2017 ජුලි 01 වන සෙනසුරාදා

පාන් රාත්තල ඒ කාලේ වික්කේ රුපියලට

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 153

“ගොවි හමුදාවේ හිපටු අය නොයෙකුත් විපත්තිවලටත් මුහුණ පෑවා. සෝලේවැව කඳවුරේ හිටපු සෙබළෙක් වැඩ අරිලා කෑම්ප් එකට කට්ටිය එක්ක ට්‍රැක්ටරයක නැගලා එද්දී ට්‍රැක්ටරයේ ට්‍රේලරය වැවට පෙරළිලා පිකස් එක ඇනිලා එතැනම මැරුණා. පපු පෙදෙසින් ඇනුණු පිකස් එක පිට කොන්දෙන් මතුවෙලා තිබුණේ.”

ඒ කාලේ කෙනකුට අරක්කු බෝතල් දෙකකට වඩා ගෙනියන්න දෙන්නේ නෑ. ඒත් සී.ටී.බී. බස්වල රියැදුරන්, කොන්දොස්තරවරුන් බස්වල දාගෙන අරක්කු අරන් ගිහින් අතරමඟ කඩවලට දානවා.

දවසක් අපි නිවාඩු ගිහින් ආපහු කෑම්ප් එකට යන්න කුරුණෑගලින් අනුරාධපුර බස් එකකට නැග්ගා. ඒකේ රියැදුරු විටින් විට සිමෙන්ති කවරවලට දා ගත්තු අරක්කු බෝතල් දෙක බැගින් ගෙනත් මගීන් ළඟින් තිබ්බා. අපේ ගොවි හමුදාවේ කොල්ලෙක් වාඩිවෙලා හිටපු සීට් එක යටිනුත් බෝතල් දෙකක් තිබ්බා.

“ගල්ගමුවෙන් බහිද්දී මිනිහා අර අරක්කු බෝතල් දෙකත් අරන් බැහැලා ඒක හංගලා පැත්තකට වෙලා හිටියා. රියැදුරු බැහැලා හොයනවා. ඒත් හොයාගන්ඩ බැරිවුණා. ගල්ගමුවෙන් ඊළඟට අපි යන්නේ වරාවැව බස් එකේ. අපේ හාදයා වරාවැව බස් එකට අර බෝතල් දෙක දාගත්තා. කොහොම හරි වරාවැවේ බස් එකේ ඩ්‍රයිවර් ඒක දැකලා පස්සේ දවසක අර අනුරාධපුර බස් එකේ ඩ්‍රයිවර්ට කියලා. එදා ඉඳලා ගොවි හමුදාවේ කිසිම කෙනෙක් අර බස් එකේ දාගෙන යන්නේ නෑ. ඒ කාලේ අරක්කු (රට බීම) බෝතලයක් රුපියල් දොළහයි.”

“ගොවි හමුදාව විසුරුවා හැරියට පස්සේ ඔබේ ජීවිතය ගතවුණේ කොහොමද? මම අතුරු ප්‍රශ්නයක් ඔහුට යොමු කෙළෙමි.

“විසුරුවා හැරියට පස්සේ අපි ගම්වලට ගියානේ. පස්සේ නිවේදනයක් කළා කූපන් පොත් ගෙනියන්න කුරුණෑගල මූලස්ථානයට එන්න කියලා. කූපන් පොත් ටික ආපහු බෙදලා දුන්නා. ඔය අතර වාරේ මට කටයුත්තක් එකතු පාදු වුණා. (විවාහයක් සිදුකර ගත්තා) ඒ මේ ජයලන්ද ගමෙන්. උන්දෑ අඬගහගෙන වැල්ලවට ආරන් ගියා. ඊට පස්සේ සතොසේ මුට්ට කර ගැහුවා. ඔය 1971 අවුරුද්දේ. වැගන්වලින් ගේන හාල්, පිටි බෑවේ අපි. ඒක ස්ථීර රැකියාවක් නෙමෙයි.”
“පස්සේ 1973 අවුරුද්දේ අපි දෙන්නා ජයලන්දට පදිංචියට ආවා. ඒ ඇවිත් බේකරියක් පටන් ගත්තා. ඒ කාලේ පාන් පිටි පාලනය කරලානේ තිබුණේ. බේකරිවලට පර්මිට් දීලා තිබුණා. සතියකට පිටි හොණ්ඩර දහයකට මට පර්මිට් එකක් තිබුණා. සමුපකාරයෙන් තමයි අපට පිටි දෙන්නේ. ඒ වාගේම සමුපකාර ප්‍රාදේශිකවලින් තමයි පාන් අලෙවි කළෙත්. අපි පාන් දෙන්න ඕනත් සමුපකාරයට. මං උස්ගල සියඹලන්ගමුව කල්‍යාණ ප්‍රාදේශිකයට තමයි පාන් දුන්නේ. පාන් රාත්තලක් රුපියලයි ශතයයි. රුපියල අපට දෙනවා. ශතය සමුපකාරයට.”

“පිටිවලින් පාන් විතරයි හදන්න පුළුවන්. වෙන කෑම වර්ග හදන්න තහනම්. ඒ කාලේ මම පාන් ඇද්දේ පාන් පෙට්ටිය ඔළුව උඩ තියාගෙන ෆුට් සයිකලයක්වත් නෑ. පාන් මිලදී ගන්න එදා සමුපකාරවල මහා පෝලිම් තිබ්බේ.”

මං වැල්ලව ඉද්දි ටීටර් නැටුවා. මෙහේ ආවාට පස්සෙත් ඒක අත් ඇරියේ නෑ. අවුරුද්දකට සැරයක් කණ්ඩායමක් පුහුණු කරලා ටීටර් එකක් නටනවා. ජයලන්ද ගමේ ටීටර් එකක් පළමුවරට නැටුමේ මං. මෙහේ කොල්ලො නළුවන් ලෙස පුහුණු කරලා නිළියෝ පිටින් ගේනවා. ඔහෝම තමයි කළේ. පිට්ටනිවල තමයි ටීටර් නැටුවේ. ගම්වල මිනිස්සුන්ට සම්භාව්‍ය නාට්‍ය බලන්න පහසුකම් නෑනේ. ඒ නිසා ඒ අයව විනෝද වෙන්න, වින්දනයක් ලබන්න ටීටර් පෙන්නුවා. පොල් අතු ඉරුවක් හරි ඉටි රෙද්දක් හරි බිම එළාගෙන රෑ එළිවෙනකම් මිනිස්සු ටීටර් බලනවා. විදුලිය එදා තිබුණේ නෑ. පැට්‍රල් මැක්ස්වල එළියෙන් තමයි මේවා කළේ.

“ටීටර් නටනකොට බලන්ඩ එන අය නළු නිළියන්ට එක එක ආඩපාලි කියනවා. (නෝක්කාඩු, දෝෂාරෝපණ) එව්වා විඳගන්ඩ ඕන. දවසක් අපි ටීටර් එකක් නටනකොට ඒ කථාවේ දුෂ්ටයාගේ චරිතය කරපු නළුවාට නරඹමින් සිටි පුද්ගලයෙක් ”අනේ යකෝ, තෝ දික් කලිසමකුත් ඇඳගෙන උජාරුවට නැටුවාට තෝ මගේ වත්තේ පොල් හොරකම් කරපු එකානේ.” කියමින් ආඩපාළි කියන්න පටන් ගත්තා. දුෂ්ට නළුවාට තරහා ගියා. ඒ දර්ශනය ඉවර වෙලා එයා මඩුවට ගියා. ටික වේලාවකින් පොල් අතු මඩුව පැත්තෙන් ශබ්දයක් ඇහෙනවා. මේ කලබැගෑනිය බලන්න මං ගියා. යනකොට අර නළුවා උල් පිහියක් ඇදගෙන අර ආඩපාලි කීව කෙනාව මරන්න යන්න හදනවා. මම එයාට තරවටු කරලා පිහිය අරන් මගේ ඉනේ ගහගත්තා.”

“ටීටර්වලින් පස්සේ මම රූකඩ නාට්‍යය කරන්න පටන් ගත්තා. රූකඩ බලාගෙන ඒවා කපන්නත්, නටවන්නත් ගුරෙක් නැතිව පුරුදු වුණා. රූකඩ නාට්‍ය ගමේ පෙන්නුවා. මේවා ඉතිං මුදල් හොයන්නවත්, සම්මාන ගන්නවත් කරපු ඒවා නෙමෙයි. අපටත්, මිනිස්සුන්ටත් වින්දනයක් ලබන්න කරපු දේවල්.”

ගොවි හමුදාවට එකතු වී මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීමට සක්‍රීය දායකත්වයක් සැපයූ ඒ හමුදාව විසුරුවා හැරීමෙන් පසු ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන් මුත් ඉන් පසු නොබැස ජීවන අරගලය සමඟ කලාවද මුසු කර ගනිමින් ජීවිතය විඳින්න හැකිවූ මේ ගොවි හමුදා රසවතාට සුබපතා මම ඔහුගෙන් සමුගතිමි.


(ස්තූතිය - ජයලන්ද පදිංචි කේ.ඩී. තිලකරත්න මහතාට)
♦ කතාව හා සේයාරූ: ගල්ගමුව - නිහාල් ජයවීර