අය වැය යෝජනා අනුව 2015 වසරේ ජනවාරි පළමුවැනිදා සිට අවුරුදු 60ට වැඩි වියපත් ප‍්‍රජාවගේ ස්ථිර තැන්පත් වලට සියයට 15ක පොලියක් ගෙවන්නට තීරණය කළේය. මාස විසිහතරකට පසු අද වන විට එවැනි අතිරේක පොලියක් ගෙවන්නට අවශ්‍ය නැති පසුබිමක් පවතී. අද වාණිජ බැංකු විශේෂයෙන් ෆිනෑන්ස් හා ලීසිං සමාගම් ඉතා ඉහළ පොලී අනුපාත ගෙවන්නට සූදානම්ය. තරගකාරී මූල්‍ය ආයතන සියයට පහළොවක සිට දහ අට දක්වා වාර්ෂික පොලියක් ගෙවන බව අනාවරණය වෙයි.
පොලිය වැඩි වීම ඉතිරිකරන ගනුදෙනුකරුවන්ට වාසිදායකය. නමුත් ණය වෙළෙඳපොළ අර්බුදයකය. මෙරට සමස්ත ආර්ථිකයම එයින් අපහසුතාවයට පත් වෙමින් තිබේ. සමාජ හා ආර්ථික වශයෙන් දියුණු වන රටක, ණය හා තැන්පත් පොලී අනුපාතය ඉතා අඩු ප‍්‍රතිශතයක පවතී. බැංකු පොලි අනුපාත වැඩිවීම පරිභෝජනය අඩු කරන අතර අලුත් ව්‍යවසාය බිහිවීම සීමා කෙරේ. අවසාන ප‍්‍රතිඵලය උද්ධමනය ඉහළ යාම බව සඳහන් කළ යුතුය.
පසුගිය කාලයේ මෙරට පොලී අනුපාත අඩුවීම හෙයින් අපහසුතාවයකට පත් වූයේ විශ‍්‍රාමික ජනතාවයි. මුදල් බැංකුවක තැන්පත් කර එයින් එන පොලියෙන් ජීවත්වූ ඔවුන්ට පොලිය අඩුවීම ප‍්‍රශ්නයක් වූ අතර අතිරේක පොලියක් ගෙවීම ආණ්ඩුව කෙරෙහි අප‍්‍රසාදය පළ කරමින් සිටි විශ‍්‍රාමිකයන් සනසන ඡන්ද පොරොන්දුවක් විය. බැංකු වාර්තා අනුව ඒ වන විට හත් ලක්ෂ පනස් දහසක් පමණ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිරිසක් බැංකු තිස් තුනක බිලියන 750ක ස්ථිර තැන්පත් පවත්වාගෙන ගොස් තිබිණ. අතිරේක පොලිය වෙනුවෙන් වසරක් පාසා මෙම තැන්පත් වෙනුවෙන් ආණ්ඩුව රුපියල් බිලියන 7.5 බැගින් ගෙවන ලද බව සඳහන්ය. මෙපමණ සුළු පිරිසකට අතිරේක පොලියක් ගෙවන්නට බිලියන 7.5ක් වෙන්කරන්නට ආණ්ඩුවට සිදුවු නමුත් අද මෙරට සමස්ත මුල්‍ය අංශයම පොලිය වැඩිවීම මත ආර්ථිකයට දරන්නට සිදුවී ඇති අතිරේක පිරිවැය බිලියන කොපමණදැයි හිතා ගැනීම අපහසුය. අවසානයේ දී ඉහළ පොලිය මත සිදුවන ආර්ථික අකාර්යක්ෂමතාවයට වන්දි ගෙවන්නේ පොදු ජනතාවයි. ජනතාව එය දන්නේ නැත. ප‍්‍රතිපත්ති සම්පාදනය කරන මෙරට මූල්‍ය විශේෂඥයන් වහා සමබර පොලී අනුපාතයකට රට යොමු කළ යුතු අතර නොඑසේනම් එය පාලනය කරගත නොහැකි වීමෙන් බලවත් අර්බුදයක් ඇති කරනු ඇත.
ජනතාවට තම ධනය සුරක්ෂිත සහ වැඩි ආදායමක් ලැබෙන තැන්වල ආයෝජනය කරන්නට කැමැතිය. වාණිජ බැංකුවල තැන්පත් කිරීම ඒ අතර ප‍්‍රධාන එකකි. බැංකු පොලිය අඩු වන විට ප‍්‍රතිඵලය වූයේ තැන්පත් පහත වැටී පරිභෝජනය ඉහළ යාමය. පොලි අනුපාත අඩු සහ මුදල් තැන්පත් කිරීම වාසිදායක නැති අවස්ථාවේ දී එය සිදුවෙයි. එය රටකට හොඳ තත්ත්වයකි. ජනතාව තමන්ගේ අත ඇති මුදල් වියදම් කරයි. එවිට නිවාස වැඩි දියුණු කිරීම, විදුලිය උපකරණ, ආහාර පාන සහ ගමන් බිමන් වෙනුවෙන් වියදම් කරන්නට ජනතාව පෙළඹෙයි. ධනය ඉතිරි නොකර පරිභෝජනය කරන්නට පෙළඹෙයි. එය නිෂ්පාදන හා සේවා අංශවල ප‍්‍රසාරණයකට හේතුවෙයි. නමුත් බැංකු වලින් වැඩි පොලියක් ගෙවන විට ජනතාවගෙන් යම් කොටසක් කරන්නේ සිය එදිනෙදා අතිරේක අවශ්‍යතා අඩු කර වැඩි ආදායමක් තකා ධනය බැංකුවල තැන්පත් කිරීමයි. ජනතාව තම මුදල් බැංකුවක ස්ථිර තැන්පත් කරන විට රටේ පරිභෝජනයට එය ප‍්‍රශ්නයකි. අතිරේක වියදම් කරන්නේ නැත. අද වන විට ස්වර්ණාභරණ අලෙවිය අඩුය. නිවාස අලුත්වැඩියා නොකෙරේ. යාන වාහන හා ඉඩම් විකිණෙන්නේ නැති බව අලෙවිකරුවෝ කියති. කොටස් වෙළෙඳපොළ සුළු ආයෝජකයන්ගේ මිල දී ගැනීම් අඩුය. එය වාණිජ බැංකු පොලිය නැගීමේ සෘජු ප‍්‍රතිඵලයකි.
පොලිය වැඩිපුර ගෙවන්නට වාණිජ බැංකු සූදානම් ඇයි? එය වැදගත් ප‍්‍රශ්නයකි. ඉල්ලුම හා සැපයුම බලපා තිබේ. බැංකුවලින් ඉල්ලන මුදල් ප‍්‍රමාණය ඉහළ ගොස් තිබේ. වැඩිපුර ඉල්ලන්නේ ජනතාව නොවේ. ආණ්ඩුව හා ආණ්ඩුවට සම්බන්ධ ආයතන පද්ධතියයි. එම සැපයුම වෙනුවෙන් ජනතාවගෙන් තැන්පත් ගන්නට වාණිජ බැංකු පද්ධතිය යුහුසුළු වෙයි. පොලි අනුපාත ඉහළ යන්නේ එම ඉල්ලුම වෙනුවෙන් සැපයුම තුළිත වීමේ දීය. නිරීක්ෂණය කරන විට වැඩිම ණය ප‍්‍රමාණයක් ගන්නේ ආණ්ඩුව හා ආණ්ඩුවට සම්බන්ධ ආයතන බව පෙනේ. පාඩු ලබන රජයේ ආයතන සියල්ල ඒවායේ තාවකාලික මුදල් අවශ්‍යතා වෙනුවෙන් බැංකු වලින් ණය ගනී. මෙම ණය සැපයීම සඳහා බැංකු අත දිගු කරන්නේ ජනතාව වෙතය. ජනතාවගේ ඉතිරිකිරීම් වෙනුවෙන් වැඩි පොලි ගෙවා වහා ලබාගන්නා ණය බැංකු විසින් ආණ්ඩුවේ ආයතනවලට නිකුත් කරන අතර, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ද මිලදී ගනී. ආණ්ඩුවට ණය දෙන්නට බැංකු පද්ධතිය කැමැතිය. මන්ද එය ඉතා සුරක්ෂිත හා අවදානමක් නැති ක්ෂේත‍්‍රයකි. වැඩි පොලියක් ලැබෙයි.
පාර්ලිමේන්තුවේ දී නොබෝදා අනාවරණය වු වැදගත් කරුණක් තිබේ. එනම් 2015 වසරේ පාර්ලිමේන්තුව අනුමත කරන ලද ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 1,780 කි. නමුත් එය රුපියල් බිලියන 1,569 කින් අභිබවා රුපියල් බිලියන 3,345 ක් දක්වා ණය ගෙන තිබේ. 2016 දී ත් සිදුවූයේ එයයි. දැන් කරන්නේ ද එයමය. මෙවර අය වැය අනුව රුපියල් බිලියන 600කට වඩා දේශීය ණය ගන්නට ආණ්ඩුවට සිදුවෙයි. මෙම සැපයුම වෙනුවෙන් ජනතාවගෙන් වැඩි පොලියට තැන්පත් ලබා ගැනීම හැර අන් ක‍්‍රමයක් නැත. අද වන විට වාණිජ බැංකු පොලීය වැඩි වෙන්නේ මේ අනුවය.
බැංකු පොලිය වැඩි වන විට ජනතාවට හොඳ පොලියක් ලැබෙන නමුත් වාණිජ බැංකු මෙම පොලිය ගෙවන්නේ කෙසේද? එක පැත්තකින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ව්‍යාපාර වලට දෙන ණය හා තාවකාලික බැංකු අයිරා වලින් ය. අනෙක් පැත්තෙන් ස්වයං රැකියා හා හදිසි ණය වෙනුවෙන් ජනතාව ගන්නා මගින්ය. ඛණිජ තෙල් සංස්ථාව, විදුලිය බල මණ්ඩලය, දුම්රිය සහ ලංගම යන ප‍්‍රවාහන සේවා. ශ‍්‍රී ලන්කන්, තැපැල් දෙපාර්තමේන්තුව සහ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන ස්වකීය දෛනික මුදල් අවශ්‍යතා වෙනුවෙන් රාජ්‍ය බැංකු වලින් විශාල වශයෙන් ණය ගනී. ණය ගත්විට ඒවායේ පොලිය සමඟ ආයතන නැවත වතාවක් පාඩු වාර්තා කරයි. පාඩු පියවන්නට ගාස්තු නංවයි. බස් කර්මාන්තයේ පාඩුවට පොලිය බරපතළ හේතුවකි. රට පුරා ධාවනයවන බස් සියයට අනූවක් පමණ ෆිනෑන්ස් ක‍්‍රමයට මිල දී ගත් ඒවාය. ඒවායේ වාරිකය හා පොලිය ගෙවන බස් අයිතිකරුවෝ අන්තිමේ දී ව්‍යාපාරය ලාභ නැති බව කියති. ජල සම්පාදන මණ්ඩලයට සිදුවී ඇත්තේ ද එයයි. ශ‍්‍රී ලන්කන් හා විදුලියබල මණ්ඩලය මෙරට රාජ්‍ය බැංකුවලට ධන උල්පත්ය. ඒවායෙන් ලැබෙන පොලිය රාජ්‍ය බැංකුවල ලාභය දෙගුණ තෙගුණ කර තිබේ. මේවායේ වාසිය ජනතාවට බරකි. ජනතාව බදු ගෙවන්නේ මෙම පොලියට ද සමඟ වීම එහි භයානක පැත්තයි. රාජ්‍ය ව්‍යවසාය කාර්යක්ෂම නොවන තාක් කල් එය නොනවතින චක‍්‍රයකි. පොලී අනුපාත අඩුවීම සමස්ත ආර්ථිකයටම වාසියක් වෙන්නේ ඒ අනුවය.
ආණ්ඩුවේ ණය ගැනීම් හෙයින් ඇතිවී තිබෙන ප‍්‍රතිඵලය කුමක්ද? භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවලට වාර්ෂිකව ගෙවන පොලිය ක‍්‍රමයෙන් ඉහළ යමින් තිබේ. පසුගිය කාලය දෙස බලන විට 1998 වසරේ දී භාණ්ඩාගාර පොලී අනුපාත සියයට 26 ක් දක්වා ඉහළ ගොස් තිබිණි. එකල උද්ධමනය සියයට දහනමයක් විය. එහි දී වැඩි පොලියෙන් ජනතාවගේ අතට ආදායමක් ලැබෙන නමුත් එම ආදායම ද වාෂ්පවෙන්නේ උද්ධමනය වැඩි වන පසුබිම තුළය. දේශීය ණය අඩු කරන ප‍්‍රතිපත්තිය තුළ 2015 වසර වන විට මෙරට භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය සියයට 6 දක්වා පහත වැටිණ. එය ඉතිරිකරන ජනතාවට වාසිදායක නැතත් ආර්ථිකයට හිතකරන තත්ත්වයක් විය. අද වන විට තත්ත්වය වෙනස් වෙමින් තිබේ. නැවතත් භාණ්ඩාගාර බිල්පත් පොලී වැඩිවෙමින් තිබේ. 2017 මැයි මාසයේ දී සියයට 11.79 දක්වා වැඩිවී ඇත. එය මෙරට වාණිජ බැංකු පොලිය වැඩි වෙන හේතුව අනාවරණයකරන සංකේතයකි. මෙය පෙන්වන්නේ ආණ්ඩුව සියයට දොළහක පමණ පොලියකට ණය ගන්නට සූදානම් බවය. ආණ්ඩුවේ එදිනෙදා වියදම්වලට අවශ්‍ය මුදල් සොයා ගන්නේ මෙවැනි ණය ගැනීම හෙයින් වන විට ඉදිරියේ දී බැංකු පොලිය තවත් වැඩි වෙතැයි උපකල්පනය කළ හැකිය.
බැංකුවල තැන්පත් හා ණය පොලී අනුපාත වැඩිවන විට වැඩි පොලියට මුදල් ගන්නා කර්මාන්ත, වෙළඳ හා සේවා ඇතුළු සියළු අංශ වල පිරිවැය ඉහළ යයි. පොලේ බඩු විකුණන වෙළෙන්දකු තම බැංකු අයිරාවට වැඩි පොලියක් ගෙවන විට ඔහු එය ගෙවන්නේ තමන් විකුණන දෙයට පොලිය එකතු කිරීමෙන් පසුවය. එය ක‍්‍රමයෙන් වැඩි වන විට නිෂ්පාදකයාගේ මිල හා පාරිභෝගිකයාගේ මිල අතර විශාල පරතරයක් ඇති වෙයි. අපෙන් තුට්ටුවට ගන්නා දේ වෙළඳපොළේ දී ඉහළ මිල ගණන්වලට යැයි ගොවියන් මැසිවිලි නගන්නේ මෙම පසුබිම තුළය.
බැංකුවල තැන්පත් පොලිය අඩු කළ හැකි නම් ණය පොලිය අඩු වීමෙන් බැංකුවෙන් ණයක් ගෙන ව්‍යවසායකත්වය නැංවීමට ඉඩ ලැබේ. එය ආර්ථිකයට ඉතාමත් වැදගත් මෙහෙවරක් ඉටු කරයි. අද වන විට ව්‍යවසායකයකුට සියයට විස්සකට වැඩි පොලියකට බැංකුවකින් ණය ගෙන අලුත් ස්වයං රැකියාවක් ඇරඹිය හැකිද? ශ‍්‍රී ලංකා මහ බැංකුව ස්වශක්ති නමින් ස්වයං රැකියා විසිපන්දහසකට රුපියල් ලක්ෂ දෙක බැගින් ණය දෙන්නට තීරණය කර තිබේ. එම ණය වෙනුවෙන් අය කරන්නේ සහන පොලියකි. පවතින පොලිය වැඩි බැවින් එවැනි තීරණවලට එළැඹෙන්නට සිදුවී ඇත. මහ බැංකුව විසිපන් දහසකට පමණක් එම සහනය දෙන්නට තීරණය කරන විට එකී පොලියේ බරද බදු හරහා ජනතාව වෙත පැවරෙන අතර රටේ අනෙක් ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන් පමණක් නොව රාජ්‍ය ආයතනද වැඩි පොලී අනුපාත හෙයින් පීඩාවට පත්ව ඇති බව අවධානයට නොගන්නේ මන්ද? මෙම ස්වභාවය රටේ මූල්‍ය අංශයේ පවතින ගැටලුව පෙන්වයි. මූල්‍ය අංශය තරගකාරීව පවත්වාගෙන යමින් තැන්පතු පමණක් නොව ණය පොලිය ද අඩු මට්ටමක පවතින්නේ නම් අලුත් ව්‍යවසාය ඇතිවෙයි. ආණ්ඩුව ණය ගැනීම සීමා කරන විට අලුත් කර්මාන්ත සහ ස්වයං රැකියා බිහිවෙයි. එය ආර්ථිකයේ ප‍්‍රසාරණයට හේතුවකි.
♦ ගාමිණී සරත් ගොඩකන්ද
gsgodakanda@gmail.com