2024 ජුනි 01 වන සෙනසුරාදා

හිතේ තැවුල් තුනී කරන රෝස තේ

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 135

සිලෝන් ටී කියලා කිව්වාම ශ්‍රී ලංකාවේ තේ ගැන මුළු ලෝකයම දන්නවා. ඒත් ශ්‍රී ලංකාවේ පුරවැසියෝ වෙන අපි අපේ රටේ දේවල්වල ඇත්ත රසය විඳලා තියෙනවද කියන එක වෙලාවකට ගැටලුවක්. ඇත්තටම තේ කියන්නේ කලාවක්, සංස්කෘතියක්, ශිෂ්ටාචාරයේ ලොකු කොටසක්. ඒත් මේ පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් කරන පිරිස් බොහොම අඩුයි.

‌ෙත් පිළිබඳ අපූරු අධ්‍යයනයක් තුළින් නව ව්‍යවසායක් ගොඩනගපු සුවිශේෂී චරිතයක් අපට හමුවුණා. ඇය මනෝ උපදේශිකාවක්. නමින් සුමේදා නවරත්න. තේ සහ සුමේධා අතර සම්බන්ධය ආරම්භ වෙන්නේ බොහොම අපූරු විදිහට. 

“ජපානයේ ඔකිනවා විශ්වවිද්‍යාලයේ සේවය කළ මහාචාර්ය දිලිප් චන්ද්‍රලාල් මහතා මගේ හිතවතෙක්. ඔහු ජපානයේ සංගමයක් පිහිටුවා තිබුණා Japan Sri Lanka Next Generation Edu Support නමින්. මට මේ සංගමය හරහා ආරාධනාවක් ලැබුණා ජපානෙට ඇවිල්ල ජපන් ජාතිකයන්ට අපේ දේ සහ ආහාරපාන පිළිබඳව දැනුවත් කිරීමකට. එතැනදි තමයි ඒ පිළිබඳ අධ්‍යයනය කරන්න මම පටන් ගත්තේ."

සුමේධා නවරත්න කැලණිය විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍යවේදය පිළිබඳ උපාධිධාරිනියක්. සෑහෙන්න කාලයක් ජනමාධ්‍යවේදිනියක් විදිහට සේවය කරලා, පසුකාලීනව තමයි ඇය මනෝ උපදේශිකාවක් විදිහට කටයුතු කරන්න පටන්ගෙන තියෙන්නෙ. ඒ නිසාම තේ සම්බන්ධව ඇය කළ පරීක්ෂණයට අවශ්‍ය තරම් මනා පරිචයක් ඇය සතු වුණා.

“ලංකාවේ අපි අපේ තේ හරියට රස විඳලා නැහැ වගේම, දැකලවත් නැහැ කියලා මේ අධ්‍යයනය තුළදී මට වැටහුණා. කොහොම නමුත් මම තේ ගැන ඉගෙන ගත්තේ තේ සම්බන්ධ නිෂ්පාදනයක් කරන්න හිතාගෙන නෙවෙයි. නිවැරදි තොරතුරු එක්ක ජපානයට ගිහින් හරියට කතා කරන්න ඕනෑ නිසා තමයි මම ඒ ගැන ඉගෙන ගත්තෙ."

මනෝ උපදේශනය පිළිබඳ අධ්‍යයනයේ දී විෂාදය වැනි තත්ත්වයන් සඳහා තේ සහායක ප්‍රතිකාරයක් ලෙස භාවිත වන බව සුමේධා නවරත්න දැන සිටියා. ඒ ඔස්සේ සිතා බැලූවිට තමා ඇයට පෙනී ගියේ දේශීය ඖෂධ සහ තේ එකිනෙක මුසුකොට මානසික සෞඛ්‍යයේ යහපැවැත්ම සඳහා තේ භාවිතයෙන් අගය එකතු කළ නිෂ්පාදන සිදුකිරීමේ හැකියාවක් පවතින බව.

“දේශීය ඖෂධ, විදේශීය ඖෂධ තේ සමඟ මුසු කරලා එහි තිබෙන සුවඳ, ගුණය, රස එක්ක මානසික ගැටලුවලට ලොකු සහනයක් ලබා දෙන්නත් පුළුවන් කියලා මට වැටහුණා. ඊට පස්සේ මාස ගාණක් මම මේ හා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවල නියැළුණා. මේ ඖෂධ පිළිබඳ කියවලා සොයා දැනගෙන තේ නිෂ්පාදනය කරමින් මමම ඒ දේ පානය කරමින් අධ්‍යයනය කළා. පසුව මිතුරන්ටත් මේ නිෂ්පාදන ලබා දීලා එහි ඵලදායී බව පිළිබඳ සොයා බැලුවා."

මේ අතර කාලයේ දී මනෝ උපදේශිකාවක් ලෙස තමා සුමේධා කටයුතු කරමින් සිටියේ. ඒ නිසාම සිය සේවාලාභීන්ගේ කැමැත්ත සහිතව මෙම තේ වර්ග ඔවුනට ලබා දීලා එයින් ලැබෙන සුවය පිළිබඳ අධ්‍යයනය කිරීමටත් ඇයට අවස්ථාවක් සැලසුණා.

“මේ හරහා ඔවුනට සුවයක් ලැබෙන බව මම අත්දැක්කා. මේ තාක් මානසික අක්‍රමිකතාවලට තේ භාවිත කරමින් සහනයක් ලබා දෙන්නේ කොහොමද, තෙරපි එකක් කරන්නේ කොහොමද, කියලා අධ්‍යයනයක් සිදුවෙලා තිබුණේ නැහැ. ඒ නිසා මනෝ උපදේශනයත් තේ කලාවත් එකිනෙක මුසු කරලා නිෂ්පාදන සිදු කරන්න පෙළඹුණා. දැන් මගේ නිෂ්පාදන බොහොම ජනප්‍රියයි. මේ තේ බොන හැම කෙනාගෙන්ම හොඳ ප්‍රතිචාර තියෙනවා."

තාමත් මේ ව්‍යවසාය තිබෙන්නේ ආරම්භක අවස්ථාවේ. සුමේධා තේ වර්ග කිහිපයක් මේ වන විට නිෂ්පාදනය කරලා තියෙනවා. ඇගේ දෑතින්ම තමා මේ නිෂ්පාදන සිදුවෙන්නෙ. වර්ග කිහිපයක් වූ මේ නිෂ්පාදන අතරින් Rose Relax Tea සඳහා ඉහළ ප්‍රතිචාරයක් ලැබෙන බව සුමේධා සඳහන් කරනවා.

“මම හදපු එක තේ වර්ගයක් තමයි Relax Tea. ආතතිය සඳහා සුවයක් ලබා දෙනවා. අද වෙනකොට ආතතිය කියන්නෙ පොඩි දරුවාගේ ඉඳලා වැඩිහිටියා දක්වා සමාජය පුරා පැතිරී ගිය දෙයක්. එවන් ආතතියකින් පෙළෙන විට උසස් තත්ත්වයේ තේ කොළ සමඟ මේ ඖෂධ මුසු කරලා ලබාදෙන තේ එක ඔවුනට විශාල සැනසීමක් වෙනවා." Relax Tea ඕනෑම අයකුට භාවිත කළ හැකි නිෂ්පාදනයක්. අධ්‍යාපනය සහ රුකියාව නිසා වෙනස් කරුණු නිසා ආතතියට පත්වෙන ඕනෑම අවස්ථාවකදී මේ දේ භාවිත කරන්න පුළුවන්. මේ හරහා විශාල සුවයක් ලැබෙන බව සුමේධා නවරත්න සිදු කරනු ලැබූ පරීක්ෂණවලින් පෙනී යනවා.

මීට අමතරව සුමේධා ඉදිරිපත් කරන අගය එකතු කළ නිෂ්පාදන අතර තියෙන Chamomile Meditation Tea ත් සුවිශේෂී නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. 

“මේ තේ වර්ගය විශේෂයෙන්ම හැදුවේ මානසික අක්‍රමිකතා වැඩිපුර තියෙන අය ඉලක්ක කරගෙන. විෂාදය, ආතතිය, භින්නෝන්මාදය, ඕ.සී.ඩී වගේ ගැටලු තියෙන අයට විශේෂයෙන්ම තෙරපී එකක් විදියට මම මගේ මනෝ උපදේශන සැසිවාර අතරතුර මේ තේ වර්ගය භාවිත කරනවා. Chamomile Meditation Tea වල අමතර ඔසු වර්ග හතරක් එකතු වෙනවා. භාවිතය භාවනාවක් ආකාරයෙන් සිදුවෙන්නෙ. භාවිතයේ දී මුලින්ම අවධානය යොමු කරන්නේ සුවඳ පිළිබඳව. අනතුරුව මේ රස එකින් එක හඳුනාගන්න අවශ්‍ය වෙනවා. ඒ සියල්ල මනා අවබෝධයකින් අවධානයකින් කළ යුතුයි."

මෙම වර්ග දෙකට අමතරව සුමේධා නවරත්න Cinnamusu Relax Tea නමින් තේ වර්ගයක් ද හඳුන්වා දී තිබෙනවා. මෙම නිෂ්පාදනය සිදු කරල තියෙන්නේ සිනමන් හා ඉරමුසු එකතු කරලා. ඒ නිසා සුමේධා මේ නිෂ්පාදනය හඳුන්වන්නේ “සිනාමුසු" කියලා.

ඉදිරියේදී මානසික ආක්‍රමිකතාවලින් පෙළෙන අය සඳහා මානසික සුවය මෙන්ම කායික සුවයද ලබාදෙන තවත් තේ නිෂ්පාදන ඉදිරිපත් කිරීමට සුමේධා නවරත්න නම් ව්‍යවසායිකාව සූදානමින් සිටිනවා. විශේෂයෙන්ම ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉහළ නංවන නිෂ්පාදන ඇය ඉදිරිපත් කිරීමට නියමිතයි. “ඉතාම පැහැදිලිවම සඳහන් කළ යුතු කාරණාවක් තමයි අපි ඉදිරිපත් කරන තේ නිෂ්පාදන මානසික අක්‍රමිකතා සඳහා ලබා දෙන එක් සහනයක් පමණයි. තේ පානය කළ සැණින් මානසික අක්‍රමිකතා සුව වෙනවා වගේ අදහසක් සමාජගත කරන්න මට අවශ්‍ය නැහැ. මෙතැනදී මම ගොඩනගන්න උත්සාහ කරන්නේ ව්‍යාපාරයකට වඩා වැඩි දෙයක්."

මානසික අක්‍රමිකතා සුව කිරීමට කරන චිකිත්සා අතරේ මෙම ප්‍රතිකර්මයද භාවිත කළ හැකි බව මනෝ උපදේශිකා සුමේධා නවරත්න මහත්මිය මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙනවා.  කෙසේ නමුත් මෙම නිෂ්පාදන නිර්මාණාත්මක නවෝත්පාදන අදහස් මූලික කොටගත් නිෂ්පාදනයක් බව අපට සඳහන් කළ හැකියි. ඉදිරියේදී තවත් විධිමත් ලෙස මෙම නිෂ්පාදන වෙළෙඳපොළ තුළ දැකගන්න ලැබේවි. මේ වන විටත් අපේ කතා නායිකාව විසින් ඒ සඳහා වැඩ කරමින් සිටිනවා.

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00