2017 ජුලි 01 වන සෙනසුරාදා

මුදල් ඇමැතිගේ බියර්-වයින් විප්ලවය

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 313

මුදල් ඇමැතිගේ වයින් බියර් කතාවට මේ වනවිට රටේ ඇතැම් පාර්ශ්ව ඇවිස්සී ගොසිනි. වයින් බියර් මිල අඩුකිරීමක් ගැන මංගල සමරවීර මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව දේශපාලන වේදිකාවේ මේ දිනවල වැඩියෙන්ම ඇහෙන මාතෘකාවක් වී තිබෙනවා මෙන්ම සමාජ මාධ්‍ය තුළත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබේ. මංගලගේ කතාව බොහෝ දෙනකු හුදෙක් සමච්චලයට ගෙන තිබුණත් එය බරපතළ ප්‍රකාශයක් වන්නේ ඔහු මුදල් ඇමැති පුටුවේ හිඳගෙන එම ප්‍රකාශය කිරීම නිසා ය. මේ වියමනෙහි අරමුණ වන්නේ ඇමැති මංගල එවැනි ප්‍රකාශයක් කිරීම සුදුසු ද නැද්ද යන්න පූර්වගාමී මතයක හිඳ විනිශ්චයට ලක්කිරීමට නොව එය සාකච්ඡාවට ගැනීමය. 

ඉකුත් 22 වැනිදා පාර්ලිමේන්තුවේ තම කතාව පවත්වමින් මුදල් ඇමැතිවරයා ප්‍රධාන යෝජනා කිහිපයක් ඉදිරිපත් කළේය. ඒ අතර මත්පැන් සමාගම් සඳහා වන රුපියල් මිලියන 100 නිෂ්පාදන බද්ද රුපියල් මිලියනය දක්වා පහළ දැමීම, බියර් සහ වයින් මිල පහත හෙළිමෙන් ජනතාවට සහනයක් ලබාදීම, නිවාඩු දිනයන්හිදී බාර් වැසීම නිසා මත්පැන් අලෙවිය වැඩිවීම, සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය තකා ආගමික නිවාඩු දිනවලදීත් බාර් විවෘත කරතැබීම ගැන සංවාදයකට එළඹිම යන කරුණු ඒ අතර විය. 

මත්පැන් යනු සමාජ උවදුරක් බව අවිවාදයකින් තොරව සියලුදෙනා පිළිගන්නා සත්‍යයකි. එය සෞඛ්‍යමය හේතූන් මත සත්‍යයක් වනවා සේම ආගම දහම හා සංස්කෘතිය හරහා ද අපේ මනසට දීර්ඝ කාලයක් තිස්සේ ඇතුළු වී පැළපදියම් වූ අදහසකි. එමෙන්ම මත්පැන් පානය නුසුදුසුය යන්නට එය ‛සුද්දා අපට බෝ කළ දෙයක්’ ය යන අධිරාජ්‍ය විරෝධී හැඟීමක් ද අතරින් පතර එක්වී තිබෙනු නිරීක්ෂණය කළ හැකිය. ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකාව යනු යහමින් මත්පැන් පරිභෝජනය කරන රටක් ලෙස මෑත කාලීන ඉතිහාස සමාජ දත්ත පෙන්නුම් කරයි.

දකුණු ආසියාව තුළ ඉන්දියාවට පසු වැඩියෙන්ම මත්පැන් පරිභෝජනය කරන රට වන්නේ ශ්‍රී ලංකාවය. බංග්ලාදේශය, නේපාලය, භූතානය වැනි රටල් සිටින්නේ අපට වඩා ගව් ගණනක් දුරින් බව ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත පිරික්සීමේදී පැහැදිලි වේ. දකුණු ආසියාවේ සංචාරක කර්මාන්තය හොඳින් ක්‍රියාත්මක වෙන, වඩාත් නිවැරදිව කියතොත් සංචාරක කර්මාන්තය රටේ ආර්ථිකයේ ජීවනාලිය කොටගත් මාලදිවයිනේ මත්පැන් පරිභෝජනය ලංකාවට වඩා කිහිපගුණයකින් අඩුය. නමුත් මාලදිවයින වාර්ෂිකව ආකර්ෂණය කරගන්නා විදෙස් සංචාරකයන් ප්‍රමාණය ද ලංකාවට වඩා කිහිපගුණයකින් වැඩිය. මාලදිවයිනේ උපාය මාර්ගය වන්නේ මත්පැන් විදෙස් සංචාරකයන්ට පමණක් ලබාගත හැකි වන අයුරින් මත්පැන් බලපත්‍ර හෝටල් ආශ්‍රිතව පමණක් අලෙවි කිරීම ය. දේශීය ජනතාවට මත්පැන් පරිභෝජනය තහනම්ය. 

අනෙක් අතට ලාංකිකයන්ගේ මත්පැන් පරිභෝජන රටාව පිළිබඳව ද ඇත්තේ බරපතළ අර්බුදයකි. ශීත කලාපීය රටවල ජනතාවගේ එදිනෙදා ජීවිතයේ අංගයක් බවට මත්පැන් පත්ව ඇත්තේ ශරීර උණුසුම යන කාරණාව හා බද්ධ වෙමිනි. ඝර්ම කලාපීය රටක ජීවත් වෙන ලාංකිකයා මත්පැන් පරිහරණය කරද්දී මත්වීම ම තම අරමුණ කරගනී. 
මීට මාස කිහිපයකට මෙරට ප්‍රකට වෛද්‍යවරයෙකු හා පුවත්පතට සිදුකළ සාකච්ඡාවක් අතරතුරදී මත්පැන් පිළීබඳ මාතෘකාවට අපේ අවධානය යොමුවිය. 

“ලංකාවේ මිනිස්සුන්ගෙ වැරැද්ද තමයි මත්පැන් පාවිච්චි කරන හැටි මිනිස්සු දන්නෙ නෑ. මත්පැන් ගන්නව නම් ගන්න ඕනෙ බොහොම පොඩ්ඩයි. ඒකෙන් පොඩි boost එකක් ලැබෙනවා. ඒත් අපේ මිනිස්සු කරන්නේ වෙරි වෙනකල් බීලා බීලා කාණු පල්ලෙ වැටිලා ඉන්න එකයි” ඔහු කීය. 

යථාර්ථය ද එයමය. නාගරික හෝ ග්‍රාමීය භේදයකින් තොරව බොහෝ දෙනා උත්සාහ ගන්නේ වෙරි වෙන තුරු බීමට ය. ඉන්පසු යකා වැහුණාක් මෙන් ඔවුන් සිදුකරන ක්‍රියාකාරකම්වලින් වන්දි ගෙවන්නට සිදුවන්නේ ඔහු අවට සිටින අයටය. එහිදී වැඩිම අසරණභාවයකට පත්වන්නේ කාන්තාවන් හා ළමුන් ය. මෙරට ප්‍රකට සමාජ විද්‍යාඥයකු වන මහාචාර්ය කේ. කරුණාතිලක පවසන ආකාරයට කසිප්පු පමණක් නොව වයින් බියර් බීව ද ඒ මිනිසුන්ගේ අඩන්තේට්ටම්වලට රටේ වැඩිම ජනගහන සංයුතිය කාන්තාවන් හා ළමුන් ලක්වීම වළක්වාගැනීමට හැකියාවක් නැත. 
තමන්ට ලොකු වැඩි යැයි කියූ මුදල් ඇමැති සපත්තු කුට්ටම දා ගත් මංගල බියර් වයින් මිල අඩුකරන්නේ කසිප්පුවලින් භාණ්ඩාගාරය පොහොසත් නොවන නිසා දැයි අපි නොදනිමු. ඒ ගැන ඍජුව ප්‍රශ්න කිරීමට ඔහුගේ දුරකථනයට ඇමැතුමක් ලබාදුන්න ද ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි විය. 

කෙසේ හෝ වේවා කසිප්පු භාවිතය අවම කිරීමට වයින් බියර් මිල අඩු කිරීම ප්‍රායෝගික යැයි මංගල සමරවීර ඇමැතිවරයා කීව ද එය එසේ නොවනු ඇතැයි ද ඊට වඩා බරපතල සමාජ ප්‍රශ්න මතුවිය හැකි යැයි ද තොරතුරු දැක්විය හැක. මත්පැන් බොන්නන්ගෙන් 60% බොන්නේ කසිප්පුයයි මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ ඒ අතරය.

මෙලෙස මූලිකව කසිප්පු සඳහා වෙළෙඳපොළක් නිර්මාණය වී ඇත්තේ බොහෝවිට ගම් මට්ටමෙනි. එහිදී ගම තුළ බාර් බහුල නොවන නිසාත් හොර රහසේ පෙරන කසිප්පු පහසුවෙන් ලබාගත හැකි නිසාත් කසිප්පු පානය ජනප්‍රිය වී තිබේ. කසිප්පු මිල අඩුවිය හැක. නමුත් වයින් බියර් මිල පහත දැමූ පමණින් කසිප්පු පානය කරන තැනැත්තා වයින් හෝ බියර් බොතැයි අනුමානයකට එළඹිය හැකි ද? ගමේ වැලිගොඩ දමන්නා, කුලී වැඩ කරන්නා බියර් කෙසේ වෙතත් කසිප්පු අත්හැර වයින් බොනු ඇතැයි සිතීම පවා විහිළුවකි. 

අනෙක් අතට වයින් හා බියර් මිල ගණන් අඩුවීම තරුණ පරපුර ඒ වෙත ආකර්ෂණය වීමට ප්‍රබල උත්ප්‍රේරකයක් වනු ඇත. නවීන ලෝකය හා බද්ධ වුණු ගමේ තරුණයා පවා අද කසිප්පු බොන්නේ නැත. අරක්කුවලටත් වඩා ඔවුන් ද යොමුවී සිටින්නේ දේශීයව නිපදවෙන හෝ විදේශයන්ගෙන් ගෙන්වන සැර මත්පැන්වලටය. එවන් පසුබිමක වයින් බියර් මිල අඩුකිරීම හා කසිප්පු පානය අවම කිරීම අතර ඇත්තේ නොගැලපෙන සම්බන්ධයක් බව වටහාගැනීමට පර්යේෂණ කළ යුතු නැත.

2015 වසරේදී මෙරට සෞඛ්‍ය අමාත්‍යංශයත් ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ව දියත් කළ අධ්‍යයනයකදී හෙළිකරගෙන තිබුණු ආකාරයට එක් වසරක් තුළදී මත්පැන් භාවිතය නිසා රටට සිදුවන අලාභය රුපියල් කෝටි 14,0000කට වැඩිය.  ශ්‍රී ලංකා මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසන ආකාරයට 1995දී එවකට මුදල් ඇමැතිවරයාව කටයුතු කළ මහාචාර්ය ජී.ඇල්.පීරිස් ද මෙබඳුම තර්කයක් ගොඩනගමින් බියර් බදු අඩුකළත් එහි ප්‍රතිඵලය වී ඇත්තේ බියර් අලෙවිය අධික ලෙස වැඩිවීම ය. එනම් බියර් මගින් රජයට විශාල ආදායමක් අහිමිවී ගොස් තිබුණු අතර සැර මත්පැන් භාවිතයේ අඩුවීමක් ද සිදුවී නොමැත. ශ්‍රී ලංකාව තුළම එවැනි පැහැදිලි උදාහරණයක් තිබියදී මෙවැනි යෝජනාවක් නැවත වරක් ඉදිරිපත් වීම ගැටලු සහගත ය. 

අනෙක් අතට කුමන මත්පැන් වර්ගයක් වුවද ශරීරයට එතරම් හිතකාරී වන්නේ නැත. ඇමැතිවරයා යෝජනා කරන වයින් හා බියර් නිසා පිළිකා වැළඳීමේ අවදානම වැඩිවන බව දැන් සොයාගෙන තිබේ. එහිදී කාන්තාවන්ට ඇති බලපෑම වැඩි ය. දිනකට වයින් වීදුරුවක් හෝ බියර් කෑන් එකක් පානය කිරීමෙන් කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම සියයට දහයකින් පමණ ඉහළ යන බව ලෝක පිළිකා පර්යේෂණ පදනමේ  පර්යේෂණ මගින් තහවුරු කරගෙන ඇත. 

තවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා හෙළිකරන අන්දමට ලොව මරණ තුනෙන් එකකට වගකිව යුත්තේ මත්පැන් ය. එය වාර්ෂිකව මිලියන 2.5ක් තරම් වේ. ඒ නීත්‍යානුකූල යැයි පවසන මත්පැන් භාවිතය ද ප්‍රධාන කොටගෙන ය. එමෙන්ම අද ලෝකය මුහුණ දී ඇති තර්ජනයක් වන්නේ පිළිකා, දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග ව්‍යාප්තිය ය. මත්පැන් භාවිතයෙන් වැළැකී සිටීම එවැනි රෝග ඇතිවීම වළක්වාගත හැකි ප්‍රධානම ක්‍රියාමාර්ගයක් ලෙස ද ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබේ. 

කසිප්පු වේවා බියර් වයින් වේවා වෙනත් සැර මත්පැනක් වේවා එයින් සමාජයට ඇතිවන අහිතකර බලපෑම් අවම කරගත හැක්කේ නිසි සමාජ දැනුම්වත්භාවයක් තුළිනි. සමාජ දැනුම්වත්කිරීම් කොයිතරම් ඵලදායී ද යන්න කෙනෙක්ට පෙරළා ප්‍රශ්න කළ හැකි මුත් කිව හැක්කේ ප්‍රායෝගිකව එහි ඵලදායීත්වය තහවුරු වී ඇති බව ය. මීට දශක එකහමාරකට පෙර රට තුළ පැවැති දුම්වැටි සංස්කෘතිය අද නැත. අප කුඩාකාලයේ දුටු දුම්වැටි දල්වාගෙන කඳු නඟින රූපවාහිනී හා පුවත්පත් වෙළඳ දැන්වීම් අද නැත. දුම්වැටියක් පානය කිරීම වීරකමක් යැයි සැලකූ සමාජයක සිට එය තමා විසින්ම තමාට කරගන්නා කොඩිවිනයක් යැයි සිතන තැනකට සමාජය, විශේෂයෙන්ම තරුණ පරපුර ගමන් කළේ ඉතා වේගයෙනි. මුදල් ඇමැතිවරයාගේ සැබෑ අවශ්‍යතාවය රටේ ජනතාවට මත්පැන් භාවිතය නිසා සිදුවන සෞඛ්‍යමය හානිය වැළැක්වීම නම් කළ යුත්තේ එය මිස විසෙන් විස නසන්නට යාම නොවේ. 


♦ රජිත ජාගොඩ ආරච්චි