ඒ.ජේ. රණසිංහ යනු සිරි ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ හමුවන එක් අපූරු චරිතයකි. ප්‍රේමදාස යුගයේදී ඇමැතිකමක්ද දැරූ ඔහු පසුව තානාපතිවරයෙක් ලෙසද කටයුතු කළේය.
උග්‍ර ප්‍රේමදාස වාදියකු වූ රණසිංහයන්, එක් දේශපාලන වේදිකාවකදී කියා සිටියේ තමන් ජනපති ප්‍රේමදාසගෙ සෙරෙප්පුවකින් සුප් එකක් සාදා බීමට වුවත් පසුබට නොවන බවය. මේ නිසා ප්‍රතිවාදියෝ ඔහුට 'සෙරෙප්පු සුප්' යැයි සරදම් නාමයක්ද පට බැන්දෝය.
දිනපතා පුවත්පතකට තීරු ලිපියක් ලියන කාලයේ, මම රණසිංහ මහතාට සියුම් උපහාසයක් එල්ල කරමින් ''ඔබගේ නමේ මුල්කුරු වන ඒ.ජේ. යන්නෙන් අදහස් කෙරෙන්නේ ආනන්ද ජවනිකා දැයි විමසුවෙමි. ඊට සති කිහිපයකට පසු, කිසියම් අවස්ථාවකදී ඔහු ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ, ඒ.ජේ. යනු අනාගත ජනාධිපති බවය.
තමන්ට එල්ල වූ සරදමින් නොකිපුණු ඔහු, උපහාසයට, උපහාසයෙන්ම පිළිතුරු දුන්නේය.
රණසිංහ මහතාගේ මුලකුරු (A.J.) වලින් හැඳින්වුණේ ආතර් ජයසේනය.
1994 පැවති ජනාධිපතිවරණයේදී (ප්‍රේමදාස අභාවයෙන් පසු) ඒ.ජේ. රණසිංහ ද ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් විය. එහෙත් ඔහුට ඇපත් නැති විය.
මා මේ පූර්විකාව ලියුවේ දේශපාලනයට එන කොයි කවුරු තුළත් 'ජනාධිපති සිහිනය' අඩු වැඩි වශයෙන් තිබෙන බව පෙන්වීමය.
සිරි ලංකාව ගොඩ දැමීමට දියසෙන් හෝ දියසේන නමැති කුමාරයකු පහළ වන බවට විශ්වාසයක් ජන සමාජය තුළ පවතී. විවිධ ජ්‍යොතිෂකරුවෝ මෙන්ම අනාවැකිකරුවෝද දියසේන ආගමනයට උඩ ගෙඩි දෙති. එක එකා අන්දති.
කලින් කලට දියසේන කුමාරයා යැයි එක් එක් චරිත හඳුනා ගැනීමේ සිද්ධීන්ද වාර්තා වේ. ඩී.එස්. සේනානායකගේ මුලකුරුවලින් හැඳින්වුණේ දිය-සේන යැයිද කතාවක් පැතිරුණි.
එස්.ඩබ්ලිව්.ඩබ්ලිව්. බණ්ඩාරනායක යනු මෙරටට පහළ වූ දියසේන කුමාරයා යැයි ප්‍රචාරය කළේ ඔහුට හිතවත් වූ කැලණිය රජමහා විහාරයීය භික්ෂූන් ඇතුළු අනුගාමිකයන් විසිනි. එහෙත් පසුව බලයට පැමිණි බණ්ඩාරනායක මහතා කියා සිටියේ දියසේන යනු තමන් නොව, 56 විප්ලවයට දායක වූ පොදු ජනතාව බවය.
තමන් දියසේන කුමාරයා යැයි කියා ගත්තවුන් අතර, 'ටිප් ටොප් සිල්වා' නමින් ප්‍රකට වූ වාසල අධිකාරිගේ සිංහරාජ නන්දිමිත්‍ර ද සිල්වා ද කෙනෙකි.
ටිප් ටොප් සිල්වා, ටිප් ටොප් එකට හැඳ පැළැන්දේය. ටේල් කෝට්, ටොප් හැට් ආදියෙන් සැරසුණු ඔහු, කතාවෙන් නම් නියම සිංහල ජාතිකවාදියෙක් විය.
ටිප් ටොප්ට වූ අකරතැබ්බයක් ගැන ගුණදාස ලියනගේ ඔහුගේ කෘතියක මෙසේ සඳහන් කරයි.
''.... සියලුම කථිකයන් අතරින් ඉතාමත් වේගවත් වූද, ලොමු දැහැගන්නා වූද කතාව කළේ මෙත්තානන්දය.
''... අපේ සංස්කෘතිය බේරා ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ යුතුයි. රට කාබාසිනියා කරන පාලකයන් පන්නල දාල, සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩනැගීමට පුළුවන් කෙනකුට අපි බලය දෙන්න ඕනෙ. තේරුණා නේද?''
මෙත්තානන්දගේ වේගවත් කතාවට එකදිගට අත්පොළසන් නැගෙද්දී, මයික්‍රෆෝනය වෙත ආවේ කළු පාට කලිසම් කෝට් හැඳගත් පුද්ගලයෙකි. කිසිවකුගේ ආරාධනාවක් නැතුවම, ඔහු කතාව පටන් ගත්තේය.
''මෙත්තානන්ද කියපු එක හරියටම හරි. කොතලාවලට මේ රට පාලනය කරන්න බෑ. මට පුළුවන්. ඒක නිසා ඒ පිස්සු යකාව පන්නල ලංකාවේ රජවීමට පරම්පරාවෙන්ම අයිතිය ඇතිව ඉන්න මේ වාසල අධිකාරිගේ සිංහරාජ නන්දිමිත්‍ර හෙවත් දියසේනට මේ රටේ රජකම දෙන්න ඕනෙ.''
''ටිප් ටොප්, කට වහගෙන බිමට බැහැපන්''
මෙත්තානන්ද කෝපයෙන් කීවේය.
මෙත්තානන්දගේ ප්‍රධාන ගෝලයා වූ වීරරත්න ඉදිරියට පැන, ටිප් ටොප් බිමට ඇදගෙන යන්නට විය. එහෙත් ඔහු මයික්‍රොෆෝනය තදින් අල්ලාගෙන සිටි නිසා එයද ඔහු සමඟ ඇදී ගියේය.
ශබ්ද පාලනය බාරව සිටි පුද්ගලයා ටිප් ටොප්ගේ ඇඟිලි අමාරුවෙන් බුරුල් කර, මයික්‍රොෆෝනය බේරා ගත්තේය.
ටිප් ටොප් අත දිගහැර අර පුද්ගලයාට පහරක් ගැසුවේය.
මුළු මහත් ජනකායගේ සිනා හඬ මධ්‍යයේ ටිප් ටොප් ඇදගෙන ගිය වීරරත්න, ඔහු ශාලාවෙන් එළියට දැම්මේය.
ටික වේලාවකින් එළියේ සිටි ටිප් ටොප් යළිත් හීන් සීරුවේ ශාලාවට රිංගා ඉතා සන්සුන්ව බලා සිටියේය.''
බණ්ඩාරනායක අගමැති ධුරයට පත්වූ දා පැවති කිරිබත් සංග්‍රහයට, ටිප් ටොප් සිල්වා ද සහභාගි වූයේය. එදා ඔහු එතෙක් කල් ඇඳි ටේල් කෝට්, ටොප් හැට් සියල්ල පසෙකලා, සුදු පාට ජාතික ඇඳුමකින් සැරසී, නිල් පාට සාටකයක්ද දමාගෙන සිටියේය!
යුගයෙන් යුගයට දියසේනලා පහළ වෙති. මෙවර ජනාධිපතිවරණයටද ටොප් හැට්, ටේල් කෝට් නැතත්, කිට් බිට් මසාගන්නා නූතන දියසේනලා ගණනාවක්ම පෙළගැසී සිටිති.
ඒ කෙසේ වෙතත්, 'සැබෑ දියසේන' සිරි ලංකාව ජය ගන්නේ පෙර පිනකින් හෝ දේව වරමකින් නොව, ජන වරමින් බව ඒ කවුරු කවුරුත් සිතා ගතහොත් එය ඔවුනගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යයට ද හිතකර වනු ඇත. පසුගිය කාලයේ හිටි ගමන් පහළ වූ 'ක්ෂණික දියසේන' ලා අවසානයේ නතර වූයේ, දියවන්නාවේ නොව මුල්ලේරියාවේය.
දීපාල් සිල්වා මෙසේ පැවසුවේ ඒ නිසාය.
ඔළුව තදින් නරක් වෙච්ච
මිනිසුන් පිරිසක් රුඳිච්ච
අරුම පුදුම රටක් තියෙනවා
ඒ රටේ මිනිස්සු - තනිකර කෙළින්නේ පිස්සූ
I කපිල කුමාර කාලිංග