2017 ජුනි 23 වන සිකුරාදා

මල් මාවතේදී පෙම්වතා මරණය තෑගි කළා

 2017 ජුනි 23 වන සිකුරාදා, පෙ.ව. 06:02 131

පෙම්වතා විසින් සිදුකළ දරුණු පිහිපහරවලින් බරපතළ තුවාල ලැබූ පෙම්වතිය නුගේගොඩ පරණ කැස්බෑව පාර, සූරියමල් මාවතේ ඇළ අසළදී මැරෙන්නට දමා ඝාතනය සඳහා යොදාගත් පිහියත් රැගෙන එම පෙම්වතා ඉන් සුළු මොහොතකට පසුව පොලීසියට පැමිණ භාරවී තිබීමේ සිද්ධියක් පසුගිය සතියේ මාධ්‍යයේ පළවිය.

ප්‍රසාදිකා සංකල්පනී නව යොවුන් වියේ පටන් ඇහැට කනට පෙනෙන රුවින් යුක්ත වූවාය. මේ නිසාම තරුණ ගැටවුන්ගේ නිබඳ ආකෂණයට ලක්වූවාය. එසේ හාද වූ තරුණයකුගේ හිත දිනාගත් ඇය විවාහ දිවියට එළඹුණේ ඈට විසි වසරක් පිරෙන්නටත් මත්තෙනි. මතුගම, පහළ හේවිස්ස උපන් ගම වූ ඇය විවාහයෙන් පසුව සිය සැමියාගේ ගම් පළාත වූ අම්පාරට නුදුරු ප්‍රදේශයකට පදිංචියට ගියාය. ඇයට මව්පදවිය ලැබුණේ එහිදීය. දරුවා ටිකෙන් ටික වැඩෙන අතරතුර අඹුසැමි යුවළ අතර විවිධාකාර ගැටුම්ද වර්ධනය විය. දරුවාත් සැමියාත් අත්හැරි සිය උපන් නිවෙසට පැමිණ ජීවත් වන තරමට එම ආරවුල් උත්සන්න විය.

මේ වනවිට සිව් වසරක් පමණ විවාහ දිවිය ගතකර තිබූ ප්‍රසාදිකාට තනිකම පාළුව තදින්ම දැනෙන්නට විය. එය මඟහරවා ගන්නට විවිධ උත්සාහයන් ගත් අතර විවිධ පෙම්වතුන් ඇසුරු කිරීම එක් මාර්ගයක් විය. එය නොඅඩුවම ඇය සිදු කළාය. එක් දරුමවක වුවද කෙළිලොල් දිවියට හුරුවෙමින් සිටි ඇයගේ පාසල් ප්‍රේමය සිහිවන්නේ මේ අතරතුරය. 
අන්තර්ජාලයේ ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසි ඇය ටික දිනකින් ඇගේ පළමු පෙම්වතා හඳුනාගෙන නැවත ඔහු හා ඇඟෑලුම් පෑවේ හිතේ කිසිදු ගැටලුවක් නැති ආකාරයටය. අනතුරුව දුරකථනයෙන්ද අදහස් හුවමාරු කරගත් ඇයගේ මේ ඇසුරට වසරක් පමණ කල්ගත වී තිබුණි.

සිය පැරැණි පළමු පෙම්වතා සමඟ හාද වී සිටියද තම නිවසේම ගතකළ කාලය නීරස වූයෙන් ඇය පෙම්වතාට නිතර දෙවේලේ ඇවිටිලි කළේ තමා ළඟට ගෙන්වා ගන්නා ලෙසය. මහරගම නාවින්න කුෂන් වැඩපළක රැකියාවක නියුතු පෙම්වතා ඊට එකඟ වී ඇයට නුගේගොඩ ගම්සභා හන්දිය පිහිටි රූපලාවණ්‍යාගාරයක සහායිකාවක් වශයෙන් රැකියාවක් සොයා දුන්නේය. එතෙකින් නොනැවතී දෙල්කඳ ආසන්නයේ ස්ථානයක නවාතැන් ගන්නා කාමරයක් සොයාදීමටත් ඔහු උනන්දු විය.

මෙසේ ආදරයෙන් රැකබලා ගනිමින් සිටි පෙම්වතා හැකි හැම මොහොතේම ඇය සොයා පැමිණ දුකසැප සොයාබලන්නට පෙළැඹී සිටියේය. ඔහු සිය පෙම්වතිය අතිනත ගන්නා දිනය ගැන පවා සිහින මවන්නට ඇත. 
අවාසනාවකට තම පෙම්වතියගේ හදිසි වෙනස් වීම් රාශියක් නිරීක්ෂණය වූයේ මේ කාලසීමාවේදීය. විටෙක පෙම්වතියට ලබාගන්නා දුරකථන ඇමතුම් ඇය හිතාමතාම මඟහැරියා සේ ඔහුට දැනිණි. තවත් විටෙක ඇය පිටස්තර දුරකථන ඇමතුම්වලට සම්බන්ධ වී සිටියේ පෙම්වතා අමතක වූ විලාසයටය. මේ ආකාරයට ඇගේ දුරකථනය කාර්යයබහුලව තිබූ වාර ගණන අනන්තය. මේ අතර පෙම්වතාට පවසා තිබූ මුසා බස් රැසකි. එපමණක් ද නොව පෙම්වතා සොයාදුන් රැකියාවට සමුදී හෝමාගම ප්‍රදේශයෙන් වෙනත් රැකියාවක් සොයාගන්නටද ප්‍රසාදිකා කටයුතු කර තිබුණාය. ඒ බව රහසක් සේ සඟවා තබාගන්නට කටයුතු කළත් පෙම්වතාට ඒ බව අනාවරණය වී තිබුණි.

වටින් ගොඩින් මේ තොරතුරු දැනගත් පෙම්වතාට හෙළිවී ඇත්තේ තමා ඇසුරු කරන අතරතුර ඇය වෙනත් පෙම්වතකු ද ඇසුරු කර ඇති බවය. මේ සියල්ල ඇගෙන්ම අසා දැනගත යුතු බව සිතූ පෙම්වතා පෙම්වතියට පවසා තිබුණේ ඉකුත් දිනෙක සවස හමුවීමට එන බවය.

ඒ අනුව යතුරුපැදියේ පැමිණි පෙම්වතා විජේරාම හන්දියෙන් පෙම්වතිය යතුරුපැදියට නංවාගෙන පරණ කැස්බෑව පාරේ සූරියමල් මාවත දෙසට ගමන් කළේය. ඒ බොහෝ පෙම්වතුන් හමුවන පිට්ටනිය ආසන්නයටය.

එහිදී පෙම්වතාට ඇවැසි කාරණා පෙම්වතියගෙන් විමසා තිබිණි. මුලදී සියල්ල ප්‍රතික්ෂේප කළ ඇය පසුව ඒවා පිළිගත් බවද කියති. මේ සංවාදය අතරතුර දෙදෙනා තුළ බහින්බස් වීම් මතුවෙමින් තිබිණ. එකිනෙකාගේ වචන එකිනෙකා පරයා නැගී එමින් තිබිණ. සිදුවන බහින් බස් වීම දෙදෙනාට කෝපය කැන්දා තිබුණි.

ඉහවහා ගිය කෝපයෙන් ගිගුලූ පෙම්වතා මෙතෙක් වේලා සඟවාගෙන සිටි උල් පිහියක් අතට ගෙන පෙන්වා පෙම්වතියට තර්ජනය කළේය. එතෙකින් නොවැවතී පෙම්වතියගේ ගෙල පෙදෙස පිහි පහර රාශියක් එල්ල කළේ තව තවත් කේන්තිය ඉහ වහා ගිය පසුවය. ඉන් බේරෙන්නට දෑත් දිගු කළ ඇගේ අත්ල පසාරුකරගෙන පිහියා පාර එල්ල විය. පෙම්වතාගේ ග්‍රහණයෙන් මිදී පලායන්නට උත්සාහ කළ මොහොතේ එල්ල කළ පිහිපහර කීපයක් පෙම්වතියගේ තට්ටම් ප්‍රදේශයටත් කලවාවලටත් වැදී තිබුණි. මෙසේ බරපතළ තුවාල ලැබූ තරැණිය සිහිසුන්ව ඇදවැටුණු පසු එතැනින් නික්ම ගිය පෙම්වතා නැවතී තිබුණේ මිරිහාන පොලිසිය ඉදිරිපිටය.

“මගේ පෙම්වතියට පිහියෙන් ඇන්නා... සූරියමල් මාවතේ ඇළ ළඟ වැටිලා ඉන්නවා... මම පොලීසියට බාර වෙන්නයි ආවේ.”
මෙසේ කියමින් මිරිහාන පොලිස්ථානයට බාරවූ සැකකාර පෙම්වතා සිදුවීමට ලක්වූ පොලිස් බලප්‍රදේශය අනුව කොහුවල පොලීසිය වෙත බාර කරන්නට එම නිලධාරීහු කටයුතු කළහ. අනතුරුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් රමණි කුලරත්න මහත්මිය එතැනට පැමිණ සිද්ධිය පරීක්ෂාවට ලක්කළාය. වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කරන ලෙසට පොලීසියට නියෝග කළාය.

විසිපස් හැවිරිදි එක්දරු මවක වූ පෙම්වතිය ඝාතනය කිරීමට යොදාගත් පිහිය සමඟ පොලීසියට බාර වූ සැකකරු අත්අඩංගුවට ගත් කොහුවල පොලීසිය ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කළේය. කොහුවල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරිය මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සිරිවර්ධන මහතා ඇතුළු පිරිසක් විමර්ශන සිදුකරති.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00