2017 ජුලි 01 වන සෙනසුරාදා

ඔක්කොමට හොරෙන් බද්දට දුන් ගාලුකොටුවේ හිල්ටොප් ඉඩම

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:02 225

ගාල්ල ඓතිහාසික කොටුව ලෝක උරුමයකි. මෙම ඓතිහාසික කොටුව තුළ සුවිශේෂි ස්ථාන ස්මාරක සහ පෞරාණික ගොඩනැගිලි රාශියක් පිහිටා තිබේ. එහෙත් මෙම ලෝක උරුම සීමාව තුළ පිහිටි ඉතා වටිනා භූමියක් කිසිම ටෙන්ඩර් පරිපාටියකින් තොරව සංචාරක කර්මාන්තයක් සඳහා අනූ නව අවුරුදු බදු ක්‍රමය යටතේ පෞද්ගලික සමාගමකට බදුදීම පිළිබද ගාලු නගර වැසියන් තුළ ඇත්තේ දැඩි කලකිරිමකි. මෙම භූමිය හඳුන්වන්නේ හිල්ටොප් මන්දිර භූමිය යනුවෙනි.

ගාල්ල නගර සභාවට  යාබදව මහ සයුරට මුහුණලා පිහිටි මෙම භූමියේ විශාලත්වය අක්කර දෙකයි පර්චස් පහකි. ගාල්ල නගරයේ දර්ශනීය ස්ථානයක පිහිටි හිල් ටොප් භූමියේ වාණිජ වටිනාකම ඉතා විශාලය.

එහෙත් මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය විසින් අනු නව අවුරුදු බදු ක්‍රමය යටතේ පෞද්ගලික සමාගමකට බදුදී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය භාර ඇමතිවරයා පවා නොදැන බව වාර්තාවේ.

එපමණක් නොව ගාල්ලේ එක්සත් ජාතික පක්ෂ නායකයෙකු වන ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පවා මෙම භූමිය බදුදීම පිළිබද කිසිවක් නොදන්නා බවද සඳහන් වේ. 

පෞද්ගලික ඉඩමක්වූ මෙහි මුලින් හිල් ටොප් යනුවෙන් හෝටලයක් පවත්වා ගෙන ගොස් ඇත. පසුව 1988 දී පමණ මෙම භූමිය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන තිබිණි. ඊට පසු 1988 කලබල සමයේදී මුලින් මෙම ගොඩනැගිල්ලේ යුද හමුදා කඳවුරක් පවත්වා ගෙන ගොස් තිබේ. එම යුද හමුදා කඳවුර ඉවත් කළ පසු 1988 දි පිහිටවූ ප්‍රථම දකුණු පළාත් සභාව මෙම ගොඩනැගිල්ලේ පවත්වා ගෙන යනු ලැබීය.

දීර්ඝ කාලයක් තිස්සේ මෙහි පවත්වා ගෙන ගිය පළාත් සභාව සඳහා ගාල්ල කලේගානේ ඉදිකරවන ලද නව ගොඩනැගිල්ල වෙත පළාත් සභාව රැගෙන යෑමෙන් පසුද පළාත් සභාවේ අමාත්‍යංශ කීපයක් පවත්වා ගෙන ගියේය. මේ අතර 2012දී පමණ මෙම ගොඩනැගිල්ල සහිත භූමිය නැවත නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්නා ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි කාලයේදීය. ඊට පසු මෙම ස්ථානය කිසිම කටයුත්තක් සඳහා යොදා නොගැනිම නිසා පාළුවට ගොස් තිබේ. 2015 එක්සත් ජාතික පක්ෂ යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව එම රජයේ ආර්ථික කටයුතු උප කමිටුව මෙම භූමිය සංචාරක කර්මාන්ත සඳහා පෞද්ගලික සමාගමකට අනූ නව අවුරුදු බදු කුමය යටතේ බදුදිමට පියවර ගෙන ඇත. මෙම භූමිය එම සමාගමට බදුදීමෙදී බොහෝ වැරදි සිදුවී ඇති බව දකුණු පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි නලින් හේවගේ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් නලින් හේවගේ මහතා නගන චෝදනා මෙසේය.

“2015දී  එක්සත් ජාතික පක්ෂ යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසු එම ආණ්ඩුවේ ආර්ථික කටයුතු උප කමිටුව 2015 ජුලි මස 7 වැනි දින රැස්වී මෙම වටිනා භූමිය ගාලු උරුමය ලංකා (පෞද්ගලික) සමාගමට අනු නව අවුරුදු ක්‍රමය යටතේ සංචාරක කර්මාන්තයකට බදුදීමට තීරණය කර තිබුණා. ඒ අනුව රුපියල් මිලියන 516.75කට එම ඉඩම බදු දෙන්නේ කිසිම ටෙන්ඩර් පරිපාටියකින් තොරවයි. මෙම භූමිය බදුදීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. එම ගිවිසුමට එවකට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස ප්‍රියා ජයවර්ධන, අධ්‍යක්ෂ ජෙනරාල් ධනංජය සිරිවර්ධන යන අයත් ගාලු උරුමය ලංකා (පෞද්ගලික) සමාගම වෙනුවෙන් මිසාකෝ තනතා සහ අධ්‍යක්ෂවරයකුවන ඩී.එස්. ගුණසේකර යන දෙදෙනාද අත්සන් කර තියනවා. මෙම භූමිය ගාලු උරුමය ප්‍රදේශය තුළ පිහිටා ඇති නිසා පෞද්ගලික සමාගමකට බදුදීමේදී පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණාද කියා දන්නෙ නැහැ. තක්සේරු වාර්තා ලැබුණාද කියා දන්නේ නැහැ.

මේ පිළිබද මම දිගින් දිගටම ප්‍රශ්න කළා. පළාත් සභාවේදී මම ප්‍රශ්න කළා. නමුත් මෙම ඉඩම බදුදීම පිළිබඳ දකුණු පළාත් සභාවේ ඉඩම් ඇමතිවරයා කිසිවක් දන්නේ නැහැ. දකුණු පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයා කිසිවක් දන්නේ නැහැ. ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවේදි එම කමිටුවේ සභාපතිවරයා වන ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන ඇමැතිවරයාගෙන් විමසුවා. නමුත් එතුමා කිසිවක් දන්නේ නැහැ. 

මේ ඉඩම බදුදුන්නේ කෙසේද කියා. ඊටපසු ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විමකට පැමිණි විෂය භාර ඇමතිවරයාවන පාඨලී චම්පක රණවක ඇමතිවරයාගෙන් මම මේ ගැන විමසුවා. නමුත් එතුමා මේ පිළිබද කිසිවක් දන්නේ නැහැ. ඒ නිසා ගාල්ල නගරයේ පිහිටි වටිනා ඉඩමක් බදුදීමේදී නිසි ටෙන්ඩර් පරිපාටිය අනුගමනය කර නැහැ. තවත් නොයෙක් අක්‍රමිකතා සිදුවී තියනවා. මේ වන විට සංචාරක කර්මාන්තය සඳහා එම ස්ථානයේ තිබූ ගොඩනැගිල්ල කඩා දමා සිව් මහල් ගොඩනැගිල්ලක් ඉදි වෙනවා. නමුත් මේ සිදුවිම් තුළ අප තුළ විශාල සැකයක් ඇතැයිද” නලින් හේවගේ මහතා කීය.

♦ ගාල්ල ඩී.එල්. රවිදු

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00