මෑතකදී, විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ නිවසේ, මධු සාදයක් පැවැත්විණි. ඊට සහභාගි වූයේද විපක්ෂයේම මන්ත්‍රීවරු කිහිප දෙනෙකි. දිගු කලක් ආණ්ඩු පක්ෂයේම සිටි හෙයින්, ඔවුහු හැම කෙනෙක්ම වාගේ, විපක්ෂයට නවකයෝ වූහ. මධු සාදයේ, එක් අරමුණක් වූයේද, විපක්ෂයේ කාර්යභාරය කුමක්දැයි විසඳා ගැනීමය.
දෙවැනි මධුවිත පිරෙත්ම, එක් මන්ත්‍රීවරයෙක් මෙසේ කීය.
“අර උතුරේ මන්ත්‍රීතුමාට, ආසනේ වැරදිච්ච එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. තව පොඩ්ඩෙන් මාත් ඉඳගන්නෙ, මගෙ පරණ පුටුවෙ.”
“මටත් ඕක වෙන්ඩ ගියා.” තව මන්ත්‍රීවරයෙක් කීවේය. “හොඳ වෙලාවට, මම යනකොට, අලුත් සෙට් එක පුටුවල ඉඳගෙන... තුනෙන් දෙකක්ම ඒගොල්ලො අල්ලගෙනනෙ.”
“ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ.” තවකෙක් කට දැම්මේය.
“ජන්මෙ නෙවෙයි, පරාජය. පැරදිලත් අපි තාම වැඩ කරන්ඩ යන්නෙ දිනලා වගේ.”
එසේ කියුවේ, කලින් රාජ්‍ය ඇමැතිවරයකුව සිටි අයෙකි.
“කමක් නෑ. අපි ටික දෙනා හරි ඇතුළට රිංග ගත්තනෙ. නැත්තං, ගෙදර කට්ටියටවත් මුහුණ දෙන්නෙ කොහොමද?”
තවකෙක් කීවේ, බිඳුණු හඬිනි.
“දැන් අපි මොකද කරන්නෙ, විපක්ෂයෙ ඉඳන්?”
නිවෙස් හිමි මන්ත්‍රී, මාතෘකාවට බැස්සේය.
“විපක්ෂය කියන්නෙ, හැම තිස්සෙම ආණ්ඩු පක්ෂයට විරුද්ධ වෙන කණ්ඩායම.”
හිටපු රාජ්‍ය ඇමැති කීය. එතැන් සිට, එකිනෙකා තම අදහස් කියන්නට ගත්හ.
“ඒත්, ඒකට තාම කල් වැඩි නැද්ද? කැබිනට් එක රැස්වෙලා තියෙන්නෙත්, තුන් හතර පාරයි. තාම, බජට් එකක් ඉදිරිපත් කරලත් නෑ.”
“එහෙම බලං ඉඳල බෑ... ආණ්ඩුවෙ අය කියන කියන දෙයට අපි, ලෙඩේ දාන්ඩ ඕන.”
“අන්න හරි... කතානායකත් තාම එල් බෝඩ්නෙ. අපිට බය නැතුව, ලෙඩ අදින්ඩ පුළුවන්.”
“ඔව්. එතකොට තමයි, ජනතාවට ඇඟවෙන්නෙ අපි ශක්තිමත් විපක්ෂයක් කියලා. ”
“ජාතික ලැයිස්තු කේස් එකෙන්, ජනතාව තේරුම් ගත්තා අපි අතර සමගියක් එකමුතු බවක් නෑ කියලා.”
“සන්ධාන කියන්නෙම, කේස් තමයි.”
කාරණය බැරෑරුම් වූ හෙයින්දෝ, පිරිස මොහොතකට නිහඬ වූහ.
“ඉස්සර වගේ නෙවෙයි, දැන් පාර්ලිමේන්තුව හරි නිශ්ශබ්දයි නේද?”
එක් අයෙක් නිහැඬියාව බින්දේය.
“ඔව්. අපි මොනව කිව්වත්, ඒගොල්ලො නිශ්ශබ්දව ඉන්නවා. අදාළ නං විතරක් කවුරු හරි උත්තර දෙනවා. ඉතින් කොහොමද ලෙඩ අදින්නෙ?”
“ඒගොල්ලො තාම ඉගෙනගෙන තියෙන්නෙ, මේසෙට තට්ටු දාන්ඩ විතරයි... කාලයක් යනකොට, අපි වගේ හැදෙයි.”
“කටවල් ලොක් කරගෙන ඉඳල කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය රකින්නෙ?”
“කවුරු මොනව කිව්වත් මම නං කතා කරනවා. නැතුව කොහොමද පක්ෂය ඇතුළෙ තැනක් හදාගන්නෙ. දැන් ටී.වී. එකෙන් පෙන්නන හින්දා, සද්දයක් දාන්ඩ ඕන, ජනතාවට පේන්ඩ.”
තරුණ මන්ත්‍රීවරයෙක්, තරමක ආවේගයකින් කියා, වීදුරුව උගුරට හළා ගත්තේය.
“හැබැයි යාළුවා, මේ මාලිමා සෙට් එක කියන දේවල් ක්‍රියාත්මක කෙරුවොත්, ලබන සැරේ අපිට ඇපත් නෑ.”
රාජ්‍ය ඇමැති ඇස් ලොකු කළේය.
“ඒක තමයි, අපි දැන්ම ඉඳන් විරුද්ධ වෙලා ඒවා කරන්ඩ දෙන්ඩ හොඳ නෑ. ප්‍රබල විපක්ෂයක කාර්යභාරය ඒකනෙ.”
“ඒක රටට නං හොඳ නෑ නේද?”
“රට ගොඩදාන එක අපි බාරගමු. ලබන සැරේ අපිටත් සටන් පාඨයක් තියෙන්ඩ එපායැ.”
“තව කාරණයක්... මාලිමා සෙට් එක, නිතරම ජනවරම ගැන කියනවා. ඒකටත් විරුද්ධ වෙන්ඩ ඕන... ඇයි, අපිත් මෙතැන ඉන්නෙ ජනවරමකින්නෙ.”
“ඔව්. නායකතුමාට ඒ ගැන කියමු. එතුමාටත් කියමු, අපිට ලැබුණු ජනවරම නිසා, ශක්තිමත් විපක්ෂයක් ගොඩනගාගන්න ලැබුණය කියලා.”
“විපක්ෂය කෙසේ වෙතත්, විපක්ෂ නායකකම බේරගත්ත එකත් ලොකු වරමක්නෙ.”
තවත් විතක් පුරවාගත්, රාජ්‍ය ඇමැති ඉක්මනින්ම දොඩමළු විය.
“මිත්‍රවරුනි, අපිත් කොළ බලන්නෙ නැතුව කතා කරන්න පුරුදු වෙන්න ඕනෙ. දැන් බලනවකො ජනාධිපතිගෙ ඉඳල මාලිමාවේ එල් බෝඩ්කාරයො හිටං ගිරව් වගේ කතා කරන ලස්සන. අපි කොළේ බලාගෙන කතා කරලත්, කොළේ ඉරා ගන්නවා.”
“ඔව්... අපි ඉස්කෝලෙ යන කාලෙ වගෙ කට පාඩම් කරන්න පුරුදු වෙමු.”
තරුණ මන්ත්‍රී, හිස සැලීය.
ටික දිනකට පසුව, විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්, පාර්ලිමේන්තු පුස්තකාලයේ සිටිනු දුටු, ඔහුගේ මිත්‍රයෙක්, මෙසේ ඇසීය.
“මොකද මෙහෙ? පොත් බලනවද?”
“නෑ... මං ආපහු විභාගයක් කරන්න ලෑස්ති වෙනවා.”
“හැබෑට? ඒ මොකද හදිස්සියෙම?”
“කොහොම හරි ආචාර්ය පට්ටමක්වත් ගන්ඩ ඕන. එහෙම නැතුව මේ පාර්ලිමේන්තුවෙ ඉන්ඩ ලැජ්ජයි. “එල් බෝඩ්” කෑල්ලෙ හැම පේළියෙම ඉන්නෙ, ආචාර්ය, මහාචාර්යවරුනෙ.”
• කපිල කුමාර කාලිංග