2024 ජුලි 20 වන සෙනසුරාදා

ට්‍රම්ප්ට කනේ පහරක්

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 97
'තොටගමුවේ ඉපදිලාත් බණ බැරි නම් වැඩක් නැතැයි' කියමනක් අපේ ජනවහරේ එයි. තොටගමුව යනු, ෂඩ් භාෂා පරමේශ්වර, මහා කවින්ද්‍ර ශ්‍රී රාහුල මාහිමියන් වැඩ විසූ ග්‍රාමයයි. එහෙත් ඒ ගමේ උපන් පලියටම හැමෝටම ෂඩ් භාෂා තබා එක භාෂාවක් හරි හැටි උගැනීමේ හැකියාවවත් ලැබෙන්නේ ද නැත.
 
ඇමෙරිකාව යනු වෙඩික්කාරයන්ගෙන් පිරුණු රටකි. එහි හැම පුරවැසියකුටම සිය ආරක්ෂාව සඳහා තුවක්කුවක් තබාගැනීමට නීතියෙන් අවසර ඇත. එසේ හෙයින් 'ඇමෙරිකාවේ ඉපදිලාත් වෙඩි බැරි නම් වැඩක් නැතැයි' කියන්නට ද දැන් බැරිකමක් නැත.
 
ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට තැබූ වෙඩිල්ලක්, ඉලක්කය වැරදී කණ ළඟින් පියාඹා ගියේ මේ ඊයෙ පෙරේදාය.
 
ට්‍රම්ප්ගේ ජීවිතය බේරීම නම් සතුටට කාරණයකි. එහෙත්, වෙඩික්කරුට ඉලක්කය වැරදීම නම්, අමෙරිකා එක්සත් ජනපදයටම ලැජ්ජාවට කාරණයකැයි කෙනකුට සිතෙන්නට ඉඩ ඇත. කෙසේ වෙතත් ට්‍රම්ප් නම් කියා සිටින්නේ මෙය ඇමෙරිකානු ජනතාව එක්සත් කිරීමට සෑදුණු අවස්ථාවක් බවය.
 
ඇමෙරිකාවේ පාසල්වල, විශ්වවිද්‍යාලවල පවා, ඉඳහිට වෙඩි තැබීම් සිදුවේ. ඒ කිසිදු වෙඩික්කාරයකුට ශිෂ්‍යයකුට පවා ඉලක්කය වැරදුණු බවක් නම් අසන්නට නැත.
 
පාසල් වියේදී අප නැරඹූ ඇමෙරිකානු කව් බෝයි චිත්‍රපටවල පටන්ගත් වෙලේ සිට වෙඩි තැබීම්ය. ඒවායේ රඟපෑ (වෙඩි තැබූ) ජෝන් වේන්, ක්ලින්ට් ඊස්ට්වුඩ්, ලී වෑන් ක්ලිෆ් හා ගැරී කූපර් වැනි කිසිවකුට ඉලක්කය වැරදුණේ නැත.
 
සාර්ථක වෙඩික්කාරයකු වූ ක්ලින්ට් ඊස්ට්වුඩ්, 1986 දී කැලිෆෝනියාවේ කාර්මල් හි ආණ්ඩුකාර ධුරයටද පත් වූයේය. ඔහු රඟපෑ එක් චිත්‍රපටයක් වූයේ, The Good, the Bad and the Ugly' ය.
 
'හොඳට නරකට දෙකට කටමය' කියුම ඊස්ට්වුඩ්ටද ගැලපෙයි. රිපබ්ලිකන් පාක්ෂිකයකුව සිටි ඔහු, එක්වරම ඩිමොක්‍රටික් පක්ෂයට එක්වන්නට යන්නේ නිකම්ම නොවේ. ඔවුන් ගෙන ආ අවි සීමා කිරීමේ නීතියට තම සහයෝගය දක්වමිනි.
'ඔබ විසින් තුවක්කුව පාලනය නොකළහොත්, තුවක්කුව විසින් ඔබ පාලනය කරන දවසක්ද එනු ඇත' යන කියමන ද, ඊස්ට්වුඩ්ට බලපෑවා විය හැකිය. දැන් දැන්, ට්‍රම්ප්ටද එය හැඟෙනවාට සැක නැත.
සමහර මිනිසුන්ට යම් යම් දේ අවධාරණය කිරීමට, කනට පහරක් දිය යුතුය. තවත් සමහරුන්ට කනෙන් කෑල්ලක්ම යා යුතුය.
 
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වසය දැන් 78 කි. ජෝ බයිඩ්න්ට 81 කි.
 
බයිඩ්න්ට දැන් දැන් යම් යම් දේ අමතක වන බවත්, පැටලෙන බවත් පෙනී යයි. ඔහු මෑතකදී යුක්රේනියාවේ ජනපති, සෙලෙන්ස්කිට %පුටින්^ යැයි කියා සරදමට ලක් වූයේය. මේ හේතු කොටගෙන, බයිඩ්න් දැන් විශ්‍රාම ගත යුතු යැයි මතයක් ද ඇමෙරිකානු සමාජය තුළ පැතිර ගියේය. ඒ හා සබැඳි උපහාස කතාවකි මේ.
 
ජනාධිපති බයිඩ්න් හා මාධ්‍ය සාකච්ඡාවක යෙදී සිටි NBC හි මාධ්‍යවේදියෙක් මෙසේ ප්‍රශ්න කළේය.
 
'ට්‍රම්ප්ට වෙඩි තැබූ බවත් ඉන් ඔහුගේ කනක් තුවාල වූ බවත් අද දැනගන්නට ලැබුණා. ඒ පිළිබඳව ඔබේ අදහස?'
 
'ඉතාම කනගාටුදායක පුවතක්. එය ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට කැළලක්. මා ඔහුට මගේ ශෝකය පළ කර සිටිනවා.'
 
සාකච්ඡාව අවසානයේ, මාධ්‍යවේදියා ආපසු යාමට සූදානම් විය. බයිඩ්න් ඔහු ඇමතීය.
 
'පොඩ්ඩක් නවතින්න... කාටද අර වෙඩි තිබ්බ කියල කිව්වෙ?'
 
'ට්‍රම්ප්ට... ඩොනල්ඩ් ට්‍රම්ප්ට...'
 
මාධ්‍යවේදියා පුදුමයට පත්ව පිළිතුරු දුන්නේය. බයිඩ්න් නළල රුලි කරගෙන මෙසේ ඇසීය.
 
'කවුද ට්‍රම්ප් කියන්නෙ?'
දේශපාලනඥයන් අතර වැඩිහිටියන් මෙන්ම, හිටියා-වැඩි අය ද සිටිති.
බයිඩ්න්ගේ කායික හා මානසික සෞඛ්‍යය පිළිබඳව විවිධ මත පළවන අතර මාධ්‍යවේදියෙක් ඔහුගෙන් මෙසේ විමසා සිටියේය.
'ඔබ වෛද්‍ය පරීක්ෂණයකට ගියොත් නරකද?'
 
'ඇයි ඔබ මාව මල්ලවපොර තරගෙකට යවන්නද හදන්නෙ?'
බයිඩ්න් සිනාසුණේ තරුණයකු මෙනි.
 
උපහාසයට වයස් සීමාවක් නැත.
 
   
ඇමෙරිකාව තුළ අවි භාවිතය තහනම් කිරීමට පක්ෂව කටයුතු කළ සෙනෙට් සභිකයකුගෙන් මාධ්‍යවේදියෙක් මෙසේ ඇසීය.
'එතකොට මේ රටේ තියෙන තුවක්කුවලට මොකද කරන්නෙ?'
 
'අපිට පුළුවනි ඒවා, සංවර්ධනය වෙන රටවලට ආධාර වශයෙන් දෙන්න.'
 
'තුවක්කු සංස්කෘතියක්' (Gun culture) ඇත. 
 
එහෙත්, තුවක්කුවට සංස්කෘතියක් නැත. 
 
ස්වර්ගයේ දොරටුවෙහි මෙබඳු දැන්වීමක් ඇත.
'අවි රුගෙන ඇතුළට නොඑන්න.'
 
කපිල කුමාර කාලිංග
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00