අතරින් හොඳින් ආරක්ෂා වී තිබෙන එකම ගොඩනැගිල්ල ඇහැලේපොළ වලව්වයි. වර්ෂ 2003 වන තෙක් මහනුවර රිමාන්ඩ් බන්ධනාගාරය ලෙස භාවිත කළ එය පසුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණය කෙරුණි. ඇහැලේපොළ වලව්ව දළදා මාලිගාවට පවරා දීමෙන් පසු පුරාවිද්‍යාත්මක හා සංස්කෘතිකමය වටිනාකම් ආරක්ෂා කරගනිමින් ලංකාවේ ප්‍රථම ඉටි රූප කෞතුකාගාරය එහි නිර්මාණය කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා පැවසුවේය. නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාවට පැවරීමට අදාළ සන්නස් පත්‍රය සකස් කරමින් තිබෙන බවයි. එය කඩිනමින් සකස් කරන ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බව වාර්තා වේ. මේ වලව්ව දළදා මාලිගාවට පවරා දීමට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාය. 

මේ ගැන දේශය සමඟ අදහස් දැක්වූ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා: 

''මෙම ගොඩනැගිල්ල දළදා මාලිගයට අයත්වීමෙන් පසුව අප ඉදිරිපත් කළ ව්‍යාපෘතිය වුණේ එය උඩරට පුරාණ සංස්කෘතිය පිළිබිඹු කෙරෙන ඉටිරූප කෞතුකාගාරයක් බවට පත්කිරීමයි. මෙහි ඉටි ප්‍රතිමා පමණක් නොවේ. ඉටිවලින් කතාංග ඉදිරිපත් කිරීමක් සිදුකෙරෙනවා. ඒ කාලයේ පුරාණ ජන සමාජය, වලව්වක ප්‍රතිරූප ආදිය මේ වනවිටත් නිර්මාණය කෙරෙමින් පවතිනවා. එම නිර්මාණ සකස් කරන්නේ ලංකාවේ සිටින විශිෂ්ටතම ඉටිරූප ශිල්පියා වන ගම්පොළ ප්‍රදේශයේ කලාකරුවකු අතින්. මේ සඳහා යන වියදම දළදා මාලිගාව විසින් දරනවා.''

මහනුවර යුගයේ ගෘහනිර්මාණ ශිල්ප, චාරිත්‍ර වාරිත්‍ර හා සංස්කෘතිය, ආහාර රටාව, කර්මාන්ත හා කලා ශිල්ප ද එම වලව්ව තුළ ඉටි රූප ආශ්‍රිතව ප්‍රතිනිර්මාණය කිරීමට නියමිත බව දියවඩන නිලමේවරයා පැවසුවේය. එහිදී ඇහැලේපොළ පවුලට මූලිකත්වයක් ලබාදීම සිදුවේ. 

''ඇහැලේපොළ නිලමේ, කුමාරිහාමි, දරු තිදෙනා මෙන්ම අනෙක් ජාතික වීරවරයන් වන මොනරවිල කැප්පෙටිපොළ දිසාව, ඌව වෙල්ලස්ස කැරුල්ලට නායකත්වය දුන් නායකයන්ගේ ජීවමාන ඉටිරූප මෙහි නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම උඩරට රජවරු දස දෙනාගේ ප්‍රතිරූපත් මෙහිදී දැකගත හැකි වෙනවා. මෙම නිර්මාණ කිරීමේදීත් පුරාවිද්‍යා අධීක්ෂණය අප ලබාගන්නවා. පාසල් ළමුන්ගේ අධ්‍යාපනයටත් මෙය උපයෝගී කරගත හැකියි. පාසල් දරුවන්ට මෙම කෞතුකාගාරය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දෙනවා.'' දියවඩන නිලමේවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

මෙරට ප්‍රෞඪත්වය හා අභිමානය විදහා දැක්වෙන මේ ඉටි කෞතුකාගාරය ඉදිකළ පසු එය දෙස් විදෙස් ආකර්ෂණය දිනාගනු ඇතැයි විශ්වාස කරන බවත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතා පැවසුවේය. 

පර්චස් 141ක භුමි ප්‍රමාණයක පිහිටා ඇති ඇහැලේපොළ වලව්ව වර්ෂ 2013 දී බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිදහස් කර නාගරික සංවර්ධන අධිකාරියට පැවැරුවේ එහි සංරක්ෂණ කටයුතු සඳහාය. නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා සඳහන් කළේ රුපියල් මිලියන 150ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ප්‍රතිසංවර්ධන කටයුතු සිදු කෙරුණ බවයි. ඉන්පසුව එය දළදා මාලිගයට බාරදීමට සැලසුම් කෙරිණි. ඒ යම්කිසි කෞතුකාගාරයක් වැනි දෙස් විදෙස් සංචාරකයන්ට දැනුමක් ලබාගත හැකි කාර්යයක් සඳහා යොදා ගැනීමටය. එහිදී නාගරික සංවර්ධන අධිකාරිය මුලින්ම ප්‍රකාශ කර තිබුණේ එසේ බාරගන්නේ නම් වැයවූ මුදල පියවිය යුතු බවයි. දළදා මාලිගය එයට මුදල් ගෙවීමට නොහැකි බව සඳහන් කළ අතර පසුව ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත එය දළදා මාලිගයට පූජා පත්‍රයක් මගින් පැවරීමට කටයුතු සූදානම් කෙරිණි. මේ පිළිබඳව දියවඩන නිලමේ ප්‍රදීප් දෑල බණ්ඩාර දේශයට සඳහන් කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම ගොඩනැගිල්ල දළදා මාලිගයට පවරා දීමේ මූලික කටයුතු සූදානම් කළ බවත් වර්තමාන ජනාධිපතිවරයා එම කටයුතු ඉදිරියට ගෙන ගොස් තිබෙන බවත්ය. මේ ගොඩනැගිල්ල තිබෙන්නේ පූජා නගර සීමාව තුළය.

ඇහැලේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර අමරකෝන් වාසල රණමුක මුදියන්සේ නොහොත් කවුරුත් දන්නා බසින් නම් ඇහැලේපොළ මහ නිලමේ සහ පවුලේ උදවිය වාසය කළ අගනුවර නිවෙස වූයේ මේ වලව්වයි. මහනුවර යුගයට අයත් ඇහැලේපොළ වලව්ව ක්‍රි.ව. 1800ත් 1810ත් අතර කාලයේ දී ඉදිවූ බව සැලකේ. එය රජවාසල සිට මීටර දෙසීයක් පමණ දුරින් ස්වර්ණ කල්‍යාණ නොහොත් වර්තමාන රජ වීදියට මුහුණලා පිහිටියේය. ඕලන්ද ගෘහනිර්මාණ ලක්ෂණ සහිත දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙය මහනුවර නගරයේ දැනට ඉතිරිව පවතින හානියට පත් නොවූ නවීකරණය නොවූ එකම පැරණි වලව්වයි.

ඉංග්‍රීසිහු වර්ෂ 1844 දී මෙම ගොඩනැගිල්ල අසල තවත් ගොඩනැගිලි ඉදිකර එය හමුදා බැරුක්කයක් බවට පත් කළහ. 2005 වසරේදී ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස මෙම ගොඩනැගිල්ල නම් කෙරුණි. මෙය මෑතක් දක්වා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත්ව පැවතුණි. මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ ඇහැලේපොළ වලව්ව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරාගනු ලැබුණි. බන්ධනාගාරය පල්ලේකැලේට මාරු කෙරුණි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙහි ප්‍රතිසංවර්ධන කටයුතු ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2014 දී භාරදෙනු ලැබිණි. 

ගඩොල්වලින් බිත්ති ඉදිකොට සිංහල උළු සෙවිලි කර සෑදූ ඇහැලේපොළ වලව්ව ඉපැරණි ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය සිහිපත් කරවන පියකරු ගොඩනැගිල්ලකි. මැද මිදුල, වලව්වේ ඇති උස කුලුනු සහ ආරක්කු, වලව්වේ ලී තරප්පු පෙළ, සොල්දර ඉහළ මහල, වලව් කාමර සහ ලී උළුවහු පැරණි තත්ත්වයෙන් අදටත් පවතී. ඇතුළත දොර පියන් සහ උළුවහු තනා ඇත්තේ උඩරට ගෘහ නිර්මාණ ලක්ෂණ අනුවය.

රජු විසින් සබරගමුවේ දිසාව පදවියට පත්කරන ලද ඇහැලේපොළ දිසාව එහිදී කැරුලි ඇතිකර රජකම ගන්නට කුමන්ත්‍රණය කළ බවට තොරතුරු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට කේලාම් මගින් දැනගන්න ලැබුණි. රජුට කේලම් කියා ඇත්තේ මොල්ලිගොඩ ප්‍රමුඛ රදල නිලමේවරු විසිනි. ඇහැලේපොළ ඉංග්‍රිසින් වෙතට පලාගිය අතර මේ නිසා කෝපයට පත් රජු ඇහැලේපොළ කුමාරිහාමිත් දරුවන් තිදෙනාත් 1814 මැයි 17 වැනිදා අධික වධ බන්ධනයට පමුණුවා මරා දැමූ බව පැවසේ. 

උඩරට පැරණි වලව් අතරින් පිළිමතලව්වේ වලව්ව දැන් ජනාධිපති මන්දිරය බවට පත්ව ඇති අතර එහි පෞරාණික බව ඉංග්‍රිසි පාලන කාලයේම කළ වෙනස්කම් නිසා අහෝසි වී ගොසිනි. දුල්ලෑව වලව්ව තිබූ ස්ථානයේ අද ඇත්තේ ක්වීන්ස් හෝටලයයි. පෞද්ගලික අයිතිය යටතේ ඇති ගිරාගම වලව්ව පසුකාලීනව වෙනස්කම්වලට ලක්වූවත් සංස්කෘතික අරමුදල මගින් සංරක්ෂණය කර ඇති අතර එහි වෙළෙඳ ස්ථානයක් පවත්වාගෙන යයි. කපුවත්ත වලව්ව තිබූ බිමේ අද දැකගත හැක්කේ ස්විස් හෝටලයයි.

ඉටිරූප කෞතුකාගාර සංකල්පය ලොව බොහෝ රටවල විනෝද මාධ්‍යයක් සහ අධ්‍යාපන මාධ්‍යයක් ලෙස භාවිත කෙරේ. පොළොන්නරුව පුරාණ තාක්ෂණ වාරි කෞතුකාගාරයේ අපේ රාජ්‍ය නායකයන් කිහිප දෙනකුගේ ප්‍රතිමා නිර්මාණය කර තිබේ.  ඉටි රූ ප්‍රදර්ශන පවත්වමින් බ්‍රිතාන්‍ය දූපත් හි සංචාරය කළ මාරිටා ටුසෝඩ් 1835 දී ලන්ඩන් නුවරට පැමිණි ඇගේ පුතුන් දෙදෙනා සමඟ එක් වී ‘ටුසෝඩ් මැතිනිය සහ පුත්‍රයෝ’ යන නමින් බේකර් වීදියේ ඉටි රූ ප්‍රදර්ශනාගාරයක් ලොව ප්‍රථම වරට ආරම්භ කළාය. ලන්ඩන් නුවරින් ඇරඹුණු ටුසෝඩ් කෞතුකාගාරය වර්තමානය වන විට උතුරු ඇමෙරිකාව, යුරෝපය, ආසියාව සහ ඔස්ට්‍රේලියාව ලෙස මහද්වීප 4ක් පුරා පැතිරුණු ශාඛා 24 කින් යුතු ජාලයක් බවට පත් වී අවසානයි. 

I කුසුම්සිරි විජයවර්ධන

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00