2024 ජුනි 22 වන සෙනසුරාදා

ග්‍රහලෝක සහ ලෝකයෝ

 2024 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 130

වැසි සමයේදී ජලයෙන් යටවන කොළොන්නාව නගරය ගලවා ගැනීම සඳහා අපූරු යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනු මාධ්‍ය මගින් දක්නට ලැබුණි. එනම්, ජල ගැලීම් නවත්වාලනු වෙනුවට නගරය ඉහළට ඔසවා තැබීමයි.
(කොළොන්නාව, කොලම් මගින් එසැවීමටත් පිළිවන් යැයි සමහරු සිතනවා විය හැකිය.)

කෙසේ වෙතත්, මෙය කාගේ හෝ විශ්මිත පරිකල්පනාවක් මිස, සූස්ති කල්පනාවක් ලෙස බැහැර කළ යුත්තක් නොවේ. 

අනෙක් අතට, කොළොන්නාව ඉහළට එසැවීමෙන් ආරම්භ කෙරෙන මෙම අපූර්ව ව්‍යාපෘතිය රට පුරා ව්‍යාප්ත කිරීමෙන් අවසානයේදී ආර්ථික ගොහොරුවේ ගිලී සිටින මුළු සිරි ලංකාවම ඉහළට ඔසවා තැබීමටද බැරිකමක් නැත.

මඳ කලකට ඉහත මහනුවර නගරයේ රථවාහන තදබදයට පිළියමක් වශයෙන් නගරයට යටින් උමඟක් කැපීමට යෝජනාවක් ඉදිරිපත් කෙරුණි. නුවරුන්ගේ වාසනාවට හෝ අවාසනාවට එය ක්‍රියාත්මක වූයේ නැත. රථවාහන පමණක් නොව ''කොමිස්'' ද දිවෙන්නට තිබුණු එම උමං ව්‍යාපෘතිය ගැන කතා කළවුන් අද නිහඬය. රථවාහන තදබදය එසේමය. කෙසේ වෙතත්, ඓතිහාසික නගරයක් ගිලා බැස විනාශ වනවාට වඩා, රථවාන තදබදය පැවතීම වඩා යහපත් යැයි ඔවුන් කල්පනා කළා විය හැකිය.

බොහෝ විට, මෙබඳු මහා පරිමාණ ව්‍යාපෘති, යෝජනා ක්‍රම පටන් ගැනීමේදීම නතර වන්නේ ''අත යට වාසි'' නැතිවෙන කොටය. එසේත් නැතිනම්, විදේශීය සමාගම් ''වෙරි සොරි'' කියා සිතියම් අකුලාගෙන යාමත් සමඟය.
දේශීය යෝජනා ක්‍රම ගැන කියද්දී, මෑතක කියැවූ විදේශීය උපහාස කතාවක් මතකයට නැගෙයි.

අලුත සොයාගත් මිනිස් වාසයට සුදුසු ග්‍රහලෝකය මත විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා නාසා ආයතනය මගින් අභ්‍යවකාශ චාරිකාවක් සංවිධානය කෙරුණි.

චාරිකාවේ ප්‍රධානියා වූයේ, ඇමෙරිකානු අභ්‍යවකාශගාමියෙකි. පලස්තීනය හා ඊශ්‍රායලයටද අවස්ථාවක් දීමට තීරණය වූයේ, යුද්ධය නතර කිරීමේ කොන්දේසියක් මතය.
ග්‍රහලෝකය මතට පා තැබීමෙන් පසු, ඇමෙරිකානුවා දෑත් දෙපසට විහිදුවා ආඩම්බරයෙන් මෙසේ කීය.

''මේ ග්‍රහයා අයිති ඇමෙරිකාවට. තමුන්ලට මෙහෙ ව්‍යාපෘති පටන් ගන්න පුළුවන්. හැබැයි අපිට යටත්ව.''

එවිට, ඊශ්‍රායල් ජාතිකයා ඊට එරෙහි විය.

''හැමදාම අපිට අනුන්ට යටත්ව ඉන්න බෑ. මේ ග්‍රහලෝකය අපිටත් අයිතියි. අපි මේකෙ යුදෙව් රාජ්‍යයක් ඇති කරනවා.''
එය ඇසූ පලස්තීනුවාගේ ලේ රත් විය.

''අපිට තමයි හැමදාමත් කුඩම්මගෙ සැලකිලි. දැන් ගාසා තීරයත් විනාශ කරල දැම්මා. අපිට මේ ග්‍රහලෝකයම උරුම කර ගන්න ඕනෙ.''
''මොකක්ද තියෙන උරුමය?''

පලස්තීනුවා එක්වරම තම පිස්තෝලය ගෙන, පපුවට වෙඩි තබා ගත්තේය. ඔහුගේ ලෙයින් භූමිය තෙත් වුණි.

''අපේ උරුමය ලේ උරුමය. දැන් මේ භූමිය අපිට අයිතියි.''

පලස්තීනුවා මැරී වැටුණේ අතින් පස් මිටක් ගුලි කර ගනිමිනි.

ඇමෙරිකානුවා, තම පිස්තෝලය ගෙන යුදෙව්වාට වෙඩි තබා බිම හෙළුවේය.

''තමුසෙලාට උරුම යුද්ධයම විතරයි. මුළු විශ්වයම උරුම අපිටයි.''

ඉන්දියාවද, අභ්‍යවකාශ තරණය ගැන දැන් විශාල උනන්දුවක් දක්වයි. ඒ පිළිබඳව එරට උපහාස තීරු රචකයකු මෙසේ ලියා තිබුණි.

''ලෝකයේ බලවත්ම ජාතීන් අතරට එක්වීමට නම්, අපටත් පිට ග්‍රහලෝකයකින් අක්කර දෙක තුනක් හෝ අයිතිය තිබිය යුතුය. ලෝකයේ වැඩිම මුඩුක්කුවාසීන් වෙසෙන රට වීම ද ඊට එක් සුදුසුකමක් විය හැකිය.''

ඉන්දියානුවන්, වෙළෙඳාමට ශූරයන් බව කවුරුත් දනිති. එක් ඉන්දීය ව්‍යාපාරිකයෙක් උපක්‍රමශීලීව සඳ මතට පැන ගත්තේය. 

එහිදී ඔහු ඔරලෝසු නිපදවීමේ ව්‍යාපාරයක් ආරම්භ කළේය.

ඉන්දියානුවා මෙන්ම, සඳට පැනගත් පකිස්ථානුවෙක් තම අසල්වැසියාගෙන් මෙසේ ඇසීය.

''තමුසෙ මෙහෙ ඇවිත් ඔරලෝසු හදන්නෙ ඇයි? පාඩු නැද්ද?''

''නෑ. මෙහෙ ටැක්ස් ෆ්‍රී නෙ.''

ඒ වුණාට කා එක්කද බිස්නස් කරන්නෙ? මෙහෙ මිනිස්සු ඉන්නවයැ.''

''මං බිස්නස් කරන්නෙ ඉන්දියාවත් එක්කමයි.''

''ඒ කොහොමද?''

''මං මේවා මෙහෙට එන චීන යානාවක පටවල චීනෙට යවනවා. ඒගොල්ලො එහෙදි ඒවයෙ Made in China කියල ගහලා ඉන්දියාවට විකුණනවා.''

පකිස්ථානුවා නිහඬ විය.

ඉන්දියාව ද නිතර ජල ගැලීම්වලට ගොදුරු වන රටකි. එහෙත් ඔවුන්, ඊට විසඳුම් වශයෙන් නගර ඉහළට එසැවීමට නොයයි. ඒ වෙනුවට පකිස්ථානයට වරද පැටවීමට උත්සාහ කරයි. ඒ අතරම, ගංවතුර බැස යනතුරු ඉන්දියාව ලෝක කුසලානය දිනාගත් ක්‍රිකට් තරග නැවත විකාශනයට කටයුතු යොදයි.

කපිල කුමාර කාලිංග