විටෙක කාෂ්ඨක දේශගුණයකින්ද, තවත් තැනෙක මඳ සීතෝෂණ දේශගුණයකින්ද ඌව පෙදෙස සංයුක්තව ඇත. ජනාවාස දෙස බැලූ විටද පෙනී යන්නේ ඝනත්වයෙන් අඩු වුවත් ප්‍රදේශය පුරා විසිර පවත්නා ජන සංඛ්‍යාවක් සහිත ප්‍රදේශයක් ලෙසයි. කුඩා නගර කිහිපයකට කේන්ද්‍රව ජනගහණය තරමක දියුණුවක් පෙන්වයි. පුරාණයේ මෙන්ම වැවත්, දාගැබත් මුල් කරගත් ඉපැරණි ගම්මානවලින් යුක්ත ප්‍රදේශයක් බැවින් මෙය ශ්‍රී ලංකාවේ අනෙකුත් ඇතැම් ප්‍රදේශ තරමට සංස්කෘතික හෝදාපාළුවක් ඇතැයි කිව හැකි නොවේ.
ජනාවාස සඳහා යෝග්‍ය බිම්කඩවල් සියල්ලෙහිම පාහේ ජනතාව සිය ගම් බිම් සකසාගෙන ඇති අතර භෞතික සම්පත් අතින් අතිශයින් පොහොසත් ප්‍රදේශයක් බව නිරතුරුව නෙත් සිත් සනසන නිල්වන් පරිසරයෙන් ඔප්පු වේ. එය කලක් ලංකාවේ ධාන්‍යාගාරය වූ බවට ඓතිහාසික සාධක අපට දෙස් දෙයි. උස් බිම්, තැනිතලා, සානු ද කවර දේශගුණික තත්ත්වයක් වුවද මුහුණ දිය හැකි වෘක්ෂලතා, මල් පැළ හා මේ රටේ වෙනත් ප්‍රදේශවල දක්නට නොමැති තරමේ දුර්ලභ ශාක වර්ගද පහළ ඌවේ දැකිය හැකිය.
මානව ඉතිහාසයේ ඈත අතීතය පිළිබඳව ගවේෂණය කරන මානව විද්‍යාඥයින්ට ඉතා වැදගත් සාධක රැසක් හමුවී ඇත්තේද මේ ඌවෙන් වීම නිසා ඌව ආදි ජනතාවගේ නිජබිම වූ බවට වෙනත් සාධක අවශ්‍ය නැත. ආදි මිනිසාගේ වත්මන් ශේෂය වන වැදි ජනතාවගේ ජනාවාස පිහිටා ඇත්තේද පහළ ඌවේය.
සමාජ, සංස්කෘතික, ආගමික, ආර්ථික හා භෞතික යන කුමන ප්‍රස්තූතයක් යටතේ වුවද උත්තුංග ස්වභාවය පළකරන ඌවේ ජනයා එදා සාමකාමී හා ස්වයංපෝෂිතව සිටි බවට 1818ට පෙර ඉතිහාසගත තොරතුරැ අපට අනාවරණය කරයි. එදා ඌවේ විමුක්ති අරගලය සිදුවූ 1815, 1816, 1817 වකවානුවේ මේ රට පාලනය කළ අධිරාජ්‍යවාදී ආණ්ඩුකාරවරුන් අතර සර් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා තම සාමන්ත පාලකයා වූ බැතරස්ට් වංශාධිපති වෙත යවන ලිපියක තොරතුරු අපට වැදගත්ය. විමලානන්ද තෙන්නකෝන් මහතා විසින් ලියන ලද උඩරට කැරැල්ල ග්‍රන්ථයෙන් එය දැකගත හැකිය. එහි එක් තැනක සර් රොබට් බ්‍රවුන්රිග් තම වංශාධිපතියා වෙත ලිපියක් යවමින් “ශ්‍රීමතාණෙනි මේ වෙල්ලස්ස ප්‍රදේශය අතිශයින් ස්වයංපෝෂිත ප්‍රදේශයකි. මෙහි ජනයා ඔවුන් අදහනු ලබන ආගම විසින් හසුරුවන ලදුව අභිමානයෙන් හා සාමකාමීව ජීවත් වෙති. ඔවුන් පාලකයන් වන අපව තඹයකට වුව ගණන් ගන්නේ නැත. ආත්මාභිමානයෙන් යුක්ත ඔවුන්ව මේ සටනේදී යටපත් කිරීම අපට සිහිනයක් පමණක් විය හැකිය.” මෙම සඳහන ඉදිරිපත් කරන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ශ්‍රී ලංකා පාලකයාය. මෙයින් පැහැදිලි වන්නේ එදා මේ ප්‍රදේශයේ වූ ස්වයංපෝෂිත බව හා සශ්‍රීකත්වය නොවේද?
මැණික් ආදී ඛණිජ වර්ගවලින් මේ බිම් පෝෂිතය. නිල් මැණික්, රතු මැණික්, වෛරෝඩි වැනි වටිනා ඛනිජ එදා පා නිය වලින් පොළොව කැණ මතු කරගත් බව විවිධ තොරතුරුවලින් අනාවරණය වේ. මේ ප්‍රදේශය පුරා දක්නට ලැබෙන දහස් ගණන් නටඹුන්, වැව් අමුණු අපට දෙස් දෙන්නේ මේ ප්‍රදේශය ධාන්‍යාගාරයක් වූ බවට ප්‍රධාන සාධක නොවේද? කණින කණින හැම බිමකම පාහේ පැරණි ගඩොලක් හමු නොවන බිමක් නැති තරම්ය. දකින නොපෙනෙන සෑම බිම් කඩකම නටඹුන් වැවක, අමුණක, සොරොව්වක සලකුණු අපට කියාපාන්නේ අහසින් වට එකදු දිය බිඳක්වත් ඵල රහිතව ගලා යාමට ඉඩ නොදුන් බවමය. කළු බුද්ධරක්ඛිතාරාමය, මයිලෑව වැනි ස්ථානවල බිතු සිතුවම්, බුදුරැවගල, මාලිගාවිල, දඹේගොඩ පිළිමය ඉපැරණි ඌව වැසියන්ගේ කුසලතාවයන් අපට සපථ කරයි.
මේ රට එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමාගේ දස මහා යෝධයන්ගෙන් සය දෙනකුම පහළ ඌවේ ජනිත විරැවන්ය. දේශය ඔපවත් කළ මහා විජයබාහු, මහා පරාක්‍රමබාහු, දෙවන රාජසිංහ වැනි ශ්‍රේෂ්ඨ නරපතියන්ගේ නිජබිම යළි මතුකර ගනිමින් නැගී සිටින්නට වෙරදරන බව පෙනේ. ප්‍රදේශයට උරුම වූ සාහිත්‍යයත්, භාෂාවත්, චර්යා පද්දතියත් සහිත පහළ ඌව 1818 ඉංග්‍රීසීන් සමග ඇතිවූ අරගලයෙන් පසු ඔවුන් විසින් දියත් කර විනාශකාරී යුධමය ප්‍රතිපත්තිය නිසා අද වනවිට ඌවේ තිබිය යුතු සුවිශේෂ දියුණුව විශාල ලෙස පිරිහී ඇත. ප්‍රදේශයටම උරුම වූ ආහාර පාන රටාවක් හා ශාන්තිකර්ම, බලි තොවිල්, බේත් හේත් ආදියෙන්ද ගම්‍ය වන්නේ එදා මෙම ප්‍රදේශයේ වූ ස්වයංපෝෂිත භාවයයි.
සම්බුදු පියාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම වූ තෙවන ගමනේදී පහළ ඌවේ කතරගමට වැඩමවා භික්ෂූන් සමග සමාධි සුවයෙන් ගත කළ බව සඳහන් වේ. මේ අනුව බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනේදී හා අවසාන ලංකා ගමනේදී ඌවේම මහියංගණය හා කතරගම යන ස්ථානවලට වැඩමවා ඇත.
පොදු මහත් බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍රව ඇති කිරිවෙහෙර මහ සෑය පිහිටා ඇත්තේ කතරගමදී බුදුරජාණන් වහන්සේ සමාධි සුවයෙන් වැඩ සිටි කිහිරි වනයෙහිය. රුහුණේ රජ කළ මහසෙන් රජතුමා එදා බුදුරදුන් වැඩි සිටි ස්ථානයේ කිහිරි ගස් කපා එම සෑය ඉදිකළ බැවින් කිහිර් වෙහෙර් නමින් නම්කර පසුව කිරිවෙහෙර බවට පත්වූ බව සඳහන් වේ. කෙසේ වුවද මෙස සෑරදුන් පිහිටා ඇත්තේ පන්සියයක් පමණ මහ රහතන් වහන්සේලා සමග බුදුරජුන් වැඩ සිටි ස්ථානයේ බව ධාතුවංශයේ සඳහන් වේ. බුදුරදුන් මහසෙන් රජුට ධර්මය දේශනා කළ බවත් එහිදී මහසෙන් රජු සෝවාන් ඵලයට පත්වූ බවත් කියැවේ. පසුව මෙම මහසෙන් නැමති ප්‍රාන්ත රජතුමා මියගොස් දෙවියෙක්ව ඉපිද කතරගමට අරක් ගෙන මහසෙන් දෙවි, කතරගම දෙවි නමින් කතරගම දෙවොලට අධිපතිව පුද පූජා ලබන බව බැතිමතුන්ගේ මතයකි. ක්‍රිස්තු වර්ෂයේ පළමුවන ශත වර්ෂයට අයත් කතරගම පුවරු සෙල් ලිපියෙනුත්, කිරිවෙහෙර බිමෙහි හමුවූ පස්වන හෝ හයවන සියවසට අයත් සෙල් පුවරු ලිපියෙනුත්, කටගමුවෙන් හමුවූ පස්වන දප්පුලගේ සෙල් ලිපියෙනුත් ලැබෙන තොරතුරුවලට අනුව කිරිවෙහෙර සෑ රදුන් බෞද්ධ ජනතාවගේ ශ්‍රේෂ්ඨ උරුමයක් බවට සඳහන් කළ හැකිය.
බෞද්ධ ජනතාවට මෙන්ම හින්දු ජනතාවටද කතරගම එකසේ වැදගත් වන්නේ සැමගේ ගෞරවයට පාත්‍රව ඇති කතරගම මහා දේවාලයයි. ජාති, කුල, ආගම් භේදවලින් තොරව අපේකම රැකගන්නා අපේ දේවාලයක් ලෙස සෑම ජාතිකයෙක්ම, සෑම ආගමිකයෙක්ම මේ ස්ථානයෙන් ආශීර්වාද ලබා ගනී. මහ දෙවොලේ චාරිත්‍ර වාරිත්‍රද ඉතිහාසයේ ඈතට දිවෙන අතර ඒවායේ ඇති බෞද්ධ ආගමික හා හින්දු ආගමික සිරිත් විරිත් සම්ප්‍රදානුකූලව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම තුළින් අපේ සංස්කෘතිකයේ ඓතිහාසික උරුමයන් මේ දක්වා ආරක්ෂා වී පවතී. තවදුරටත් මේවා ආරක්ෂා කර පවත්වා ගෙන යාම තුළින් අපේ ජාතික අනන්‍යතාවය උදාර ලෙස ලෝකයාට ඔප්පු කළ හැකිය.
කතරගම ඇසළ මහා පෙරහරද අපේකම දක්වන වැදගත් අවස්ථාවකි. පෞරාණික සිරිත්වලට අනුව බස්නායක නිලමේතුමාගේ සිට සියලු තනතුරු නම්කර ඇත. ඒවා අදත් ඒ අයුරින්ම ආරක්ෂා කරමින් තනතුරට හිමි කාර්යභාරය ඔවුන් ඉටුකරන්නේ මහත් ගෞරවයෙනි. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් පමණක් නොව චාරිත්‍ර වාරිත්‍රද අපේකම රැකෙන අයුරින් සකස් වී ඇති අතර දේශීයත්වය මේ තුළින් සනාථ වේ. මෙම සිරිත් විරිත් ආරක්ෂා කිරීම ඉතා වැදගත් අවස්ථාවක් ලෙස සිහිපත් කළ යුතුය.
♦ කපුගම සරණතිස්ස නාහිමි