2025 මාර්තු 15 වන සෙනසුරාදා

පොහොසත් රටක් සහ ලස්සන ගැහැනියක්

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 1

තවත් කාන්තා දිනයක් ගෙවී ගියේය. සුපුරුදු පරිදිම උත්සව, දේශන, සංගීත සංදර්ශන, නාට්‍ය හා පෙළපාලි යනාදියෙන් අඩුවක් නොවීය.

කාන්තා දිනයට, දින කිහිපයකට කලින් පැවති ට්‍රම්ප් ප්‍රතිපත්ති විරෝධී පෙළපාලියකදී කාන්තාවෝ ඇඳිවත උනා දමා නිරුවතින් ගමන් කළහ. එය බලා සිටි පිරිමි අත්පොළසන් දුන්හ. ගැහැනු නිරුවත, පිරිමි නිරුවතට වඩා බලවත් බව ඒ විරෝධතාවේදී ද ලොවට පැහැදිලි වුණි.

කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුය යනු සෑම කාන්තා දිනයකදීම ඉහළින් ඔසවා තැබෙන සටන් පාඨයකි. පිරිමියකු වශයෙන් මම ද එයට අත් ඔසවා සහාය දෙමි.

සාමාන්‍යයෙන් මා ගැහැනුන්ට බය නැත. ගැහැනු ද මට බය නැත. එසේ හෙයින් මගේ ජීවිතයේදී ගැහැනු සබඳතා ඉතා සාමකාමීවත්, සහජීවනයෙන් යුතුවත් පවත්වාගෙන යා හැකිව තිබේ.

“සැමියා බිරිඳගේ දෙවියා” නම් බිරිඳ සැමියාගේ දේවතාවිය විය යුතුය. එවිට කාන්තා අයිතිවාසිකම් හෝ විමුක්තිය පිළිබඳ ලොකු ප්‍රශ්න ඇතිවන්නේ නැත. නිවසේදීම කාන්තා ප්‍රශ්න විසඳා ගත් කල සමාජයට එය ලොකු බරක් වන්නේ නැත.
මෑතකදී සමාජ මාධ්‍ය ජාලයේ මෙවැනි උපහාස කියුමක් පළ විය.

“ඔබේ ජීවිතයේ බොහෝ ගැහැනු වේ නම් ඔබ සාර්ථකය.
උදාහරණය ඩොනල්ඩ් ට්‍රම්ප්.”

“ඔබේ ජීවිතයේ කිසිදු ගැහැනියක නැතිනම් ඔබද සාර්ථකය.
උදාහරණය නරේන්ද්‍ර මෝදි.”

ඔබේ ජීවිතයේ සිටින්නේ එකම ගැහැනියක නම් ඔබ සාර්ථකද නැද්ද යන්න ඔබ විසින්ම තීරණය කළ යුතුය.

විවාහ සංස්ථාවක් නම් අනිවාර්යයෙන්ම එහි සභාපතිනිය භාර්යාවය. ස්වාමියාට ද යම් තනතුරු හිමි වේ. එහෙත් ඒවා නාමිකවය.
විවාහ සංස්ථාව සමබරව පවත්වාගෙන යාමද ලෙහෙසි පහසු නැත. එහෙත් ඒ සඳහා ක්‍රම සහ විධි ඇත.

ජර්මනියේ විවාහක යුවලක් ඔවුන්ගේ පනස් වැනි විවාහ සංවත්සරය පැවැත්වීමට කටයුතු කළහ. ඒ සඳහා ආරාධිතයකු වශයෙන් පැමිණි මාධ්‍යවේදියෙක් මෙසේ ඇසීය.
“මේ තරම් කාලයක් ඔබ දෙදෙනා අතර කිසිම ගැටුමක්, මතභේදයක් ඇතිවුණේ නැද්ද?”
“ඇත්තෙන්ම නෑ.”

සැමියා කීය.
“හරි සන්තෝසයි. එහෙම විවාහ ජීවිතයක් ගැන අහන්න ලැබෙන්නෙත් හරි කලාතුරකින්. ඔබ දෙදෙනා කොහොමද එහෙම සමගියෙන් කල්ගත කෙරුවෙ?”
එවිට සැමියා දිගු පිළිතුරක් දුන්නේය.

“අපි විවාහ වෙලා මධුසමය ගත කරන්න ගියේ කඳුකර හෝටලයකට. අපිට එහෙදි අශ්වයන් පිට නැගිලා වනාන්තරයේ පාරක ගමන් කරන්න ලැබුණා. මට ලැබුණු අශ්වයා නම් හරි කීකරුයි. ඒත් නෝනට ලැබුණු අශ්වයා ටිකක් අකීකරුයි. වැඩි දුරක් යන්න ලැබුණෙ නෑ. අශ්වයා නෝනව බිම දැම්මා. ඒත් නෝනා තරහ ගත්තෙ නෑ.”
“මේ පළවෙනි වතාවනෙ. කමක් නෑ.”
“එහෙම කියපු නෝනා ආපහු අශ්වයා පිට නැග්ගා. ටික දුරයි ගියෙ. ආයෙත් සැරයක් අශ්වයා උඩ පැනලා නෝනව බිම දැම්මා. ඒ පාරත් නෝනා තරහ ගත්තෙ නෑ.”

“මේ දෙවැනි වතාවනෙ. කමක් නෑ.”
තුන්වැනි වතාවටත් අශ්වයා උඩ පැනලා නෝනව බිම වැට්ටුවා.
ඒ පාර නෝනට යකා නැග්ගා. එයාගෙ රිවෝල්වර් එක අරන් අශ්වයට වෙඩි තිබ්බා. ඌ එතැනම වැටිලා මැරුණා.
මේක දැකපු මට තරහක් වගේම ලොකු දුකකුත් ඇතිවුණා.
“මොකද ඒ කරපු වැඩේ! ඇයි ඒ අහිංසක සතාට වෙඩි තිබ්බෙ?”
මම තරහෙන් කිව්වා.

නෝනා මගෙ දිහා හැරිලා බැලුවා.
මුල්ම වතාවේ අශ්වයට කිව්ව විදිහටම මටත් මෙහෙම කිව්වා.
“මේක ඔයාගෙ පළවෙනි වතාවනෙ. කමක් නෑ.”
“එදා ඉඳන් අද වෙනකල් අපි අතරෙ කිසිම ගැටුමක් නෑ. අපේ ගෙදර වෙඩින් ෆොටෝ එක ළඟින්ම තියෙන්නෙ අර අශ්වයගෙ ෆොටෝ එක.”
මාලිමා ආණ්ඩුවේ තේමා පාඨය වූයේ “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන්නය. පොහොසත් රටවල පොහොසත් ගැහැනු ලස්සනය. ඒ ඔවුනට ලස්සන වීම සඳහා අවශ්‍ය සැප පහසුකම්, ආහාර පාන හා මුදල් හදල් තිබෙනා බැවිනි.
සිරි ලංකාව තවමත් දුප්පත් රටකි. එහෙත් එහි ගැහැනු ලස්සන වීමට දනිති. ඔවුන් එය කොතරම් හොඳින් ඉටුකර ගන්නේද කිවහොත්, මඟුලකට ගිය විට සැමියාට අල්ලපු ගෙදර ගැහැනිය පමණක් නොව, තමන්ගේම භාර්යාව ද හඳුනා ගැනීම අපහසුය. මඟුල් නැකත් යෙදෙන දවසට මුළු සිරි ලංකාවම එකම රූපලාවණ්‍යාගාරයකි.
ලස්සන ගැහැනු පිරි පොහොසත් රටක් බිහිවේවා!

කපිල කුමාර කාලිංග

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00