2017 ජුලි 01 වන සෙනසුරාදා

ධනපතියෙක් වෙනවාදැයි කේන්දරෙන් බලාගන්න

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 242

ජන්ම පත්‍රයක ධන තත්ත්වය පෙන්නුම් කරන්නේ දෙවැනි භාවයෙනි. එකළොස් වැනි භාවයෙන් ලැබීමේ තරම පෙන්වයි. මෙම දෙවැනි භාවයත් එකොළොස් වැනි භාවයේ ශක්තියත් එහි අධිපතියන්ගේ සාපේක්ෂ පිහිටීමත් අනුව කෙනකුගේ ධන තත්ත්වය පෙන්වයි. ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියේදී මේ සඳහා උපයෝගී කරගන්නේ දෙවැනි භාවයේ උප අධිපතියාය. මෙම දෙකේ උප අධිපතියා 2, 6, 10 සහ 11 යන භාවවල ප්‍රබල නිවේදකයන් වූ කල ජන්ම හිමියා ධනවතෙකි. 

එම අධිපතියා 5, 8, 12 යන භාවවල නිවේදකයන් වූ කල දුප්පතෙකි. 5 සහ 8 ද කිසිම සම්න්ධයක් නොමැතිව 2, 6, 10, 11 පමණක් නිවේදනය කරන විට ඔහු සෑම අවස්ථාවකම ඒකාකාරීව මුදල් සොයයි. මෙයට 5, 8 හා 12ත් එකතු වූ කල අදාළ වාසිදායක දසාවන්හි ධන තත්ත්වය ඉහළින් පවතින අතර 5, 8, 12 නිවේදන දසා කාලවලදීම අසීරු තත්ත්වයකට පත්වෙයි. දෙකේ උපාධිපතියා 2, 6, 10 සහ 11ට කිසිදු සම්බන්ධයක් නොමැතිව 5, 8, 12 පමණක් නිවේදනය කරන විට හැමදාම දුප්පතෙකි.

ගුරු වැනි ග්‍රහයෙක් 2 උප අධිපති වී 2, 6, 10 සහ 11 නිවේදනය කරන විට ඔහු එතරම් ආයාසයකින් තොරව මුදල් රැස් කරන ධනවතෙකි. ශනි දෙකේ උප අධිපති වී ඉහත සඳහන් භාවයන් නිවේදනය කරන විට ච ජන්ම හිමියා ධනය රැස් කරයි. නමුත් එතැනට දැඩි ආයාසයක් හා වීර්යයක් එකතු වේ. එකොළොස් වැනි භාවය නොමැතිව 2, 6 සහ 10 පමණක් නිවේදනය වූ කල වෘත්තියෙන් පමණක් ආදායම උපයයි. මෙහිදී 6ට වඩා 7 වැනි භාවය ප්‍රබල වූ කල හවුල් ව්‍යාපාරවලින් ආදායම උපයයි.

2,6 සහ 10 පමණක් එකතුවෙන් විශාල ධනවතුන් වීමට නොහැක. නමුත් සමාජ තත්ත්වය හා බැලූ විට බලයෙන් ඉතා උසස් තත්ත්වයට පත්ව ගෞරවනීය නමක් දිනාගත හැක. සමහර විට ඔහු මුදල් අතින් එතරම් සරුසාර නොවිය හැක. නිදසුනක් හැටියට මෙරට හතර වතාවක්ම අගමැති වූ ඩඩ්ලි සේනානායක මහතාත් වරක් අගමැති වී කීපවතාවක්ම ඇමැතිකම් දැරූ විජයානන්ද දහනායක මහතාත් ඇමැතිකම් දැරූ සෝමවීර චන්ද්‍රසිරි මහතාද ධනය අතින් ඉතාමත් දුර්වල වූ පුද්ගලයෝ වූහ. ඩඩ්ලි සේනානායක මහතා මියයන විට වත්කම වූයේ පදිංචි නිවසත් වාහනයත් පමණි. ආදායම වූයේ දැදිගම මන්ත්‍රීවරයා වශයෙන් ලැබූ වැටුප පමණි. බැංකු පොතේ මියයන විට ඉතිරිව තිබුණේ රුපියල් 450/-ක් පමණි. මෙය කවුරුත් දැනගෙන සිටි කරුණකි. දහනායක මහතාද ධනවත් පුද්ගලයකු නොවේ. ඔහු සමහර කාලවල ගාල්ලේ සිට පාර්ලිමේන්තුවට පැමිණියේ ලංගම බස් රථයෙනි. වරක් සංස්කෘතික ඇමැති පදවිය දැරූ සෝමවීර චන්ද්‍රසිරි මහතා ද එසේය.

නිල බලය හා ආදායම් තත්ත්වයත් හැමවිටම එක හා සමාන නොවන බව මෙයින් වැටහෙනවා ඇත. එසේ හෙයින් ආදායම වැඩිවීමට දහයට වඩා වැදගත් වන්නේ එකොළොස් වැනි භාවයයි.

දෙවැනි භාවයෙන් ආදායම් ලබාගැනීමේ හැකියාවත් එකොළොස් වැනි භාවයෙන් සාර්ථකත්වයත් පෙන්නුම් කරන අතර, හයවැනි භාවයෙන් සේවාවත් ණය ලබාගැනීමේ හැකියාවත් ප්‍රතිවාදීන්ට අවාසි ගෙන දීමක් පෙන්නුම් කෙරේ. බොහෝ අය 6 වැනි භාවය ඉවත දමන්නේ 6න් කෙනකු ණයකාරයකු කරන හෙයිනි. නමුත් මෙම ණයකාරයන්ගේද විවිධ මට්ටම් ඇත. ලෝකයේ සිටින ඕනෑම කෝටිපතියකු කවදා හෝ බැංකුවට ණය වී ඇත. බැංකුවෙන් ණයක් නොමැතිව විශාල ව්‍යාපාරයක් අරඹා පොහොසත් වීම ඉතා දුෂ්කර කාර්යයකි. ඒ නිසා 11 සහ 2 සමඟ 6 ප්‍රබල තැනැත්තා විශාල වශයෙන් ණය ගෙන මුදල් ආයෝජනය කර පොහොසත් වේ. නමුත් 6 සමඟ 5, 8 සහ 12 භාව නිවේදකයන් එකතු වූ කල ඔහු ජීවත් වීමට පවා අසීරු ණයකාරයකු වේ.

මෙම ධනය ඉපයීමේ කර්තව්‍යයේදී ඉතාමත් අඩමාන භාවයක්ද ඇත. එය නම් 5 වැනි භාවයයි. අඩමාන ධන යෝජනා හා කොන්ත්‍රාත් ආදිය පෙන්වන්නේ මෙම 5 වැනි භාවයෙනි. සූදුව පෙන්වන්නේද මෙම භාවයෙනි. එසේම අඩමාන මුදල් ආයෝජන සූදුවක් වීමටද බැරි නැත. මුදල් ආයෝජනය කිරීම පෙන්වන්නේ 12 වැනි භාවයෙන් බව සත්‍යයකි. නමුත් යම් යම් අඩමාන ව්‍යාපාර ගැන තීරණය කෙරෙන්නේ එයිනි. හවුල් ව්‍යාපාර පෙන්වන්නේ හතෙනි.
පස්වැනි භාවයෙන් ප්‍රතිවාදියා හෝ හවුල්කාරයා පෙන්වන හතට එකොළහ වෙයි. එතැනදීද ජන්මියාට වෙළෙඳ ව්‍යාපාරවලින් ගෙන දෙන්නේ පාඩුවකි. අවාසියකි. නමුත් මෙම පස්වැනි භාවයේ බලවත්කමින් මුදල් ගරන අය සිටිති. එය සිදුවන්නේ කෙසේද? මේ සඳහා 2කේ උප අධිපතියා 2, 6, 11 සමඟින් 3ට සහ 5ට ද සම්බන්ධ විය යුතුය. මෙසේ 2, 3, 5, 6 සහ 11 සංයෝගයෙන් හා භාව නිවේදකත්වයෙන් කෝටි ප්‍රකෝටිපතියන් බිහි වේ. එය කෝටිපතියන් බිහිවීමේ එක් යෝගයකි. එම නිසා ධන හිමිකම් සෙවීමට 5 වැනි භාවය ඈඳාගැනීමේදී ඉතා සුපරික්ෂාකාරී විය යුතුය.

ජෝතිර්වේදී
පානදුරේ රෝහන් වීරරත්න