2017 ජුනි 24 වන සෙනසුරාදා

සියවස පේන දුර දරු මුණුපුරන් 95 සමඟ

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:02 145

අලුත්ගම දර්ගා නගරයේ කොටපිටිය නිවසේ ජිමොනිස් ලියනගේ මහතා වෙනුවෙන් පසුගියදා උපන්දින සාදයක් පැවැත්විණි. වර්තමානයේ පැවැත්වෙන සාදයන් වලට වඩා වෙනස්කමක් සහ සුවිශේෂී බවක් මෙම සාදයේ දැකගත හැකි විය. අනූපස් දෙනකුගෙන් සමන්විත දුවා දරුවන් දරු මුණුබුරන් මිණිබිරියන් එක්ව එම සාදය පැවැත්විණ. ඒ. ජිමෝනිස් ලියනගේ මහතාගේ අනූපස් වන උපන්දිනය සැමරීම සඳහා ඔවුහු එලෙස එක් වූහ. මහා සංඝරත්නය දසසිල් මාතාවන් තම නිවසට වැඩම කරවා දානමාන ආදියෙන් පුණ්‍ය කටයුත්තක් සිදුකොට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම මෙහිදී සිදුවිය.

ජිමෝනිස් මහතා මීට වසර අනූපහකට පෙර අලුත්ගම දර්ගා නගරය ප‍්‍රදේශයේ උපත ලද අතර ඔහුට නව දෙනකුගෙන් යුතු සහෝදර සහෝදරියන් පිරිසක් ඔහුගේ තනි නොතනියට ඔහ සමඟ කුඩා කල සිට කෙළිදෙලින් සතුටින් ජීවත් වූහ. ඔහු තම අකුරු ශාස්ත‍්‍රය හැදෑරීම සඳහා එවකට පැවති නාකන්දලගොඩ විදුහලට ඇතුළත් විය. එම පාසලේ හත්වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලද ඔහු පාසල් ගමනට ආයුබෝවන් කීමෙන් අනතුරුව දෑතේ වීර්යෙන් තම ජීවිතය ඉදිරියට ගෙන යාමට තීරණය කළේය. ඒ අනුව ගොවිතැනටත් බවභෝග වගාවටත් ඔහුගේ දෑත ශක්තිමත් විය. එදවස ගතකළ කාලය පිළිබඳ කළ කී දෑ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඔහු අප සමඟ එක්විය.

ඉතා සුහදශීලී ලීලාවෙන් නිවසේ උඩුමහලේ සිට බැසවිත් ආලින්දයේ පිළිසඳරේ යෙදෙන්නට අසුනක හිඳගත් ඒ මහතා නිවසේ සිට ලලිතා දියණිය අමතා බීමට මොනවාහරි ගේන්න යැයි ඉඟි පළකළේ ආගන්තුක සත්කාර චාරිත‍්‍රයට මුල්තැන දෙමින්ය. “ඉතින් ජිමෝනිස් මහත්තයෝ කොහොමද සැප සනීප උපන්දින සාදයක් වෙනුවට පිංකමක් සිදුකරලා සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා නේදැයි” විමසූ විට නිහතමානී අව්‍යාජ සිනහවකින් සංග‍්‍රහ කළේය.

ඉතින් මොනවද මේ දවස්වල කරන්නේ.“ යැයි මා විමසූවිට පැවසුවේ ”පත්තර කියවනවා, බණ දහම් පොත් කියවනවා, වටපිටාවේ සුන්දරත්වය වගේම කුරුල්ලන්ගේ හඬට සවන් දෙනවා, නිවසේ වත්තේ ටිකක් ඇවිදිනවා වගේ දේවල් තමයි” කීය. තුන්වතාවක් මම දඹදිව වන්දනා කරලා තියෙනවා යැයි හරිම සතුටින් සිය අදහස් වචන වලට පෙරළමින් ඔහු සඳහන් කළේය. 

පාසල් කාලය ගැන මතකය කෙසේදැයි විමසූ විට කියා සිටියේ මම නාකන්දලගොඩ විදුහලේ තමයි ඉගෙන ගත්තේ. (වර්තමානයේ ශ‍්‍රී ඤාණිස්සර විදුහල) එවකට හිටපු විදුහල්පතිතුමා අතපත්තු මහතා බවයි. මම ඉගෙන ගත්තේ හතේ පංතියට පමණයි. පාසල් අධ්‍යාපනය අවසන් කරලා වැවිලි භෝග වගාවටත් ගොවිතැනටත් නැඹුරු වුණා” යැයි පැවසීය. 
1951 දී මම විවාහ වුණේ මිත‍්‍රකමක් මත දැන හඳුනාගත් මිට්ලින් ගුණරත්න මහත්මිය සමඟයි. සරම කමිසයට හුරු වී එදා මෙදාතුර සැහැල්ලූ දිවිපෙවෙතක් ගත කළා. අවුරුදු අනූව වෙනකන්ම පාපැදිය තමයි ළඟම මිතුරා වගේම එකම වාහනය. ඒ කාලය තුළ පාපැදියට හරිම ආදරෙන් පරිස්සමට පාවිච්චි කළා. වසර අනූවක කාලය පුරාවටම පාපැදි දෙකක් පමණයි පාවිච්චි කළේ යැයිද ඔහු කීවේය. 

වැඩිමල් දියණිය වූ ඇග්නස් හේමලතා මහත්මිය මේ වනවිට හැටපස් වන වියේ පසු වන්නීය. ඇය සිය පියා ගැන මතකය අවදිකළේ මෙලෙසිනි. 

තාත්තා එදා ඉඳලා ආහාරයට ගත්තේ තාත්තා ගොවිතැන් කළ කුඹුරැවල හාල් එළවළු පළතුරු. අම්මා වගා කළේ ගෙවත්තේ. අපි ටික ටික ලොකුවෙන කොට කිරි හරකුන් කිහිපදෙනෙක්ද අප වත්තේ හැදී වැඩුණා. ඒ කිරි තමයි අපේ අම්මයි තාත්තයි අපි ඔක්කොමලට දුන්නේ මව් කිරිවලට අමතරව. “වසවිස“ කියන වචනවත් ඒ කාලේ අහලා තිබුණේ නෑ. හැම දෙයක්ම වත්තෙන් පිටියෙන් සොයා ගත්තේ. මාළු කරවල පමණයි මුදල් දී ලබා ගත්තේ. 

තාත්තා අපි ටික ටික ලොකු වෙනකොට ගල්ලැහැ පැදුරු ගමක් ගමක් ගානේ ගොස් එකතු කරලා නුවර පළාතට තොග වශයෙන් ගොස් අලෙවි කරලා එන්න පුරුදුව සිටියා. ඒකෙන් අතමිට සරුඋණා. ඒ කාලේ තාත්තා නුවර ගිහින් එනකොට අපි මග බලන් ඉඳලා තරගයට දුවලා යනවා ඉස්සරහට තාත්තාගේ අතේ එල්ලිලා එන්න. දැන් කාලේ වගේ පොලිතින් ෂොපින් බෑග් මොනවත් තිබුණේ නෑ. ළිංවල වතුරට ක්ලෝරීන් දැම්මේ නෑ. බඩගිනි හැදුණත් ළිඳේ වතුර කෝප්පයක් බිව්වම ඒක මගඇරිලා ගියා. තාත්තා මේ වෙනකොට කිසිම ලෙඩකට බෙහෙත් කරල්, පෙති භාවිතා කරලා නැහැ. මෑත කාලයේ නිතර කියවෙන පෙෂර්, කොලෙස්ටරෝල් සීනි ආදී රෝග තාත්තාට නෑ. අපේ තාත්තා තවමත් සිල් සමාදන් වෙනවා. තාත්තගේ පවුලේ සහෝදර සහෝදරියන් නව දෙනෙක් සිටියා. දැනටත් දෙන්නෙක් තවමත් ජීවත් වෙනවා. ඒ නැන්දලා දෙන්නා අවුරුදු හැත්තෑ නවය හා අසූ තුන්වන වයස්වල පසුවනවා”. 

“සංසාර ගමනෙදි බොහෝ දෙනා විවිධ ආත්මවල උප්පත්තිය ලබති. මිනිසත් බව ලබා ගත් ඇතැමෙක් පරම ආයුෂ ගෙවා සිය සංසාර ගමන අවසන් කරති. එවන් වූ මිනිසෙකුගේ කතා පුවතකින් දීර්ඝ ආයුෂ ලබන තවත් මිනිසෙක් ගැන හෙළිවිය. සියක් ආයු ලැබ තවත් දරු මුණුබුරන් දැක ගැනීමට ඔහුට වාසනා ගුණ මහිමය ලැබෙනු ඇත. එය එසේම ලැබේවායි යන්නද අපි ප‍්‍රාර්ථනා කරමු.  

කතාව හා සේයාරූ - අලුත්ගම තුසිත කුමාර ද සිල්වා