2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ජාතික ලැයිස්තුවේ වාසනාව

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 125

පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමැතිවරු තිහක් පමණ, මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවන බව කල්තියා ප්‍රකාශ කර ඇත. ඒ අතර හිටපු ජනපතිවරුන්ද හතර දෙනෙකි. සමහරු, දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව කියති. තවත් සමහරු, නීතිඥ වෘත්තිය වැනි තම තමන්ගේ පරණ රස්සාවල්වලටම (work from home) යන බව කියති. මේ අතර, තව පිරිසක්, ඡන්දයට තරග නොකරම, ජාතික ලැයිස්තුවෙන්, මැතිසබයට යාමට බලාපොරොත්තු වෙති.

ජාතික ලැයිස්තු ක්‍රමයට පදනම් වූයේ, පරාජය වීමට නියමිත, දේශපාලනඥයන්ට පාර්ලිමේන්තු අසුනක් වෙන්කර තැබීමට නොවේ. දේශපාලනයට ඒමට නොකැමති (ඡන්දය ඉල්ලීමට) විවිධ වෘත්තිකයනට, උගතුනට, කලාකරුවනට හා සුළු ජාතිකයනට අවස්ථාවක් ලබා දීමටය. කලකට ඉහත, සෙනෙට් සභාව පැවතියේ ද එවැනි අරමුණකිනි.

නැවත මෙය ක්‍රියාත්මක වීම ඇරඹුණේ ජේ.ආර්. - ප්‍රේමදාස යුගයන්හිය.

ඇලෙක් රොබට්සන් වැනි, ගුවන්විදුලි ධර්ම දේශකයෙක් (ඉංග්‍රීසි මාධ්‍ය), ඩබ්ලිව්.ජේ. ප්‍රනාන්දු වැනි ආයුර්වේද වෛද්‍යවරයෙක් හා කාලිංග ඔබේවංශ වැනි රුහුණු නැටුම් ශිල්පියෙක්, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගියේ ඒ කාලයේය. එහෙත් ඔවුන් කියපු බණකුත් නැත. කරපු වෙදකමකුත් නැත. නටපු නැටුමකුත් නැත.

බොහෝ විට, ජාතික ලැයිස්තුව යොදා ගැනුණේ, තම හිතවතුනට, චාන්ස් එකක් දීමටය. කළගුණ සැලකීමටය. දේශපාලනඥයන්, පිල් මාරු කරන්නේ ද, ‘නැෂනල් ලිස්ට් ඩීල්’ එක ඉස්සර කරගෙනය. “කතිරෙන් බැරි නම් ලැයිස්තුවෙන්” යනු ඔවුන්ගේ මොටෝ (Moto) එකය.

225 ම එපා යැයි ජනතාව මුර ගා කියද්දීත්, පරණ සෙට් එකක්, පාර්ලිමේන්තුවට රිංගා ගන්නේ, ඒ ක්‍රමයටය. ඒ එසේ නම් ජාතික ලැයිස්තුවත් අහෝසි කළ යුතු යැයි නීතියක් ගෙන ආ යුතු යැයි ජන මතයක් නැගෙන්නට ඉඩ ඇත.
විශ්‍රාම යන්නේ, වැඩ කළ මිනිසුන්ය. කිසියම් සේවාවක යෙදී සිටි පුද්ගලයන්ය. එසේ නම්, කිසිම වැඩක් රාජකාරියක්, සේවාවක් නොකළ ඇතැම් දේශපාලනඥයන් විශ්‍රාම යනවා යැයි අඬගා කියන්නේ කෙසේද?

සිරි ලංකාව වැනි රටවල, දේශපාලනය යනු මහජන සේවාවක් නොව, රැකියාවකි. ඒ අර්ථයෙන් ගත් කල නම්, “පැන්ෂන් ගන්නවා” යැයි කිව හැකිය.

දේශපාලනයෙන් ඉවත් වන දේශපාලනඥයකු සමඟ, මාධ්‍යවේදියකු කළ සංවාදයක් සමාජ මාධ්‍ය ජාලයක, උපහාස තීරුවක පළ විය.

“ඔබතුමා, විශ්‍රාම ගියාට පස්සෙ, ජීවත් වෙන්න ආදායමක් තියෙනවද?”

“මගෙ නෝනට බියුටි සැලුන් එකක් තියෙනවා. ලොකු පුතාට ජිම් එකක් තියෙනවා. පොඩි පුතාට හෝටලයක් තියෙනවා. දුව පිටරට එම්බසියක සෙකට්‍රි කෙනෙක්.”

“ඔබතුමා මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?”

“මම මගේ ජීවිත කතාව ලියන්නයි හිතං ඉන්නෙ.”

“ඔබතුමාට ලේඛන කුසලතාව තියෙනවද?”

“මගෙ මාධ්‍ය ලේකම්නෙ ලියන්නෙ. මං පත්තරේට ලියපු තීරු ලිපිය ලිව්වෙත් මිනිහනෙ.. ඒකට සම්මානයක් හම්බවුණා.”

“ඔබතුමාගෙ ජීවිතේ හැම දෙයක්ම, පොතට ඇතුළත් කරනවද?”

“පිස්සු කතා කරනවද අයිසෙ. එතකොට පොත තහනම් කරයි. නැත්තං මට නඩු දායි.”

මෙයින් පැහැදිලි වන්නේ, සමහරුන්ගේ ජීවිත කතා ද, සත්‍ය කතා නොව, ප්‍රබන්ධ කතා බවය. ජීවිත කාලයම බොරුවෙන් ගත කළ පුද්ගලයන්ට, ජීවිත කතාවේදී පමණක් සත්‍යගරුක විය නොහැකිය. මගේ අදහසක් හැටියට නම්, දේශපාලනඥයකුගේ ජීවිත කතාව ලිවිය යුත්තේ ඔහු විසින් නොවේ. ඡන්දදායකයකු විසිනි. එහෙත් කිසිදු ඡන්දදායකයකු ඊට පෙළඹෙනු නැත. ඒ, ඔවුන් තම ජීවිතයට ආදරය කරන බැවිනි.

ලෝකයේ, විශ්‍රාමික ජනාධිපතිවරු, අගමැතිවරු, ඉන්පසු විවිධ සමාජ සේවා කටයුතුවල යෙදෙති. ලෝක සාමය උදෙසා සංවිධානගතව, යුද්ධයන් පවතින රටවල් හා සාකච්ඡා කරති.

එබඳු එක් සමුළුවකදී, සිරි ලංකාව බංකොලොත් වීම ගැන ද සාකච්ඡා කෙරුණි.

“අපි ලංකාවට මුදලින් ආධාර කරමු.”

හිටපු ජනපති ඔබාමා කීය. සියල්ලෝම ඊට එකඟ වූහ. උගන්ඩාවේ හිටපු ජනාධිපති නැගිට්ටේය.

“මට පුළුවන් අපේ රටේ තියෙන, සිරි ලංකාවේ මුදල්, ආපහු ඒ රටටම දෙන්න.”

“මටත් පුළුවන් අපේ බැංකුවල තියෙන ලංකාවේ සල්ලි ටික අරන් දෙන්න.”

සීෂෙල්ස්හි හිටපු ජනාධිපති ද කීය.

කෙමෙන්, සියලුම ජනාධිපතිවරු, තම තම රටවල සඟවා ඇති සිරි ලංකා මුදල් ආපසු දීමට එකඟ වූහ.

“බලාගෙන ගියාම, ලංකාව බංකොලොත් නෑනෙ. හැම තැනම සල්ලිනෙ.”

ඔබාමා පුදුමය පළ කළේය.

“ලංකාව කියන රට බංකොලොත් වුණාට, රටේ හිටපු පාලකයෝ බංකොලොත් වුණේ නෑ.”

කවුදෝ එසේ කියනු ඇසුණි.

• කපිල කුමාර කාලිංග