2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

ඡන්ද කාලේ කවි කතා

 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 6
ඔබ මෙවර ‘හීසරය’ කියවන විට, ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන්ය. කවුරු ජයග්‍රාහකයා වුවත්, ඔහුට සුබ පැතීමට කැමැත්තෙමි. එහෙත්, සැබෑ මාධ්‍යවේදියා හැමවිටම සිටින්නේ විපක්ෂයේ බවද කිව යුතුය.
 
මෙවර ජනාධිපතිවරයා ජය ගන්නේ, ප්‍රතිවාදී අපේක්ෂකයන් 38 දෙනකු පරාජය කරමිනි. 2019 දී, අපේක්ෂකයන් 35 කි. මේ හැම දෙනාටම, ඡන්ද ලකුණු සොයා දීම ද, මැතිවරණ දෙපාර්තමේන්තුවට පැවරෙන රාජකාරියකි.
 
කලකට ඉහත, ප්‍රධාන පක්ෂ ලකුණු වූයේ, අලියා සහ අතය. අද වනවිට ඒ දෙකම නැත. කැපුවත් කොළ හෝ කැපුවත් නිල් කියාගත් ජනයා ද දක්නට නැත. අලුත් අලුත්, අමුතු අමුතු ඡන්ද ලකුණු පෙළගැසී ඇත. අලියා පිට නැගී සිටි දෙදෙනකුට ලැබුණේ දුරකථනයක් සහ ගෑස් ටැංකියකි. තව කෙනකුට මාලිමාවකි.
 
අපේ දේශපාලන ඉතිහාසයේ මුල් යුගයේ, ඡන්ද ලකුණු තිබුණේ නැත. අපේක්ෂකයන්ට ලැබුණේ වර්ණයකි. ඡන්ද පෙට්ටි ද එක් එක් වර්ණයෙනි.
 
1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග කළ, එච්.ආර්. ෆ්‍රීමන්, එංගලන්තයේ ඉපිද, ලංකාවේ සිවිල් නිලධාරියකු වශයෙන් කටයුතු කළ අයෙකි. ඔහුට ලැබුණු වර්ණය, කොළය. එකල, අද මෙන්, මහ සෙනඟක් රැස් කරවන ඡන්ද රැස්වීම් නැත.
 
ෆ්‍රීමන් මහතා, වැව් කණ්ඩියකට ගොඩවී, එහි සිටින ගම්මුන් අමතන්නේ, කොළ අතු කැබැල්ලක් ද අතැතිවය.
 
“මේ තමයි මගේ පාට. උඹලා, මේ කොළ පාට පෙට්ටියට ඡන්දය දැම්මොත්, මම කවුන්සිලේට යනවා. නැත්තං ගෙදර යනවා.”
 
ෆ්‍රීමන් ජය ගත්තේය. එක් වරක් නොව, තෙවරක්ම ජය ගත්තේය.
 
පාට පෙට්ටි වෙනුවට, අපේක්ෂකයනට ඡන්ද සලකුණු ක්‍රමය හඳුන්වා දීම ඇරැඹුණේ 1946 දීය. අලියා, අත, තරුව, යතුර, රෝදය වැනි ලකුණු ඒ අනුව, ජනප්‍රිය විය.
 
කවි කතාව ද, එකල ඡන්ද රැස්වීම්වල පැවති ජනප්‍රිය අංගයකි.
 
ප්‍රකට කවියකු වූ කේයස් නොහොත් සාගර පලන්සූරිය, 1956 දී මහජන එක්සත් පෙරමුණෙන්, හොරණ ආසනයට තරග කළේය. ඔහුට සහාය දුන්, බොරලැස්ගමුවේ පී.බී. අල්විස් පෙරේරා කියූ කවියකි මේ.
 
මෙදා පොටේ යූ.ඇන්.පිය පරදිනවා
 
කවුරුත් අතේ ලකුණට ඡන්දය දෙනවා
 
සාගර පලන්සූරිය යැව්වම දිනවා
 
මැති බණ්ඩාරනායක අගමැති වෙනවා
 
60 දශකයේ දී මහනුවර දිස්ත්‍රික්කයේ පැවති ශ්‍රී.ල.නි.ප. දේශපාලන රැස්වීම්වල ජනප්‍රිය කවිකතාකාරයෙක් වූයේ, මත්තේගම ඩී.ජී. ජිනදාස කවිසේකරය. සුදු, ජාතික ඇඳුමින් සැරසී, දෙඋර වටා සාටකයක් ද පැළඳ සිටි ඔහු, තැනට ඔබින ලෙස, හිටිවනම, රසවත් කවි කීමෙහි හපනෙකි.
 
1961 මහ මැතිවරණයේ දී, කුණ්ඩසාල ආසනයට ඉදිරිපත්ව සිටි, පාතදුම්බර – උඩගම්පන ගම් සභාපති, යූ.පී.වයි. ජිනදාස මහතාට ආචාර පිණිස, නත්තරන්පොත අරංගල හන්දියේ දී රැස්වීමක් පැවැත්වුණි. ඊට, ජිනදාස කවිසේකර මෙන්ම, ටී.බී. තෙන්නකෝන්ගේ පුත්, යසරත්න තෙන්නකෝන් ද, කවි කතා සඳහා ආරාධනා ලැබ සිටියහ.
 
එහිදී, කවිසේකර කියූ කවකි මේ.
 
රජයේ පොදු මුදල හැම පෙදෙසටම බෙදා
 
පාසල් පාරවල් පාලම් හොඳට හදා
 
ගැනුමට ඕනෙ නම් ඡන්දය මොළය යොදා
 
යූ.පී.වයි. නමට දුන මැන පිටත නොදා
 
කවි කොළය ද, ඡන්ද ව්‍යාපාරවල භාවිත වූ ජනප්‍රිය අංගයක් විය. ප්‍රතිවාදීන්ගේ නුගුණ කියමින් ඔවුන් උපහාසයට ලක් කරන අතරම, තම අපේක්ෂකයා ඔසවා තැබීම කවිකොළකාරයන්ගේ සිරිතය. 1936, රාජ්‍ය මන්ත්‍රණ සභාවට, ගාල්ල අසුනෙන් ඉදිරිපත් වූ ඩබ්. දහනායක වෙනුවෙන්, පබැඳුණු කවකි මේ.
 
ගොක් කොළයක් ඇද්ද තැනක
 
බෙර පදයක් ගැහුව තැනක
 
බණ පදයක් කිව්ව තැනක
 
දහනායක ඉඳියි කොනක
 
1947 දී, මතුගම ආසනයට තරග කළ හොරණ ශ්‍රීපාලියේ නිර්මාතෘ, විල්ටට් ඒ. පෙරේරාගේ ඡන්ද සලකුණ වූයේ ඇතාය.
 
පෙර රජවරුන් කාටත් සිටි මඟුල් ඇතා
 
මුනිඳුගෙ සිරි පතුලෙ මංගල ලකුණ ඇතා
 
දෙවියන් බුදුන් හට සේවය කරන ඇතා
 
මතුගම අසුන ජය ගන්නා ලකුණ ඇතා
 
දේශපාලන කවි කොළවල, වැනුම් මෙන්ම ඇනුම් බැණුම් ද පිරී ඇත. මේ එබඳු තැනකි.
 
රතු කොඩියයි - කහ කොඩියයි තරගෙට බැස්සා
 
සුවාරියා ආගම දා තපසට බැස්සා
 
සුං සුං සවාරියා - කිරිකිත්තා අමාරියා
 
යූත් ලීග් කාරයො දැන් ‘ඩයිවොස්’ ගන්නා
 
මූත් ලීග් එකේ ඉඳන් පවුල් නසන්නා
 
මැතිවරණ කොමසාරිස් ද, ඡන්ද කාලෙ, නැතුවම බැරි චරිතයකි. මුහුණුපොතේ, දක්නට ලැබුණු මේ කවිය එතුමා වෙනුවෙන් ලියැවුණකි.
 
එළිවෙන පාන්දර සරමත් කරට අරන්
 
එන්නට එපා මේ අසරණ මාව හොයන්
 
ඩිංගක් ඉවසගෙන ඉන්නට පුරුදු වෙයන්
 
ප්‍රතිඵල ලැබෙන්නෑ, පෙට්ටිය කඩපු ගමන්
 
කපිල කුමාර කාලිංග