2017 ජුනි 24 වන සෙනසුරාදා

මාතර-බෙලිඅත්ත කෝච්චි පාර යට ලෙඩ ගොඩක්

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 150

මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ඉදිකිරීම් කටයුතුවල නිරත චීන සමාගම එවැනි ඉදිකිරීමක් සිදුකිරීම සඳහා සුදුසු නොවන ආයතනයක් බව සඳහන් වේ. මේ හේතුවෙන් එම සමාගම විසින් යොදාගනු ලබන ඉදිකිරීම් ක්‍රමවේද සහ එම ඉදිකිරීම්වල පවත්වා ගත යුතු තත්ත්වයන් ඉහළ ප්‍රමිතියකට නොමැති බවත් මේ හේතුවෙන් එම දුම්රිය මාර්ගය ඉදිවීමෙන් පසුව එහි ගමන් ගන්නා ජීවිතවලට බරපතළ අනතුරැ සිදුවීමට ඉඩ ඇති බවත් සී.ඊ.සී.බී. ආයතනයේ ඉංජිනේරු සංගමය චෝදනා කරයි.

මෙම ව්‍යාපෘතිය බාරව සිටිනුයේ China National Machinery Import and Export Corporation (CMC) නැමැති ආයතනයකි. ඔවුන්ට අදාළ කොන්ත්‍රාත්තුව නීත්‍යානුකූල නොවන ලෙසට බාරදී තිබෙනුයේ පසුගිය රජය මගිනි. එම ව්‍යාපෘතියේ උපදේශකත්වය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්්‍යාංශය - The Central Engineering Consultancy Bureau (CECB) පත්කර තිබුණි.

මෙම කොන්ත්‍රාත්තුව රුපියල් බිලියන 40 (අමෙරිකානු ඩොලර් මිලියන 278.2) වටිනා අතර එය සම්මතයට වඩා අධික ඇස්තමේන්තුවක් බව සඳහන් වේ. CECB ආයතනයේ ඉංජිනේරුවන්ගේ සංගමය (CECBEA) පසුගියදා කොළඹදී පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදී හෙළිකරන ලද්දේ මෙම ඉදිකිරීම් සඳහා තත්ත්වයෙන් බාල අමුද්‍රව්‍ය සහ ඉදිකිරීම් ක්‍රමවේද යොදාගන්නා බවය. ප්‍රවාහන අමාත්‍යංශය ඇතුළු සෙසු බලධාරීන් හට මේ පිළිබඳව තම සංගමය මගින් දිගින් දිගටම කරුණු පෙන්වා දුන් බවද සඳහන් කෙරිණි.

මෙම චෝදනාවට CECB ආයතනය විසින් දැක්වූ ප්‍රතිචාරය වූයේ මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය සඳහා පත්කරනු ලැබ සිටි කණ්ඩායම් නායකයා ඉවත් කිරීමය. ඔහු මෙම ව්‍යාපෘතියේ ආරම්භයේ සිටම එකී පදවිය දැරූ නිලධාරියාය. ඒ වෙනුවට අලුතින් පත්කර ලැබ සිටින ඉංජිනේරුවා දුම්රිය මාර්ග හෝ දුම්රිය සේවා කටයුතු පිළිබඳ කිසිදු පළපුරුද්දක් නොමැති නිලධාරියකු බවට චෝදනා කෙරේ. කෙසේ වුවද එම නිලධාරියාද ඉල්ලා අස්වීම බාරදී ඇත.

සාමාජිකයන් හාරසියයකගෙන් යුත් සී.ඊ.සී.බී. ඉංජිනේරු සංගමේ (CECBEA) ඉල්ලීම වනුයේ ව්‍යාපෘති කණ්ඩායමේ නායකත්වය දැරූ ඉවත් කරන ලද ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු එම්.එම්. අක්‍රම් මහතා වහාම එම තනතුරට පත් කරන ලෙසය. දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව ඉදිරිපත් කරමින් ඔවුන් සඳහන් කරනුයේ CECB ආයතනය මෙවැනි වෙනස්කමක් මේ ආකාරයෙන් සිදුකිරීම ව්‍යාපෘතිය බාලකිරීමක් ලෙසය.

ඉංජිනේරු අක්‍රම් මහතා ඉවත් කර සති තුනක් ගතවුවද ඔහු විසින් මතුකරන ලද බරපතළ කාරණා කිසිවක් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට අදාළ කාර්යාංශය ක්‍රියා කර නැත. 

ඉංජිනේරු සංගමය ප්‍රකාශ කරනුයේ මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ කොන්ත්‍රාත්තුව CMC සමාගමට පැවරීම මුල පටන් ගැටලුකාරී එකක් බවය. 2012 වසරේදී චීනයේ එක්සිම් බැංකුව ශ්‍රී ලංකා රජයට ප්‍රකාශ කර තිබුණේ අදාළ ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා ප්‍රමාණවත් පළපුරුද්දක් එම සමාගමට නැති බවය. මේ නිසා බැංකුව එකහෙළාම ප්‍රකාශ කර තිබුණේ මේ ව්‍යාපෘතිය ඉංජිනේරු සමාගමක් සමඟ ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් හෝ එවැනි ඉංජිනේරු සමාගමක් සමඟ උපකොන්ත්‍රාත් පදනමක් මත හෝ සිදුකළ යුතු බවය.

ඒ අනුව CMC සමාගම China Railway No 5 Group (CR5) නම් සමාගමක් සමඟ එක්වුවද CECB ඉංජිනේරු කණ්ඩායම දිගින් දිගටම සඳහන් කරනුයේ ඔවුන්ගේ ක්‍රමවේද තුළ බරපතළ අඩුපාඩු පවතින බවය. අක්‍රම් මහතා ඉදිරිපත් කළ කරුණු කාරණා සනාථ කිරීම සඳහා පරිගණකමය දත්ත සටහන් ඉදිරිපත් කිරීමක්ද සිදුකර තිබිණි. එහිදී ඔහු එක් උදාහරණයක් ලෙසින් පෙන්වා දී තිබුණේ දුම්රිය පාලමක් ඉදිකිරීම සඳහා යොදාගනු ලබන කොන්ක්‍රීට් කණු සඳහා යකඩ කූරු යෙදීමකින් තොරව ඒවා සකස් කර ඇති බවය. කණුවල ශක්තිය රඳවා තබාගැනීමට යකඩ කූරු යෙදීම අවශ්‍ය බවය, ඔහු සඳහන් කරනුයේ.

CECB ඉංජිනේරු කණ්ඩායම තවදුරටත් හඳුනාගෙන ඇත්තේ පිළිගත හැකි ප්‍රමිතියකට අඩුවෙන් කොන්ක්‍රීට් දියාරුව සකස් කර ඇති බවය. එයට හේතුව වූයේ එම ඉදිකිරීම් සිදුකරද්දී දැඩි වර්ෂාවක් ඇදහැලීමය. මෙම කොන්ත්‍රාත් සමාගම සුදුසු ක්‍රමවේද සහ යන්ත්‍ර උපකරණ යොදා නොමැතිවීම හේතුවෙන් අනපේක්ෂිත ප්‍රමාදවීම් දිගින් දිගටම සිදුව තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ එකම කාර්යය දෙතුන් වරක් කිරීමට සිදුවීමය. වැව්රුකන්නල පාලමේ පිපිරීම් මතුවන විටදී කොන්ත්‍රාත්කරු එම පිපිරීම් සිමෙන්ති මිශ්‍රණයක් යොදාගනිමින් වසා දැමීමට උත්සාහ කළේය. කෙසේ නමුත් CECB ඉංජිනේරු කණ්ඩායම මෙය නිසි පිළිවෙළට සිදුකිරීමට උපදෙස් ද ලබා දුන්නේය. එමෙන්ම ගල් යොදා සිදුකරන ඉදිකිරීම් කටයුතුවලදී පිළිගත හැකි ප්‍රමිතියකට එය සිදු නොවීය. මේ සම්බන්ධයෙන් CECB ඉංජිනේරු කණ්ඩායම ලබාදුන් උපදෙස් බොහෝ විට නොසලකා හැර තිබේ. යළිත් වරක් ඉංජිනේරුවරුන්ට එම තත්ත්වය නිවැරදි කරගැනීමට සිදුවිය. මෙහිදී තවත් වැරදි ගණනාවක්ම සොයාගැනීමට හැකියාව ලැබුණි.

අක්‍රම් මහතා සඳහන් කරනුයේ CMC ආයතනය මගින් අමුද්‍රව්‍ය සහ මිනිස් බලය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ඇස්තමේන්තු ඉහළ නොවටින මට්ටමකින් ඉදිරිපත් කර ඇති බවය. උදාහරණ ලෙසින් සක්ක ගල් සැකසීමේ මේසන් වැඩ සඳහා කියුබික් මීටරය සඳහා ඔවුන්ගේ මිල ගණන රුපියල් 57,588 කි. එහෙත් වෙළෙඳපොළේ එම මිල රුපියල් 18,000ක් පමණි. එමෙන්ම එක කියුබික් අඩියක එම වැඩ සඳහා ඔවුන්ගේ මිල රැපියල් 1,630 කි. එය වෙළෙඳපොළේ මිල රුපියල් 509 කි. පුහුණු කම්කරුවකු සඳහා දෛනික වැටුප රුපියල් 3960.00ක් බව සඳහන් කරන විට වෙළෙඳපොළේ එම අගය රුපියල් 2000/- කි. නුපුහුණු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 3000 කි. නමුත් එහි වෙළෙඳපොළේ වටිනාකම රුපියල් 1500/- ක් පමණි.

අවස්ථා ගණනාවක්ම CECB ඉංජිනේරු කණ්ඩායමට චීන කම්කරුවන්ගෙන් දැඩි තර්ජන එල්ල විය. එය ඇතැම්විට ඉංජිනේරුවන්ගේ ශාරීරික ආරක්ෂාවට හානිවන තරම් දරුණු විය. මෙම ව්‍යාපෘතිය අවසන් අදියර කීපයට පැමිණ තිබියදී තවදුරටත් එය නිමකිරීම ප්‍රමාදවෙමින් තිබේ. ඒ වෙනුවෙන් රජය ප්‍රමාණවත් වන්දි මුදලක් ඉල්ලා සිටිය යුතු වුවද ප්‍රවාහන අමාත්‍යංශය සිදුකරනුයේ අවසන් වන දිනය දිගුකිරීම පමණි. මෙය CECB ඉංජිනේරැ නිර්දේශවලට එරෙහිව යාමෙකි.

2013 අගෝස්තුවේ පටන් මෙම ඉදිකිරීම් කටයුතුවල නිරතවනුයේ ලොව දෙවැනියට විශාලතම දුම්රිය මාර්ග පද්ධතියට හිමිකම් කියන රටක කොන්ත්‍රාත්කාර සමාගමකි. එම සමාගමට මාතර සිට බෙලිඅත්ත දක්වා කිලෝමීටර් 27ක දුම්රිය මාර්ග ව්‍යාපෘතිය නියමිත පරිදි නිමකර ගැනීමට නොහැකිව ඇඹරෙමින් සිටී. ඔවුන්ට ලබාදුන් තුන්වන කාලසීමාව දීර්ඝ කිරීමට අනුව ව්‍යාපෘතිය 2017 දෙසැම්බර් මාසය තුළ නිමවීමට නියමිතය. නමුත් CECB ඉංජිනේරු කණ්ඩායම පවසනුයේ එය සැප්තැම්බර් මාසය තුළදී නිම කිරීමට හැකි බවය.

මේ සියල්ල සිදුවද්දී ප්‍රවාහන අමාත්‍යංශය අමෙරිකානු ඩොලර් මිලියන පහළොවක් (රුපියල් බිලියන 2.2) වටිනා තවත් ව්‍යාපෘතියක් එම CMC සමාගමට බාරදීමට කටයුතු කර තිබේ. එම නව ව්‍යාපෘතියට අනුව එම දුම්රිය මාර්ගයේ ඉදිවන දුම්රිය ස්ථාන හතරේ විදුලි සංඥා පද්ධතිය සවි කිරීම ඔවුන්ට බාර වී ඇත. එම ව්‍යාපෘතිය සඳහා ද පළපුරුද්ද හා ක්‍රමවේද එම සමාගමට නොමැත. මේ හේතුවෙන් ඇතැම්විට එයද වෙනත් සමාගම්වලට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදුවන ව්‍යාපෘතියක් බවට පත්වීමට ඉඩකඩක් පවතී.

මෙම විදුලි සංඥා කොන්ත්‍රාත්තුව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 15ක වියදමක් ඇස්තමේන්තු කළේ කුමන පදනමක් මතදැයි පැහැදිලි නැත. දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරුවන් එම ව්‍යාපෘතියට රැපියල් මිලියන දෙසිය පනහක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළද එම ඉල්ලීම නොසලකා හැර තිබේ.

CECB ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (සිවිල් කටයුතු) සංජීව විජේසිංහ පවසනුයේ මේ ආකාරයෙන් වැඩ කිරීම චීන රජයටද නරක නාමයක් අත්කරදෙන බවයි. මෙලෙස වැරුදි කරන කොන්ත්‍රාත්කාර සමාගමකට ශ්‍රී ලංකාව තුළ නරක නාමයක් ඇති කිරීමට ඉඩදිය යුතු නැති අතර කොළඹ චීන තානාපති කාර්යාලය හරහා මෙම තොරතුරු එරට විදේශ කටයුතු කාර්යාංශයට දැනුම් දීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කරයි.

Sunday times ලිපියක් ඇසුරෙනි
♦ දිශානි ජයමාලි කරැණාරත්න