2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා

අදට හරියන නරි කතන්දර

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 60
ඊසොප්ගේ උපමා කතා තුළ, නරියා බූරුවා, වෘකයා වැනි සතුන් බහුලය. පුදුමයකට මෙන් මේ සතුන්ගේ ක්‍රියා කලාපයන්, මිනිසුනටද බෙහෙවින් සමානය. එහෙයින්, ඒ උපමා කතා අවසානයේ කියැවෙන හෝ දැනෙන ආදර්ශය, මිනිසුන් වන අපට ද වැඩදායකය.
 
මැතිවරණ ‘නිහඬ කාලය’ තුළ, මා ලියන මෙම තීරු ලිපිය, ඔබ කියවනු ඇත්තේ, රටක අනාගතයට බලපාන ප්‍රතිඵල, විමසමින් හෝ විඳිමින් විය හැකිය. එවිට, ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ, මධ්‍ය භාගයේ ජීවත් වූ ඊසොප් නමැති වහලා, නිවහල් සිතින් කියූ ඇතැම් උපමා කතා, අදටත් ගැලපෙන අයුරු ඔබට හැඟෙනු දැනෙනු නිසැකය.
 
ඊසොප්ගේ උපමා කතාවක එන, නරියකු, උගුලකට හසුවීමෙන් උගේ වලිගය අහිමි විය. මින් ලජ්ජාවට පත් නරියා, අනෙක් නරින්ට මුහුණ දෙනු නොහැකිව, වනයේ සැඟව කිසියම් උපායක් කල්පනා කළේය.
ටික දිනකට පසු ‘නරි සමාජය’ වෙත ගිය ඌ, මෙසේ කියා සිටියේය.
 
“මිත්‍රවරුනි, මම මගේ වලිගය ඉවත් කර ගත්තා. දැන් මට ඒක හරි පහසුවක්. වලිගය කියන්නෙ අපේ ශරීරයට අනවශ්‍ය බරක්. වලිගය නැතුවම අපි ලස්සනයි. ඒ නිසා අපි හැමෝම වලිගය ඉවත් කරගමු.”
එහෙත්, කිසිදු නරියෙක්, වලිගය නැති එකාගේ යෝජනාවට එකඟ වූයේ නැත.
 
“උඹ හදන්නෙ අපිවත්, උඹට ගැලපෙන විදිහට හදා ගන්න. අපිට අපේ වලිගය තිබුණාවේ.”
එසේ කියමින්, නරි සමාජය විසිර ගියහ.
 
මිනිස් සමාජයෙහිද, වල්ගය ඇති නැති “නරියෝ” ඕනෑ තරම්ය. සමහරු වල්ගය දෙපරන්දේ ගසාගෙන සිටිති. තවත් සමහරු වටිනා, සූට් බූට් අස්සේ සඟවාගෙන සිටිති.
 
සමහර නරි, වල්ගය ගැන ආඩම්බර වෙති. එහෙත්, වල්ගය අහිමි වූ පසු, ඊසොප්ගේ නරියා මෙන්, ලැජ්ජාව වසා ගැනීමට නොයෙක් බොරු කතා කියති. සාමාන්‍යයෙන්, රටක මැතිවරණයකට පසුවද, එබඳු වලිගය අහිමි වූ “නරි” දක්නට ලැබෙයි.
සමහර විට, එබඳු නරියෙක් මෙසේ දුක කියමින්, අනුකම්පාව ලබන්නට තැත් කරනු ඇත.
 
“අනේ මහත්වරුනි, අද අපි මෙහෙම හිටියට ටික කාලෙකට ඉස්සර, හොඳම වලිග තිබුණෙ අපිට. තව කාලයක් යද්දි අපේ හැළුණු වලිග, ආයෙත් හැදේවි. එතෙක් ඉවසන්න. අපි ආයෙත් වල්ගය වනන්න එනවා.”
වලිගය අහිමි වූ නරින්ද පත්ව සිටින්නේ, කහඹිලියා පැළය උඩ හිඳගත් නරියාට සිදු වූ ඉරණමටය. වලිගය ඇති නරින්ට, කුකුළු කොටුව පරෙස්සම් කර ගන්නට දුන්, ගමරාළලා, යළිත් ඒ මෝඩකම් නොකරති.
 
නරියාට පමණක් නොව, තවත් බොහෝ සතුන්ට වලිගය නැතුවම බැරිය. අපේ ජන කවියා එය දුටුවේ මෙසේය.
 
ගොන් බානක් වෙල් එළියක කකා උනී
 
ඉන් එක ගොනෙක් වලිගේ නැතුව දුක් වුණී
 
වල්ගේ ඇති ගොනා මැස්සනට බැට දුනී
 
දුප්පත්කමත් වලිගේ නැති ගොනා වැනී
 
ඊසොප්ගේ තවත් කතාවක එන නරියකුට, ගොපල්ලෙක් ගස් බෙනයක සඟවා තිබූ මස් හා පාන් වැනි කෑම පිරි බඳුනක් දක්නට ලැබෙයි. කටට කෙළ ඉනූ නරියා, අමාරුවෙන් ගස් බෙනය තුළට රිංගා, කෑම සියල්ලම කා දමයි. එහෙත් ආපසු ඒමට තැත් කරන විට, ඌට වැටහුණේ තම කුස ඉදිරියට නෙරා ගොස් ඇති බැවින්, එය කළ නොහැකි බවය. බියට පත් නරියා උදව් ඉල්ලා කෑගසන්නට විය.
 
ඒ අසලින් ගිය, වෙනත් නරියකු සිදුව ඇති දෙය දැක මෙසේ කීය. “දැන් ඉතින් බඩ බහින කල් ඉඳපන්.”
 
ඇති හැකි කාලේ පමණ ඉක්මවා කා බී ජොලි දාපු නරින්ට, බෙණ කටින් ආපසු එන්නට තිබෙන බව මතකයට එන්නේ, එහි සිරවූ පසුය. එවිට කරන්නට වෙන්නේ බෙල්ලේ රැල්ල, බඩට බහින තුරු බලා සිටීමටය.
විෂ්ණු ශර්මන් පඬිතුමාගේ “පංචතන්ත්‍රයෙ”හිද කෑදර නරියකු පිළිබඳ සිනා උපදන කතාවක් වෙයි.
 
කුසගින්නේ පෙළුණු නරියෙක්, කලකට පෙර යුද බිමක්ව තිබූ, වනගත පෙදෙසක් මැදින් ගමන් කරමින් සිටියේය. ඈතින් ඇසුණු හඬකින් කුහුලට පත් ඌ වටපිට බලන කල දුටුවේ, ගසක් යට දමා ගොස් තිබූ විශාල යුද බෙරයකි. සුළඟේ වැනෙන අතු,
වැදීමෙන් බෙර හඬ නැගෙයි. බෙරයේ, සම ලෙවකා බැලූ නරියාට, එහි ඇතුළත මසින්, ලෙයින් පිරී ඇතැයි සිතුණි. ඌ, දත් ගසා, බෙර ඇසේ සම ඉරා දැමුවේය. එහෙත් ඇතුළත හිස් කුහරයකි. රැවටුණු නරියා, යළි ගමන් කරන්නට වූයේ, ශබ්දයක් ඇසුණු පමණින්, පරීක්ෂණයක් නොකර, තීරණ නොගත යුතු යැයි සිතමිනි. ඊසොප්ගේ නරියෙක්, නළුවකුගේ නිවෙසකට ඇතුළුව, ඔහුගේ රංග උපකරණ ඇතුළත් පෙට්ටියක් අවුස්සා බලයි. වෙස් මුහුණක් දකින නරියා, එය අනෙක් පස පෙරළා බලයි. “ෂැහ්! මොළේකුත් තිබුණ නං තමයි වටින්නෙ!” නරියා, වහා එතැනින් පිටවිය.
 
ඊසොප්ගේ කතාවක එන මිනිසෙක්, දැවමුවා දේව ප්‍රතිමාවක් විකිණීම සඳහා, නගරය වෙත යයි.
 
“මේ ප්‍රතිමාව ගත්තොත්, සෞභාග්‍ය උදා වෙනවා. ඔබ ධනවත් වෙනවා.”
 
මිනිසා කෑගසයි. ඒ අසන තවත් මිනිසෙක් සිනාසී මෙසේ අසයි.
 
“ඉතින් තමුසෙම ඔය ප්‍රතිමාව තියාගත්තම ඉවරයිනෙ. ඇයි විකුණන්නෙ.”
 
“මට හදිස්සියක්... මේ දෙවියො දෙන්නෙ හෙමීට.”
 
අපේ මිනිස්සුද හදිස්සිකාරයෝය. ඔවුන් බොහෝ කලක් තිස්සේ බලා සිටීම ඊට හේතුවය. එහෙත්, දෙවියන් දෙන තුරු ඉවසීමෙන් බලා සිටිය යුතුය. නැත්නම් වෙන්නේ නරියාට සිදුවූ දෙයමය. බෙරේ පළුවකුත් නැත. ලැබූ දෙයකුත් නැත.
කපිල කුමාර කාලිංග