මීතොටමුල්ලේ ඛේදවාචකයට මාස තුනක් සපිරෙන්නට වඩාත් ආසන්න මොහොතක අප මීතොටමුල්ල බලා පිටත්වූයේ එහි වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු සොයා බලන්නටය. පසුගිය අප්‍රේල් මාසයේ අපි එහි යනවිට කැඩීබිඳී ගිය නිවාස, සුන්බන් අතර හිරවූ තම නෑසියන් සොයන, මියගිය ඥාතීන් වෙනුවෙන් විලාප දෙන පිරිස් එම ප්‍රදේශයේ බහුල වූ අතර අද එහි රජකරන්නේ දරාගත නොහැකි තරම් වූ පාළු ස්භාවයකි. මිනිසුන් එකා දෙන්නා ගැවසුණද ඔවුන් ද පැමිණ සිටියේ මඳ වේලාවකට පමණි. නිවාස දේපොළ අහිමි වූ පිරිස් පමණක්ම නොව අවදානම් කලාපයේ සිටි පිරිස් ද ප්‍රදේශය හැරගොස්ය. මෙහි රැඳීසිටි කිහිපදෙනා අතරින් අපට වඩාත් හුරුපුරුදු මුහුණක් ද දැකගත හැකිවිය. ඔහු නමින් රසිකය. පසුගියදා සිදුවූ ව්‍යසනයේදී රසික මහතාගේ ආදරණීය බිරිඳ, පියාණන්සේම දියණිය ද ජීවිතයෙන් සමුගත්හ. ඔහුට ඉතිරි වූයේ සිය මවත් පුතුන් දෙදෙනාත් පමණි.
“අපිට ලොකු අසාධාරණයක් වුණේ. මට ඇත්තටම මේ කතා කරන්න කැමතිත් නෑ. මොකද කොච්චර කතාකළත් අපිට නැතිවුණ දේවල් ආයෙත් හම්බවෙන්නේ නැහැනෙ. කතා කරන්න හිතේ දුක වැඩිවෙනවා විතරයි. මට තට්ටු නිවාසවලින් ගෙයක් හම්බුවුණා. මම එතෙන්ට ගියේ මගේ දරුවෝ දෙන්නා නිසා. නැත්නම් මට ඔය කිසිම දේකින් වැඩක් නෑ.”
ජීවිතයේ බලාපොරොත්තු සියල්ල සුන්වී තිබියදී ඔහු අද ජීවිත්වන්නේ තම දරුවන් වෙනුවෙනි. අද මීතොටමුල්ලේ ඛේදවාචකයේ ආපදාවට ලක්වූවන් මුහුණදෙන තත්ත්වය සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් පැවසූයේ මෙවන් අදවසකි.
“අපි හොඳ ගෙවල්වල බොහොම නිදහසේ කාටවත් කරදරයක් නැතිව ජීවත් වුණු මිනිස්සු. අපි මුල ඉඳලම ඉල්ලුවේ මේ කුණු කන්ද මෙතනින් අයින් කරන්න කියලයි. නමුත් ඒක කළේ නෑ. අන්තිමට ලොකු විනාශයක් සිද්ධ වුණා. ඒ වෙනකන්ම රජයේ ඇස් ඇරුණේ නෑ. අපිට ලබාදීපු තට්ටු ගෙවල්වල ජීවත් වෙන්න අමාරුයි. ඉඩ පහසුකම් නෑ. රජය ඒ ගෙවල්වලට වටිනාකම් ලක්ෂ 40ක් දාලා. අපේ ගෙදර තට්ටු දෙකේ ගෙදරක්. ඒ ගෙදරටවත් එහෙම වටිනාකමක් දාලා නෑ. ඒක අසාධාරණයිනෙ. අපි ඒකට අභියාචනාවක් ඉදිරිපත් කරනවා. අපිට රජයෙන් ගෙයක් දුන්නා. ලක්ෂ දෙකහමාරක් දුන්නා. ඊට පස්සේ අද වෙනකම් කිසිම සහනයක් දුන්නේ නෑ. මරික්කාර් මහත්තයා මැරුණ හැමකෙනෙක් වෙනුවෙන්ම ලක්ෂ එකහමාරක් ගානේ දුන්නා. මේ සිද්ධිය නිසා මගේ ගෙදර ජීවිත තුනක් නැති වුණා. වන්දියක් නෑ මට. ඒත් බිරිඳ, දරුවට ඉල්ලන්න වුවමනාවක් නෑ මට. ඒත් මේ අපේ ජිවිතවලට බලෙන් දැම්ම කරදර අවශ්‍ය වෙලාවට රජය හරියට ක්‍රියාත්මක වුණානම් මෙහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. දැන් අපේ පවුලේ අයගේ තුන් මාසේ දානේ එනවා. අපි ඒ දේවල් කරන්න ඕනේ. ඉතින් අපි කියන්නේ රජය මේ මිනිස්සු වෙනුවෙන් මීට වඩා දෙයක් කරන්න ඕනේ කියලයි.
පසුගිය දවස්වල මේ ගෙවල්වල වටිනාකම් තක්සේරු කරද්දී මේවා පැල්පත් ගාණට දාලා තමයි තක්සේරු කරලා තියෙන්නේ. මේ ගොල්ලො හදන්නේ අපිට තට්ටු ගෙවල්වලටම කොටුකරන්නයි. මම වෙල්ඩින් වැඩ කළේ. මම ගෙදරමයි වැඩ කළේ. මගේ ලක්ෂ දෙකහමාරක විතර බඩුත් නැතිවුණා. දැන් මේ යාළුවා ළඟට ඇවිල්ලා හයර්එකට බඩු අරගෙන තමයි වැඩ කරගෙන යන්නේ.
ඇත්තටම දැන් මේවා ගැන කතාකරලා තේරැමක් නෑ. අන්තිමට වුණේ අපි අසරණ වුණඑක විතරයි. මෙතනදී අපි දොස් කියන්නේ රජයට. රජයයි, මේවා පාලනය කරපු මිනිස්සුයි අපේ මිනීවලට වගකියන්න ඕනේ. මෙතැන අවදානමක් තිබුණා. කොළඹ නගර සභාවෙන් ඇවිල්ලා මේවා බැලුවා. අපි කිව්වා අපිට හරියට වටිනවාකමක් දෙන්න අපි යනවා කියලා. එතකොට කිව්වේ ප්ලැට්එක විතරයි දෙන්නෙ මේවා අනවසර ඉඩම් කියලයි. මේවා අනවසර ඉඩම් නෙමෙයි ප්‍රේමදාස මහත්තයා මේවට ඔප්පු දුන්නා. මේක අපේ උපන් ගම. මේ රාහුල ඉස්කෝලෙ තමයි මම ගියේ. අද ඒ ඉස්කෝලෙත් වහලා. ඒ කුණු කන්ද නිසා. මෙතන කුණු කන්ද තිබුණේ නෑ. අපි හිටිය තැනට තමයි මේ මිනිස්සු කුණු කන්දක් ගෙනත් දැම්මේ. ඒකයි මේවගේ විනාශයක් වුණේ. අපි ඇත්තටම මනුස්සයෙක්ට හෙණ ඉල්ලන්නේ නෑ. නමුත් මේ වගේ දෙයක් කළාම අපේ හිතෙන් නිකම්ම ඒ දේ ඉල්ලනවා.
මෙහිදී හමුවූ නාලක මහතා ද අපි සමඟ පැවසූයේ මේ සම්බන්ධයෙන් කොතරම් සටන් කළද අවසානයේ කුණු කන්ද කඩාවැටෙන තුරුම රජය ඒ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බවයි. ඔහු වැඩිදුරටත් පැවසූයේ කුණු කඩාවැටීමට දින කිහිපයකට උඩදී කුණු කන්දෙන් ගඳ නොදැනෙන්න කිසියම් රසායනික ද්‍රව්‍යයක් ඉසීමෙන් අනතුරුව ගෙවල් පුපුරා ගිය බවත්, ඉන් අනතුරුව මේ විනාශය සිදුවූ බවත්ය.
දහම් පුරයේ තවත් පදිංචිකරුවකු වන චමින්ද මහතා දේශයට අදහස් ඉදිරිපත් කළ අතර ඔහු පැවසූයේ ආපදාවට ලක්වූ නිවාස සඳහා තක්සේරු කරඇති මුදල කිසිදු ලෙසින් ප්‍රමාණවත් නොවන බවයි.
අපට සිද්ධ වුණේ මහ විශාල අසාධාරණයක්
හොඳ ගෙවල් හදාගෙන හිටපු සමහර අයට දීලා තියෙන්නේ ලක්ෂ 9යි. ඉතින් ලක්ෂ 9කට කොහෙහරි ගෙයක් ගන්න පුළුවන් ද? ඉඩමක් ගත්තත් අත්තිවාරමටම කීයක් යනවද? ඊට පස්සේ ඒ ගෙවල් හදලා කපරාරු කරලා ඔක්කොම වැඩකරලා ඉවරවෙනකොට ලක්ෂ 50 – 60 යනවා. මේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැද්ද මේක. මිනිස්සු මේ ගෙවල් හදාගෙන තියෙන්නේ ගොඩාක් දුක්මහන්සි වෙලා. කුණු කන්ද මේ විදිහට එයි කියලා ඒ මිනිස්සු දැනගෙන හිටියේ නැහැනෙ. දැන් ඔය ලක්ෂ 9ක් අරන් ඔය මිනිස්සු කොහෙ යන්නද?
ප්ලැට් එකේ වටිනාකම ලක්ෂ 40 කියලා අපිට කියන්නේ. ඒ ඒගොල්ලෝ ඒක දෙන හින්දා. ඒත් ඔය ප්ලැට් එකක නියම වටිනාකම ලක්ෂ 15යි. මට මේ කොළොන්නාවේ පර්චස් හතරකට වැඩිය තිබුණා. ඒ නිසා ගෙවල් ඔය ප්ලැට්වලට වඩා වටිනවා. විපතට පත්වුණ හැමදෙනාටම ප්ලට් එකයි ලක්ෂ දෙකහමාරයි දෙන්න කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා. ඒත් පවුල් පහකට ඒක දීලා නෑ. ඇයි පවුල් පහකට දීලා නැත්තේ. බෙදනකොට එක හැන්දෙන්මනේ බෙදන්න ඕනේ. මම ඉන්නේ 11 වෙනි තට්ටුවේ. ඉතින් ඔය ජනෙල්වලට එහෙම ආවරණයක් තියෙන්න ඕනනේ. මොකද අපේ ළමයින්ට ප්ලැට්වල හිටියේ නැහැනේ. නිකන් හරි ජනේලෙන් පහළ බලන්න ගිහින් අනතුරක් වුණොත් කවුද ඒකට වගකියන්නේ. ඉතින් අපිට ඒවා හදාගන්න විදියක් නෑ. අනික මේ අය ගෙවල් තමයි තක්සේරු කරලා තියෙන්නේ. ඉඩම් පස්සේ තක්සේරු කරනවා කියනවා. නමුත් ඉඩම තක්සේරුවක් වෙන්නෙ නෑ. ඔය දෙනහැමදෙයම තමයි ඔය දුන්නේ. අපිට ලක්ෂ දෙකහමාර දුන්නේ නැත්තෙත් ඒකයි”.
ගෙවල් තක්සෙරු කළේ පැල්පත් ගාණට දාලා
මීතොටමුල්ලේ විපතට පත් ජනතාව අද වනවිට මුහුණ දෙන ගැටලුවල නිමක් නැත. ඔවුන්ට සිදුවන අසාධාරණකම්ද නිමක් නැහැ. එදා පටන්ම මීතොටමුල්ලේ කුණු කන්ද ඉවත් කිරීමෙහිලා කඳුලු ගෑස් කමින්, ඔළුපලා ගනිමින් සටන් කළ මහත්වරුන්ගේ සටන්ද තවමත් නිමාවක් නැහැ. ඔවුන් දැන් සටන් කරන්නේ ආපදාවට පත් ජනතාවට සහන සදන්නටය. මේ සටනෙහි ප්‍රමුඛයෙකු වන කුණු කන්දට එරෙහි ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා මහතා දේශය හමුවේ දැක්වූයේ මෙවන් අදහසකි.
ජීවිත විනාශ වුණු අයට තවම රජයෙන් කිසිම වන්දියක් ගෙව්වේ නෑ. නමුත් මරික්කාරි මන්ත්‍රීතුමා ඔහුගේ පෞද්ගලික මැදිහත් වීමෙන් හැම මරණයකටම ලක්ෂ එකහමාර ගණනනේ ලබාදුන්නා. පූර්ණ නිවාස හානි හා අර්ධ නිවාස හානිවලටත් රජයේ තක්සේරු මුදල ඉදිරිපත් කළා. එය වර්ග අඩියකට බොහොම සුළු ගණනක් තමයි දාලා තියෙන්නේ. මට නම් වර්ග අඩියකට රුපියල් 4000ක් වගේ වැටෙන්න තිබුණා. ටයිල් කරපු තට්ටු දෙකේ මගේ ගෙවල් තුනක් තිබුණා. සමහර අයට ලක්ෂ 9, 13 වැනි ප්‍රමාණ දීලා තියෙනවා. නමුත් මෙම මුදල එම නිවාස අනුව ප්‍රමාණවත් නෑ. මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් කොළොන්නාව කුණු කන්ද එරෙහි ජනතා ව්‍යාපාරයේ සංවිධායක නුවන් බොපගේ මහතා පැවසූවේ. නිවාස සඳහා තක්සේරු මුදලත් තීන්දු කළේද ඒ සම්බන්ධයෙන් කිසිවකු සෑහීමකට පත්නොවන බවයි. එසේම මේ මීතොටමුල්ලේ විපතට පත්වූ ජනතාව වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටුකළ කවිධජ ස්වාමීන් වහන්සේගෙන් අප අදහස් විමසීමක් කළ අතර උන්වහන්සේ පැවසූයේ විපතට පත්වූවන්ට යම් ආකාරයකින් සහන ලබාදුන්න ද වී ගබඩාවේ ජීවත් වන පවුල් හයක් බොහොම අසීරුවෙන් ජීවත් වන බවයි. උන්වහන්සේ වැඩිදුරටත් පැවසූවේ මෙම පවුල් සඳහා ලබාදුන් විදුලි පහසුකම් මෙන්ම ජල පහසුකම් ද මේ වනවිට නවතාදමා ඇති බවයි.
♦ හේමමාලා කුමාරි රාජකරුණා
සේයාරූ සුමුදු හේවාපතිරණ