2017 ජුලි 01 වන සෙනසුරාදා

අඟහරු හතේනම් කසාදය කම්බස්ද?

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 2833

ජේ‍යාතිෂවේදයේ අඟහරු ග්‍රහයා හෙවත් කුජ ග්‍රහයා පිළිබඳව බොහෝ දෙනා තුළ ඇත්තේ වැරදි මතයකි. විශේෂයෙන් විවාහයේදී අඟහරු ග්‍රහයා හත්වැනි කොටුවේ සිටීමෙන් විවාහයට බොහෝ බාධක ගෙන දෙන මතයයි. බොහෝ දෙනා තුළ පවතින්නේ. නමුත් මේ පිළිබඳව කළ විමසුකදී බොහෝ දෙනා තුළ පැවති ඒ මතය කොයිතරම් නම් දුරකට වැරදි මතයක්දැයි ඔබටම විමසා බැලීමට පුළුවනි. මේ පිළිබඳව ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා හා කළ සාකච්ඡාවකි මේ. 

අඟහරු කියන්නේ ලොක්කෙක්. අඟහරු හෙවත් කුජගේ ස්වරූපය ගත්තොත් ග්‍රහ තාරකා වලින් ප්‍රථිවියට සමාන ගතිගුණ ඇති එකම ග්‍රහතරුව ලෙස හඳුන්වා දෙන්න පුළුවනි. මේ බව වර්තමාන විද්‍යාත්මක පරීක්ෂණවලින්ද අනාවරණය වෙමින් පවතිනවා. නමුත් මේ සම්බන්ධව ජ්‍යොතිෂය ඊට කලින් සඳහන් කර තිබෙනවා. සෙන්පතියකු ලෙස ජ්‍යොතිෂ්‍යයේ හඳුන්වන කුජ මගින් උත්සහය නිර්භීතකම, ඉදිරියට යන ගතිය, තේජවන්තකම සහ සටන්කාමීත්වය පිළිඹිඹු කරනවා. දැඩි සිරුරක් ඇති බොහෝ ක්‍රියාශීලී රතු වස්ත්‍ර ප්‍රිය කරන තරුණ ගතිවලින් යුතු කාමුක තරමක වැඩි පුරුෂ දිගුවන් නෙත් ඇති ඔටුන්නක් හිස පැළඳි රූපයක් ලෙස ජ්‍යොතිෂවේදයේ හඳුන්වා තිබෙනවා.
කසාදයට අඟහරු තීරණාත්මකයි

මිනිස් ජීවිතේ වටිනාම සම්පතක් ලෙස විවාහය හඳුන්වන්නට පුළුවනි. මෙම වටිනාම සම්පතට බාධා ඇතිකරන ප්‍රධාන ග්‍රහයා ලෙසින් මෙම භූමි පුත්ත ලෙසින් හඳුන්වන කුජ ග්‍රහයා හැඳින්විය හැකියි.

අඟහරු 7ට එන්නේ පෙර පව් හින්දද?

ජ්‍යොතිෂයේ සඳහන් වනුයේ අපි පෙර කළ කුසල් අකුසල් මේ ආත්මයේදී පටිසන් දෙන බවයි. යම් යම් කරදරවලට පත් වෙනවානම් අපි අවිවාහකව ජීවිත කාලයම සිටීනම් එයම පෙර කුසල් අකුසල් බලපානවා. විවාහය යනු වටිනාම සම්පත්තියක්. ඒ සම්පත්තිය අපහට හිමිකර ගැනීමට නොහැකි නම් එයින් ඈත් වන්නේ පෙර ආත්මයේ ඒ සම්බන්ධව කවර හෝ බාධාවක් ඇතිවී ඇති බවයි. අද වෙද්දී ඇතැමුන් පොල් අතු පැලක ඉපදීම ලැබුවත් විවාහය බොහෝ වාසනාවන්ත කෙනෙකු මුණගැසූ විවාහ දිවිය මඟින් ලැබිය හැකි ඉහළම සැප සම්පත් ලබයි. සුන්දර ජීවිතයක් මෙන්ම යාන වාහන ගෙවල් දොරවල් ලබයි. එය විවාහය පදනම් කරගෙන ඇතිවූ තත්ත්වයක්. එයට පෙර කළ කුසල් අකුසල් මේ ආත්මයේදී පරිසන් දීමයි. 

කේන්දරයේ විවාහ දෝෂයක්ද? දැනගන්නේ කොහොමද?

කෙනෙකුගේ කේන්දරයේ විවාහ දෝෂ ගෙනදෙන ස්ථාන හයක් පෙන්නුම් කෙරෙනවා. එනම් ලග්නය, දෙවැන්න, හතරවැන්න, හත්වැන්න, අටවැන්න සහ දොළොස්වැන්න. කේන්දරයේ කොටු දොලහෙන් හයක්ම විවාහයට බාධා ගෙන දෙනු ලබන ස්ථානයි. කේන්දරේ කොටු දොලහෙන් බාධාවක් විවාහයට බාධා දෙනු ලබන ස්ථානයක් වෙනවා. මේ අතර බාධා ගෙන එනු ලබන ග්‍රහයන් පස්දෙනෙකු සිටිනවා. එනම් අඟහරු හෙවත් කුජ, සෙනසුරු හෙවත් ශනි, රාහු, කේතු වේ. විවාහක බාධා හයෙන් ප්‍රධාන බාධක ස්ථාන තුනක් සඳහන් කළ හැකියි. එනම් ලග්න කොටුව, හත්වන කොටුව, අටවන කොටුවයි.

අඟහරු හතේනම් කසාද බදින්න ඕනෙත් අඟහරු හතේ කෙනෙක්මද?

මෙහෙමයි කේන්දරයේ කුජ හතේ කිව්වට ඒ කුජ හත ඉන්න ස්වරූපය අනුව එය වෙනස් වෙනවා. කුජ සිටින්නේ උච්චවදැයි, ස්වක්ෂේත්‍රවදැයි, මූලත්‍රිකෝණවදැයි, සතුරැවද සහ නීචවදැයි පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. මකර ලග්න කේන්ද්‍රරයක කුජ හත සිටීදැයි සිතන්න. එවිට හත කටක රාශිය වී නීචව සිටියි. එවැනි කේන්දරයක විවාහයට තදබල දෝෂයකට මුහුණපෑමට සිදුවේ. එය වැළැක්වීම ලේසි පහසු කටයුත්තක් නොවේ. මකර ලග්නයින්ගේ හත්වැන්න කටක රාශිය වෙන අතර ජීවිතේ මොන සැපසම්පත් තිබුණත් එවැන්නක් විවාහය පැත්තෙන් බොහෝ කම්කටොළුවලට මුහුණ පානවා. කුජ ග්‍රහයා හත්වැන්නේ ඉන්න ස්වරූපය අනුව ඒ තත්ත්වයන් වෙනස් වෙනවා.

අඟහරු හතේ ඉන්න කෙනෙක් බැන්දොත් මරණය ඉක්මන් වෙනවාද?

ඒක වඩාත්ම බලපාන්නේ කුජ හතට කුජ අටටය. අට වැන්න යානුවෙන් හඳුනවන්නේ මාරකස්ථානයයි. අටවැන්න ආයුෂ ස්ථානය ලෙසත් හඳුන්වනවා. පුරුෂ කේන්දරයට තමන්ගේ භාර්යාව යනුවෙන් හඳුන්වන්නේ අට වැනි කොටුවේ ස්ත්‍රී කේන්දරයේ තමන්ගේ ස්වාමි පුරුෂාය ගැන කියවෙන්නේ කේන්දරයේ අට වැනි කොටුවෙන්. ඒ නිසා කුජ අට සිටීමෙන් මාරක කතා මාරක අනතුරු කියවුණත් කාන්තා කේන්දරයෙන් ස්වාමි පුරුෂයා මිය යන්නටත් ස්වාමි පුරුෂයාගේ කේන්දරයකින් බිරිඳ මරන්න, මැරෙන්න වැනි දෙයක් කුජ අටේ සිටීමෙන්ම සිදුවන්නේ නැහැ. ඒ සඳහා තව තවත් අසුභදායී දරුණු ගණයේ ග්‍රහ දුෂ්ඨින් අටවැන්නට යොමුව සිටිය යුතුයි. අද බොහෝ දෙනෙක් මේ ගැන කතා කළාට බොහෝ දෙනෙක් බියක් දැක්වුවාට බොහෝමයක්ම කලාතුරකින් තමයි මෙවැනි යෝගයන් යොමුවන්නේ. ඒ නිසා ඒ ගැන බියක් ඇතිවිය යුතු නැහැ.

අඟහරුත් හතේ... හතර කේන්දරයත් පාළුයි... එහෙම කෙනෙක් බැන්දොත්...?

හතර කේන්දරය කියන්නේ පළවෙනි කොටුව, හතරවෙනි කොටුව, හත්වෙනි කොටුව සහ දහවැනි කොටුවයි. හතර කේන්දරය පාළු වුණාට හතර කේන්ද්‍රස්ථාන අධිපති සියලු ලැබීම් පිළිබඳ එකොළොස්වැන්නේ වගේම පස්වැන්න සහ නව වැන්න යන ත්‍රිකෝණස්ථානවල සිටීනම් හතර කේන්දර අධිපති කොහේ හෝ බලගතුව උච්චව ස්වස්ෂේත්‍රව, මූලත්‍රිකෝණව සිටීනම් එය පිළිබඳ කිසිඳු බියක් ඇති කරගත යුතු නෑ. ජ්‍යොතිෂවේදයට අනුව මේ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් හතර කේන්දරය පාළු වුණත් ඉතා දියුණුවට පත්වුණු අවස්ථා අනන්තවත් තියෙනවා. එවැනි අයට විවාහයේදී වුණත් අනිකුත් ග්‍රහයන්ගේ පිහිටීම අනුව සාර්ථක විවාහ ජීවිත ගතකරන අය බොහෝමයක් සිටිනවා. නමුත් හතර කේන්ද්‍රයේ ස්ථානාධිපති මේ කොටු දොළහේ කොහේ හෝ බලගතුව සිටීනම් ඒ අය රටේ විශ්මකර්ම අය බවට පත්වෙනවා. මහ බලවතුන්, ලොකු දේශපාලනඥයින් බවට පත්වූ අයුරු අපිට දැකගැනීමට පුළුවන්.

අඟහරු හතේ කේන්දරයකට ගැලපෙනම කේන්දරය?

ඒක මුලින් සඳහන් කර පරිදි වෙනස් වෙනවා. අඟහරු හතේ කේන්දරයක් විවාහවිමට බාධාවක් නොවේ. නමුත් ඒ සඳහා සුදුසු කේන්දරයක් තෝරාගත යුතුයි. කටක ලග්නයේ හත්වැන්න මකර රාශිය වේ. මකර රාශිය අඟහරුට උච්ච රාශියක් වේ. එය ඉතා බලගතු රාශියකි. එවැනි විවාහ ජීවිතයකට බොහෝ සැප සම්පත් ලැබී දියුණුවට පත්වීමට ඉඩකඩ ඇත. එමෙන්ම තුලා ලග්නකරුවන්ගේ හත්වැන්න මේෂ රාශිය වේ. මේෂ රාශියේ කුජ ගෙවත් අඟහරු මූලත්‍රිකෝණ සහ ස්වක්ෂේත්‍ර බලයෙන් සිටී. ඔවුන්ටද විවාහයෙන් සතුටුදායක තත්ත්වය ඇතිවිය හැකියි. එමෙන්ම වෘෂභ ලග්නකරුවන්ගේ හත්වැන්න වෘශ්චික රාශිය වේ. එහි අඟහරු ස්වක්ෂේත්‍ර බලයෙන් සිටී. මේ නිසා අඟහරු හතේ කේන්දරය විවාහ වෙද්දී ඉතා පරිස්සමට කේන්දර ගැලපීමක් කළ යුතු අතර ඒ අනුව විවාහ වුණ කේන්දරකරුවන්ට විවාහ ජීවිතය සාර්ථකව ගෙන යාමටද පුළුවනි.

අඟහරුට වත් පිළිවෙත්?

අඟහරු හෙයත් කුජ වෙනුවෙන් ශ්‍රී ස්කන්ධ කුමරු කතරගම දිව්‍ය රාජයා අපගේ මතකයට එකවරම නැගෙනවා. අඟහරු හෙවත් කුජට අයත් ප්‍රධාන දෙවිදුන් වන්නේ කතරගම දෙවිදුන්ය. එම නිසා ස්කන්ධ කුමාර නම් යන්ත්‍රය නිසි පරිදි පැලදීමෙන් සැනසීමක් සහනයක් ළඟාකරගැනීමට හැකියි.

මේ සඳහා ග්‍රහදාන ලෙසින් කොරල්, තිරිඟු, රන්, තඹ, පරිප්පු වලින් සාදන ලද කෑම අරලිය මල්, සීනි ඉතා රතු රෙදි දන්දීමෙන් අපල දුරුකර ගැනීමට හැකිවෙනවා. 

මේ සඳහා ස්නානයට බෙලි, සුදුහඳුන්, බැබිල, කනේරු මල්, පෙරුම්කායම්, රුක්මල්, මූණමල්, ජටාමාංස තැම්බූ වතුර වලින් ස්නානය කරන්න.

කතරගම දෙවිදුන් වෙනුවෙන් කනේරුමල්, සියලුම රතු මල් පූජා කරන්න. මේ සඳහා පැළඳිය යුතු ලෝහය ලෙස තඹද, කොලොන් වෘක්ෂයට සාත්තු කිරීම, අවතේව කිරීම සහ ස්පර්ශ කිරීම මගින් කුජගේ අපල දුරුවේ. ස්කන්ධ කුමාර යන්ත්‍රය මෙන්ම අභිසම්බිදාන යන්ත්‍රද පැළඳිය හැක.

♦ දිශානි ජයමාලි කරුණාරත්න