2024 ජුනි 08 වන සෙනසුරාදා

ගංවතුර ආතල්

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 83

වෙසක් නැරැඹීමෙන් පසු මිනිස්සු සූදානම්ව සිටියේ පොසොන් උත්සවයටය. ඊට කලින් ගංවතුර ආවේය. ඉතින්, මිනිස්සු ගංවතුර බැලීමට යාමට පටන් ගත්හ.

ගංවතුර මහ විනාශයක් වුවද, සමහරුන්ට එය නියම ආතල් එකකි. එහෙත් ඇතැමකුගේ ආතල් කැඩුණේ ගංවතුරටම බිලිවීමෙනි. කරන්ට් වැදීමෙනි.

ගංවතුරේ පිහිනීම, එහි බැස ඇවිදීම වැනි දෑ සෞඛයට ඉතාම අහිතකර විය හැකි බව සෞඛ්‍ය අංශ මගින් කොතෙක් නිවේදනය කළත් ගංවතුර ආතල්කාමීහු, එය නොසලකති. වතුර බැස ගිය පසු, ඉතිරි 'ආතල් එක^ උදා වෙයි. ඒ ලෙඩ රෝගය; වසංගතය; මී උණ වැනි භයානක රෝගය.

මිනිසුන්ගේ කුතුහලය, අවදානමට ඇති බිය පරදවා මතු වෙයි. අනෙක් අතට, අවදානමද විනෝදයකට ගන්නේ විනෝදය අහිමි කළ රටවල මිනිසුන්ය. අරක්කු බීමට මුදල් නැති මිනිහා කසිප්පු බොන්නාක් මෙනි.

වැසි සමයේදී, ගම්වල දරුවෝ දියෙන් පිරි වෙල් කුඹුරුවල කෙසෙල් කොට පාරු පැදීමෙන් විනෝද වූහ. නාගරිකව කෙසෙල් කොට වෙනුවට භාවිත වූයේ ටයර් ටියුබ්ය.

ඒ අහිංසක විනෝදය මෙදා ගංවතුරට ඔරොත්තු දෙන්නේ නැත. ''මෙහෙම වතුරක් ජීවිතේට දැකල නෑ.'' වැඩිහිටියෝ පවසති. එදා නොදුටු ගංවතුරක් මෙදා ඇතිවීමට හේතු රැසකි. පහත් බිම් ගොඩකිරීමේ සිට ප්ලාස්ටික් භාවිතය දක්වාම කරුණු ඒ අතර වෙයි.

ගංවතුර ආ විට, ඒ හේතු මතක් වෙයි. ඊට විසඳුම්ද ඉදිරිපත් වෙයි.

ගංවතුර බැස ගිය පසු, ඒ සියල්ලද යටයයි.

සොබාදහමට විරුද්ධවීමට මිනිසාට බැරි බව ඇත්තය. එහෙත්, සොබාදහම පාලනය කිරීමට මිනිසාට හැකිය. ඔහු නොකරන්නේද ඒ ටිකමය. ජල ගැලීම්, වායු දූෂණය, නායයාම් වැනි දෑ එහි ප්‍රතිඵලය.

ගංවතුරත් සමඟම ගංවතුර ආධාර එකතු කිරීම් මෙන්ම සහනාධාර බෙදීම්ද ඇරුඹෙයි.

සමාජ ජාලයක දැක්වුණු කාටුනයක තරබාරු දේශපාලනඥයෙක්, බෝට්ටුවක නැගී ගංවතුරින් යටව සිටින ජනතාවට ආධාර බෙදමින් යයි.

ඔහු, එක් මිනිසකුට කෙසෙල් ගෙඩියක් දිගු කරයි.

තවත් කාටුනයකදී දේශපාලනඥයා ගංවතුරට කොටුවූවකුට, කුඩයක් දෙමින් මෙසේ කියයි.

''වැස්සෙන් ඔළුව බේරගන්ඩ.''

තවත් ගංවතුර ආධාර උපහාසයකි මේ.

ගංවතුරට යට වූ ගම්බාර දේවාලයක දෙවියකු සහ අසල වනයේ සිටි රුක් දෙවියෙක් කඳුගැටයකට වී කතාබහක යෙදෙති.

ගම්බාර - මෙහෙම හිටියොත් බඩගින්නෙ මැරෙන්නයි වෙන්නෙ.

රුක් - වෙනද ආධාර බෙදන්න ආපු හාදයා මේ පාර පේන්න නැත්තෙ මොකද?

ගම්බාර - අනේ මිනිහට කරන්ට් වැදිල මළානෙ.

රුක් - පළතුරු පූජා වට්ටියක්වත් එන පාටක් නැද්ද?

ගම්බාර - වතුර බැහැල ගියාට පස්සෙ තමයි, කට්ටිය එන්නෙ.

රුක් - ඉතින්, ඔබවහන්සේගෙ කපුරාළ කොහෙද? එයාගෙ ගේත් යට වෙලාද?

ගම්බාර - නෑ නෑ.. මිනිහ කට්ටියකුත් එකතු කරගෙන, ගංවතුර නැති පළාත්වලට ගිහින් ආධාර එකතු කරනවා.

අනුන්ගේ විපත, තමන්ගේ සැපත බවට පත්කර ගන්නා උදවියද මේ සිරි ලංකාවේ සිටින බව අමුතුවෙන් කිව යුතු නොවේ.

විපත් අවස්ථාවලදීද, නූතන මිනිසාගේ පුරුදු හා ඇබ්බැහිවීම් මතුවන අයුරුද, කාටූන් ශිල්පීන්ගේ උපහාසයට ලක්වෙයි.

අධික වැසි පවතින අවස්ථාවක, මුළුතැන්ගෙයි සිටින බිරිඳ, සැමියාට කෑගසයි.

''ඒයි, ජනෙලෙන් වතුර දානවා. ඉක්මනට පැනගන්න විදිහක් හිතන්න.''

සැමියා, සිනාමුසුව ජංගම දුරකථනය ඉහළට ඔසවමින් පිළිතුරු දෙයි.

''නියමයිනෙ. සේරටම කලින් සෙල්ෆියක් ගහල ඉමු.''

අනවශ්‍ය ස්ථානවල, අනවශ්‍ය අවස්ථාවල සෙල්ෆි ගැනීමට ගොස්, මියගියවුන් ගැන පසුගිය කාලයේ මාධ්‍ය තුළින් දක්නට ලැබුණි. ඇවිලෙන ගින්නෙන් සුරුට්ටු පත්තු කර ගන්නා මිනිසුන් ගැන, ජනවහරේ එන්නේ අද ඊයේ සිට නොවේ. දැන් ජීවිතයට වඩා ''ෆන් එක'' ලොකුය. අවසානයේ, ආතල් ගන්නේ, මිනීපෙට්ටි සාප්පුකාරයාය.

ගංවතුරට ලොකු පොඩිකම්, දේශපාලනය හෝ දේශසීමා අදාළ නැත. වැස්ස අහෝසි ඩුබායි රාජ්‍යයටත්, ගංවතුර (වැසි වතුර) ගැලුවේ ඒ අනුවය.

මහ ගංවතුරකදි, පාලම්, බෝක්කු විනාශයට පත්වෙයි. බංග්ලාදේශයද, ගංවතුරට ප්‍රසිද්ධ රටකි. එරට පරිසර ඇමැතිවරයා ඉන්දියාවට ගිය අවස්ථාවක එහි ඇමැතිවරයකු හමුවුණි.

ඔහු පදිංචිව සිටි, සුඛෝපභෝගී මහල් නිවාසයේ කවුළුවකින්, ගංගාවක් හරහා ඉදිකළ විශාල පාලමක් දිස්වෙයි. බංග්ලාදේශ ඇමැතිට එය පෙන්වූ ඉන්දීය ඇමැති මෙසේ කීය.

''අර පාලම කවදාවත් ගංවතුරට කැඩෙන්නෙ නෑ. ඒක මගේ සංකල්පයක්. වැඩේ බාර දීපු සමාගමෙන් මට සීයට පහක් දුන්නා. ඒකෙන් මම මේ ෆ්ලැට් එක ගත්තා.''

ටික කලකට පසු, ඉන්දීය ඇමැතිවරයා බංග්ලාදේශයට ගියේය. පරිසර ඇමැතිවරයා පදිංචිව සිටි, සුඛෝපභෝගී මන්දිරය දුටු ඉන්දීය ඇමැති මවිත විය. එදුටු බංග්ලා ඇමැති මෙසේ කීය. 

''දන්නවද මම මේ ගෙදර හැදුවෙ කොහොමද කියලා... ඔබතුමා වගේම මාත් පාලමක් හැදුවා. අර ජනේලෙන් පේන ගඟට උඩින්.''

ඉන්දීය ඇමැති, ජනේලයෙන් පිටත බැලුවත්, පාලමක් පෙනෙන්නට නොවීය. 

''ඉතින් කෝ පාලම?''

''මේ පාර ගංවතුරට කඩාගෙන ගියා... ළඟදිම තව එකක් පටන් ගන්නවා. ඒකත් මගේ සංකල්පයක්.''

I කපිල කුමාර කාලිංග