පුත්තලම කලපු තීරයේ ඇති ඉඩම් විවිධ පුද්ගලයන් උපක්‍රමශීලීව අත්කරගැනීම හේතුවෙන් වෙරළ තීරයට සහ පරිසර අලංකාරයට විශාල හානියක් සිදුවී ඇත. ලේඛන ලියාපදිංචි කිරීමේ පනත උපයෝගී කරගනිමින් ප්‍රකාශන ඔප්පු සකසා දීමට ඇතැම් සමාගම් ලේකම්වරු හා නීතිඥයින්, නොතාරිස්වරුන් මුදලට යටවී කටයුතු කිරීම මෙම ඉඩම් කොල්ලයට මූලික හේතුව වී ඇතැයි කියති. එවැනි ඔප්පු භාවිත කරමින් සිදුකරන අපචාර ක්‍රියාවන් සහ රජයේ ඉඩම් විවිධ ව්‍යාපෘති සඳහා අවිධිමත් ලෙස බැහැර කිරීම මෙන්ම රජයේ සහ පෞද්ගලික ඉඩම් ජාවාරම්කරුවන්ට නීති විරෝධී ලෙස අත්පත් කරගැනීමට නීතිය දන්නා අයගේ සහයෝගය ලබාදීම තුළ විශාල පරිසර හානියක් සිදුවී තිබේ.
ඓතිහාසික මෙන්ම ජෛව්‍ය විවිධත්වයෙන් විශාල වටිනාකමක් ඇති ස්වභාවික පරිසර පද්ධතින් විනාශ කර ඉඩම් අල්ලා ගනිමින් සිදුකරන ව්‍යාපෘති ස්වභාවික විපත්වලට මූලිකව බලපා ඇත. ජල ගැලීම්, නාය යෑම්, කලපු ගොඩගැලීම් වැනි භයානක ව්‍යසනයන් ඇතිවීමට මූලික හේතුවී ඇත්තේ ස්වභාවික පරිසරය විනාශ කිරීමයි. කලපුව සෝදාපාළුවට ලක්වීම වැළකීමට සැකසී ඇති කඩොලාන, ස්වභාවික ජල බැසීම් සිදුවන ඇළ මාර්ග ගොඩකිරීම දිගින් දිගටම සිදුවන්නේ පුත්තලම, කලපුව ආශ්‍රිතවය. මෙය දිගින් දිගටම සිදුවන අකටයුක්තකි. එහෙත් වගකිව යුතු නිලධාරීන් බලධාරීන් මුනිවත රැකීම කනගාටුවට කරැණකි. මේ සඳහා නිසි පියවරක් නොගතහොත් පුත්තලම කලපුවේ ඉතිරි වී ඇති සුළු හෝ සුන්දරත්වය කොන්ක්‍රිට් වනාන්තර බවට පත්වීම වැළකිය නොහැකිය.
ඉඩම් හා ගොවි ජනතාව යළි පදිංචි කිරීම පිළිබඳ නව රජයට සේම පෙර තිබූ රජයන්ටද ස්ථීරව විසඳා ගැනීමට නොහැකිවූ ගැටලුවක් බවට පත්වී ඇත. නූතන ඉඩම් සංවර්ධන ප්‍රතිපත්ති අරඹන්නේ ඉඩම් කිසිසේත්ම නොමැති ඉඩම් අහිමි ජනතාවගේ ඉඩම් ප්‍රමාණය වර්ධනය කරනු පිණිස හැර වෙනත් කාර්යය සඳහා රජයේ ඉඩම් බැහැර කිරීමට නොවේ. අද වනවිට ඉඩම් නොමැති අය සිටියදී ඉඩම් ඇති අය ඉඩම් වැඩි කරගැනීම සිදුකරති. මෙය දේශපාලන ක්‍රියාවලියකි.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ස්වභාවික සම්පත් හා කළමනාකරණ මධ්‍යස්ථානය, පහත් බිම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුව වැනි බලගතු ආයතන ස්ථාපිත කර තිබුණත් ශ්‍රී ලංකාවේ ඉඩම් පිළිබඳ නීති බලාත්මක නොකිරීම හේතුවෙන් මෙරට සිදුවන ඉඩම් මංකොල්ලය අඩුවක් නොමැතිව පවතී. රටේ සෑම පළාතකම ඉඩම් මංකොල්ලය දිනෙන් දින ඉහළ යමින් පවතින බව වාර්තාවේ. වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස හතරක මහා පරිමාණ ඉඩම් ජාවාරම සිදුවේ.
වනාතවිල්ලුව, පුත්තලම, මුන්දලම, කල්පිටිය අතරින් කල්පිටියේ වැඩි වශයෙන් සිදුවිය.
2013 වසරේ කල්පිටිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ දැවැන්ත වූ ඉඩම් මංකොල්ලයක් සිදුවූ අතර එවකට ඉඩම් අමාත්‍යංශයේ රටට ආදරය කරන ඉඩම් විෂය පිළිබඳ හසල දැනුමක් ඇති එවකට සිටි නිලධාරීහු මෙය මැඩ පැවැත්වීමට දැවැන්ත කාර්යය භාර්යක් සිදු කළහ. ජාවාරම්කරැවන් අතට පත්වී තිබූ බොහෝ ඉඩම් රජයට පවරාගැනීමට පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන් 1979 අංක 07 දරණ රජයේ ඉඩම් (සන්තකය) ආපසු ගැනීමේ පනත භාවිත කළ බව නොරහසකි.
වර්තමානය වනවිට පුත්තලම දිස්ත්‍රික්කයේ මහා පරිමාණ ඉඩම් මංකොල්ලයට තිත තැබීමට පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු ප්‍රදේශීය ලේකම්වරුන් ක්‍රියාත්මක වී සිටියත් ඇතැම් නිලධාරීන්ගේ අවිචාරාත්මක ක්‍රියාවන් හේතුවෙන් සම්පූර්ණයෙන්ම මෙය මැඩ පැවැත්වීමට නොහැකි වී තිබේ. ඉඩම් අක්කර සිය ගණනින් අත්පත් කරගෙන සිදුකළ මහා පරිමාන ඉඩම් ජාවාරමට වඩා පරිසර හානියක් අක්කර දෙක තුනක් අල්ලා ගෙන වර්තමානයේ සිදුකරන ඉඩම් මංකොල්ලයෙන් සිදුවෙයි. වයඹ කලපු තීරයේ දසක දෙකකට පමණ පෙර පැවති සුන්දර කඩොලාන පරිසර පද්ධතිය වෙනුවට අද ඇත්තේ ලුණු කොටු, ඉස්සන් කොටු සහ විනාශ වූ කලපු රක්ෂිතයකි.
කලපුව දෙස බැලූ සැණින් නෙත ගැටෙන්නේ කඩොලාන වෙනුවට කොන්ක්‍රිට් ගොඩනැගිලිය. ධීවර කර්මාන්තකරුවන්ට කලපුවට බැසීමට නම් ඉස්සන් වගා කරුවන්ගෙන් සහ ලුණු කර්මාන්ත කරුවන්ගෙන් අවසර ගැනීමට සිදුවන තත්ත්වයක් පැන නැගී ඇත.
ඉස්සන්, පොකිරිස්සන්, කකුලුවන් සහ කඩොලාන ආශ්‍රිත බිත්තර දමමින් වර්ධනය වන මසුන් විශාල වශයෙන් බෝවීමේ අඩුවක් වී තිබේ.
කලපුව ආශ්‍රිතව කඩොලාන රක්ෂිතය විනාශ කරමින් ලුණු කොටු සහා ඉස්සන් කොටු නිර්මාණය කිරීමට කටයුතු කරන බොහෝ පිරිසක් රජයේ ඉඩම් අනූනව හෝ තිස් අවුරුදු බදු ක්‍රමයට ලබාගෙන සංවර්ධන කටයුතු සිදුකර තිබේ. තවත් පිරිසක් ඉතාමත් සූක්ෂම ලෙස ඉඩම් අත්පත් කරගනිමින් කඩොලාන කපා එළිපෙහෙළි කර ඉස්සන් වගාව සහ ලුණු කර්මාන්තය සිදුකරති.
වෙනත් ඉඩමක පත්ඉරු භාවිත කරමින් රජයේ ඉඩම් අල්ලාගැනීම සඳහා ඔප්පු සකස් කිරීම ඉතාමත් සූක්ෂම අයුරින් සිදුකිරීමට ඉඩම් ජාවාරම්කරුවන් හැකිවී ඇත. සින්නක්කරයක් හෝ ප්‍රකාශනයක් ලියා ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි කර වසර කිහිපයක් ගතවීමට හැර ඉඩමට අයිතිවාසිකම් කීමටත් එම ඉඩම්වල ලුණු කොටු හෝ ඉස්සන් කොටු සකස්කර අලවි කිරීමටත් කටයුතු කරති. එවැනි ඔප්පු සකස් කිරීම තුළ රජයේ ඉඩම් පහසුවෙන් අල්ලාගැනීමට හැකිවී ඇත. අනුන්ගේ ඉඩම්වලට ප්‍රකාශන ඔප්පු සකස් කිරීමේ දී කාලාවරෝධ පනතින් සකස් කර වසර දහයක් වැනි කාලයක් රහසිගතව තබාගෙන සිටීම තුළ සැබෑ ඉඩම් හිමියාට අයිතිය අහිමි වූ අවස්ථා ඇත.
ඉඩම් මංකොල්ලය හේතුවෙන් පවුල් සිය ගණනකට තමන්ට අයිති ඉඩම් අහිමිවීමත් තවත් විශාල පිරිසකට තමන්ගේ ඉඩම්වල අයිතිය ලබාගැනීම සඳහා පොලිසිවල, උසාවිවල කාලය ගතකිරීමට සිදුවී ඇත. නීතිය කාටත් එකයැයි කතාවට කීවත් ඒ සඳහා නඩු නිමිත්තකට යා යුතුමය. එදාවේල හොයාගනිමින් ජීවත්වන දුගී දුප්පතුන්ට ඒ සඳහා යොමුවීමට නොහැකියාවක් පවතී. නීතිය කාටත් එකය එහෙත් එය ක්‍රියාත්මක කිරීමේදී ධනවතා බලවතා ඉදිරියෙන් සිටි.
ඉඩම් අල්ලා ගැනීම සඳහා සිදුකරන පරිසර විනාශය පිළිබඳව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතා මෙසේ කියයි.
කලපුව ආශ්‍රිත පරිසර පද්ධතිය විනාශ කරලා විවිධ ව්‍යාපාර සිදු කරනවා. ඒක පරිසරයේ අලංකාරයට හානියක් වෙලා තිබෙනවා. ඔබලා ඒ සඳහා ගෙන ඇති පියවර මොනවාද?
අපි මේවා වළක්වන්න විශාල වැඩ කොටසක් කරලා තිබෙනවා. ඔබ කියන ඔය ගැටලුවක් තිබෙනවා කියලා මමත් පිළිගන්නවා. නමුත් ඕවා අද ඊයේ කරපුවා නෙවෙයි. කාලයක් ඉඳලා කරපුවා. නමුත් මේ හැම ඉඩමක්ම අපට අයිති නැහැ. ඒ සඳහා ආයතන තිබෙනවා. නමුත් අපට යම් පැමිණිල්ලක් ආවොත් ඒවා නතර කරන්න කටයුතු කරනවා. දිස්ත්‍රික් ලේකම්වරයා විදිහට මම මගේ නිලධාරීන්වත් දැනුම්වත් කරලා තිබෙනවා. කිසිම විදිහකින් ඉඩම් අල්ලා ගැනීමට අවසරයක් දෙන්න එපා කියලා.
එළුවන්කුලම අයිලිය රක්ෂිතය විනාශ කරනවා කියලා කතාවක් තිබෙනවා?
එහෙම කතාවක් තිබෙනවා නමුත් ඔය කියන කැලෑ සුද්ධකරන ස්ථානයට ඔප්පු තිබෙනවා. ජාවාරමක් සිදුවන්නේ නැහැ. පරම්පරාවෙන් ඔප්පු තිබෙන ඉඩම් අයිතිකාරයන්ගේ දරුවෝ දැන් භුක්ති විඳිනවා. කොහොමත් මේ පිළිබඳ අපි වැඩිදුර විමර්ශන සිදුකරනවා. මේ ඉඩම්, පරිසරය, කලපුව රැකගන්න එක අපි කාගේත් වගකීම. මහපරිමාන ඉඩම් මංකොල්ලයක් නැතත් පොඩි පොඩි ඒවා තිබෙනවා තමයි. අපි ඒවත් නතර කරමු.
♦ කතාව හා සේයාරූ - රෝවන් පෙරේරා