2017 ජුලි 08 වන සෙනසුරාදා

දරුවන් මරණ තාත්තලා!

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 133

පිතු සෙනෙහේ පිදූ පියකුගේ හව්හරණක් නොමැති වූ කල දූ දරුවන්ගේ සැනසීම ගැන අන් කවර කතාද? පියා නොමැති කල - මවගෙන් කවර කල යන්නෙන් අරුත් ගැන්වෙන්නේද ඒ උත්තරීතර වූ පිය පදවියේ ගුණ මහිමය කොතරම්ද යන්නය. සාමාන්‍යයෙන් පවුල් සංස්ථාවක මූලිකම භූමිකාව පියාට හිමිවන අතර ඔහු නිරන්තරයෙන්ම පවුලේ ආරක්ෂකයා බවටද පත් වේ. මහා වෘක්ෂයක් සේ අතුපතර විහිදමින් තේජමානව නැගී සිටින ඔහු කොයියම්ම මොහොතකදී හෝ තම දරු පවුලට එල්ලවිය හැකි ව්‍යසනවලින් ඔවුන්ව ආරක්ෂා කිරීමට පෙරමුණ ගෙන සිටී. මේ නිසාම දරුවන්, බිරිය අන් කිසිවකුටත් වඩා සිය පියා, සැමියා කෙරෙහි විශ්වාසය තබන අතර ඔවුන්ගේ අනිවාර්ය කල්පනාව වන්නේ පියා ඇති තැන තමන් සුරක්ෂිත බවය. එහෙත් යම් හෙයකින් පවුලක ආරක්ෂක භූමිකාව රඟදක්වන පියාම එම පවුලේ දුෂ්ඨයා බවට පත්වන්නේ නම් ඉන් අත්වන ඉරණම කෙබඳුදැයි සිතාගත හැකිද?

පියවරුන් විසින් තමන්ගේම ලෙයින් ජාතක වූ දුවාදරුවන් ඝාතනය කිරීමේ අහස පොළොව නුහුලන අපරාධ රැල්ලක්ම පසුගිය කාලය පුරාවටම සිදුවූයේ එක්තරා සමාජ මට්ටමක පහත් මානසිකත්වය ලොවට විදහා දක්වමිනි. පියවරු පමණක්ම නොව මව්වරු අතින්ද මෙවැනි අපරාධ සිද්ධ වී ඇති අතර ඔවුන්ට අප මෙහිදී පියවරු, මව්වරු යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ දරුවකු හට ජන්මය ලබාදීම සඳහා දායක වන පුරුෂයාට හා ස්ත්‍රියට පියා, මව යනුවෙන් ආමන්ත්‍රණය කිරීම සමාජ සම්මතයක් වන නිසා මිස අන් කිසිවක් නිසා නොවේ. සැබැවින්ම මොවුන්ට එලෙස ඇමතීම එම වචනවලටද කෙරෙන නින්දාවක් වන අතරම ඔවුන් විසින් සිදුකරන ලද අපරාධ දෙස බැලීමේදී ඔවුන්ට සසරේ කිසිදු ආත්මයක දරුවන් නොලැබෙන්නා සේම ඔවුන් කිසිදු දිනෙක මනුෂ්‍ය ආත්මයක්ද නොලබනු ඇත.

මන්නයකින් කොටා සිය සය හැවිරිදි දියණිය මරාදමා බිරියට හා නව හැවිරිදි දියණියට බරපතළ තුවාල සිදුකළ පියකු ගැන අපිට පසුගියදා වාර්තා වූයේ කිතුල්වල බටදොලේවත්ත ප්‍රදේශයෙනි. කිතුල්වල මුනිදාස කුමාරණතුංග කනිෂ්ඨ විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අයි.පී. හංසනී දැරිය මෙලෙස මියගොස් ඇත්තේ පවුලේ කාලයක් තිස්සේ පැවතගෙන එන ආරවුලක් හේතුවෙනි. මේ බව එම පවුලේ වැඩිමහල් පුත්‍රයා විසින් පවසා ඇති කාරණාවලට අනුව පැහැදිලි වන අතර ඔහු එම සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කළ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ මෙවැනි ප්‍රකාශයකි.

“තාත්තා නිතරම රණ්ඩු සරුවල් කරනවා. හේතුවක් නැතිව අම්මාට ගහනවා. කවුරු හරි ගෙදරට ඇවිත් ගියත් තාත්තා රණ්ඩු කරනවා. හැම වෙලවෙම කියන්නේ තොපි මරණවා කියලයි. වතාවක් තාත්තා ගෙදරදීම බෝම්බයක් හදලා ගේ කුඩු කරන්න හදද්දි පොලීසියට අහුවුණා. ඒකටත් අම්මා එක්ක තරහෙන් හිටියා. මාව මොන්ටිසෝරි එක්කගෙන ගිය මුල් දවසෙත් අම්මාට ගැහුවා මට මතකයි.”

මොහුගේ ප්‍රකාශයට අනුව පෙනී යන්නේ මෙම ඛේදවාචකය කාලයක් තිස්සේ පැවැති ගැටලුකාරී තත්ත්වයක ප්‍රතිඵලයක් වශයෙන් සිද්ධවූවක් වන බවයි. සිය පළමු දරුවා ඉපදීමේ පටන්ම මෙම මව හා පියාගේ යම් විරසකයක් පැවත ඇති අතර, එය අවසන කෙළවර වී ඇත්තේ මනුෂ්‍ය ඝාතනයකිනි. ඝාතනයට ලක්වූයේ අන් කිසිවෙකුත් නොව ඔහුගේම බාල දියණියයි. පියකුට තම ලෙයින් උපන් දරුවකු ඝාතනය කළ හැකිද? මේසා විශාල අපරාධ සිදුකිරීමට මිනිසුන්ගේ සිත් දරුණු වන්නේ කෙසේද? මෙහිදී අපට හැඟෙන්නේ එවන් ගැටලුය. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කපිල රණසිංහ මහතා ලබාදුන්නේ මෙවන් පිළිතුරකි.

“සමාජයේ විවිධ හේතු නිසා තමන් ආදරය කරන්නන්ට, පවුලේ උදවියට, නැත්නම් තමන් ළඟින්ම ඇසුරු කරන යාළු මිත්‍රාදීන්ට දැඩි ප්‍රචණ්ඩත්වයක් එල්ල කිරීම නැත්නම් ඔවුන්ගේ ජීවිත හානි කිරීමේ ක්‍රියාවලිය ලෝක ඉතිහාසයේත් වුණා. අදත් වෙනවා. මෙම ක්‍රියාවන් විශාල ප්‍රමාණයක් සිදුවන්නේ මානසික දුබලතා, මානසික රෝග සහ ඒවාට ප්‍රතිකාර නොගැනීම යන හේතු කාරණායි. ඒ සමඟම වර්තමාන සමාජයේ ඇති තමාව පාලනය කරගැනීමේ සාරධර්ම, අධ්‍යාත්මික ගුණ වගාවන් පිරිහීමත් මේ සඳහා බලපානවා.

මෙලෙස පිරිහුණු පුද්ගලයන් හැඟීම් පාලනය කියන කාරණයේදී දුර්වල වූවන් ලෙසයි සැලකෙන්නේ. ඔවුන්ට තමන්ව පාලනය කරගන්නත් බෑ. වෛරය පාලනය කරගන්නත් බෑ. තමන්ගේ මනෝභාවයන් පාලනය කරගන්නත් බෑ. අන් අය කෙරෙහි ඇති ගරුත්වය වගේම ජීවිතයක වටිනාකම තේරුම් ගන්නටත් මොවුන්ට හැකියාවක් නෑ.” 

වෛද්‍යවරයා මෙලෙස පවසද්දී පසුගියදා සිදු වූ තවත් හද සසල කරවන පුවතකට අපගේ අවධානය යොමුවූයේ එම සිද්ධියේ කතා නායකයා වන පියා එවන් අපරාධයකට පෙළඹුණේ සිට බිරිය තමා හා දරැවන් අතහැර යාම නිසා ඇති වූ මානසික බිඳවැටීම හේතු කොටගෙන වීම නිසාය. කඹුරුපිටිය, රන්සෑගොඩ, බෙරලිඅතුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම පියා මෙහිදී තම දියණියන් දෙදෙනා හා කුඩා සාමණේර පුතු ගෙල වැලලා ගැනීමට සලසා ඔහුද ගෙල වැලලාගෙන මියගොස් තිබිණි. කුමන පදනමකින් කළද මෙම සිදුවීමේ අමානුෂිකභාවය නොදරැවන්ගේ දෑත් පිටුපසට ගැටගසා තැබීමෙන් පිළිබිඹු වේ. මියගොස් සිටින පියාගේ වැඩිමහලු පුතු වන රන්සෑගොඩ සුදත්ත හිමියන් පවසන පරිදි ඔහුගේ පියා මීට පෙර අවස්ථා ගණනාවකදී සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇති අතර මෙලෙස මියයාමට පෙර දින නැගණියන් දෙදෙනාට හා පොඩි හාමුදුරුවන්ට ගිනි තබා තමාද ගිනි තබාගන්නා බවද පවසා ඇත. ජීවිතයෙහි සියල්ල අහිමිවීමත්, එම අහිමිවීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ප්‍රචණ්ඩත්වය වෙත යොමුවීමත් මෙහිදී සිදු වී ඇති අතර ඔහු මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව සිදුකොට ඇත්තේ මුළුමහත් සමාජයේම අනුකම්පාව තමා වෙත යොමුකර ගනිමින් හා තම බිරියගෙන් පලිගනිමිනි.

මිනිසුන් ප්‍රචණ්ඩත්වය කෙරෙහි යොමුවන්නේ තම පෞරුෂත්වය තුළ ඇති යම් දුබලතාවයන් නිසාද? මේ අප විශේෂඥ වෛද්‍යවරයාගෙන් ඇසූ පැනයයි.

“ප්‍රචණ්ඩත්වය කෙරෙහි යොමුවන පුද්ගලයන්ගේ පෞරුෂත්වය ඉතා දුර්වලයි. මෙවැනි පිරිස් බොහොමයක් අද සමාජය තුළ ජීවත් වෙනවා. අධ්‍යාපන ක්‍රමයේ නොදියුණුකම, සමාජ ආර්ථික රටාව මෙවැනි පුද්ගලයන් නිර්මාණය වීම සඳහා බලපානවා. දැඩි මානසික රෝගී තත්ත්වයන් තිබෙන පුද්ගලයන් හට දරුවන් පිළිබඳව නිවැරදි අවබෝධයක් නැතිවෙන්න පුළුවන්. ඒත් එක්කම පෞරුෂය දුබල, දුෂ්චරිත සහිත පුද්ගලයන් දරුවන් ගැනවත් සැලකීමක් කරන්නේ නෑ. දුෂ්චරිත සහිත පුද්ගලයන් ඇතැම් විට තමන්ගේ ප්‍රශ්නවලින් ගැලවෙන්නට මනුෂ්‍ය ඝාතනවල යෙදෙන්න පුළුවන්. එතනදී ඔහු තුළ පවතින වෛරය, කෝපය යන මානසිකත්වය මත බිරියද, දරුවාද යන්න පවා අමතක වෙනවා.
ඇත්තෙන්ම නිසි අධ්‍යාපන ක්‍රමවේදයක් නොපවතින අපේ අධ්‍යාපන ක්‍රමය තුළ අතරමං වන තරුණ කොටස වැඩියි. මෙලෙස අතරමං වන තරුණ පරපුර අතරේ මානසිකත්වය කඩාවැටුණු දුෂ්චරිත පුද්ගලයන්ද සිටින අතර ඔවුන්ද වැඩිහිටි වූ විට මවුපියන් බවට පත්වෙනවා. ඒ නිසා තමයි මෙවැනි ගැටුම් ඇතිවෙන්නේ. මේක කාලයක් තිස්සේ ගොඩනැගුණු සංකීර්ණ ප්‍රශ්නයක්. සමාජයේ සියලු කොටස් මේ සඳහා වගකිව යුතුයි. මෙවැනි පුද්ගලයන් මානසික රෝගීන්ම කියලා කියන්න බෑ. මානසික රෝගීන් වූ පලියට කෙනෙක් ප්‍රචණ්ඩත්වයට පෙළඹෙන්නෙත් නෑ. නමුත් මේ හැම ගැටලුවකටම නිවැරදි මානසික වෛද්‍ය උපදේශනයක් ඔස්සේ විසඳුම් ලබාගන්න පුළුවන්.”

සිය යොවුන් බිරිය පොල් උලකින් ඇන ඝාතනය කිරීම හා එය දුටු සය හැවිරිදි දියණිය මන්නා පිහියකින් කපා කොටා මරාදැමීම මෙයට වසර ගණනාවකට ඉහත දී සිදු වූ සිදුවීමක් වන අතර මෑතකදී එයට සමාන සිදුවීමක් වූයේ කට්ටඩි පියකු නිධානයක් ගැනීමේ අපේක්ෂාවෙන් තම දරු පවුල නිවස ඇතුළේ දමා සිරකර අමුඅමුවේ මරා දැමීමය. පියවරුන්ට අමතරව මව්වරුන් අතින්ද තම දරුවන් ඝාතනය වීම් සිදු වී ඇති අතර විවාහක කාන්තාවක් තම අනියම් සැමියා සමඟ එකතුව මාස තුනක් වයසැති තම දරු සිඟිත්තියගේ ගෙල සිරකර ඝාතනය කර නිවස පිටුපස වළදැමීම එවන් සිද්ධියකි. මෑතකදී තවත් මවක් තමා විසින්ම ඇති කරගත් ගැටලුවකට මුහුණදීගත නොහැකිව තම සය හැවිරිදි හා අවුරුදු එකහමාරක් පමණ වයසැති දියණියන් දෙදෙනා ළිඳට දමා තමන්ගේ ජීවිතයද තොරකරගෙන ඇත.

මෙවැනි කරුණු දෙස බැලීමේදී සමාජය කෙතරම් පිරිහී ඇතිදැයි ඔබට සිතෙනු ඇත. ඒ ගැටලුවම අපටත් පැන නැගුණ නිසා අප වෛද්‍යවරයාගෙන් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් බලාපොරොත්තු වුණෙමු.

“ඇත්තටම මේ ආකාරයට සමාජය පිරිහීම කෙරෙහි කාලයක් තිස්සේ සිදුවන මාධ්‍යවල පිරිහීමත් බලපානවා. අපි දකින විදිහට මාධ්‍යවල ප්‍රචණ්ඩත්වය වාර්තා කරන්නේ යම්කිසි රූපයක් දනවන ආකාරයටයි. පවතින මාධ්‍ය තරගයත් එක්ක එම ආයතනවලට අවශ්‍ය වන්නේ කොතරම් ප්‍රේක්ෂක පිරිසක්, කොතරම් පාඨකයන් පිරිසක් තමා ළඟ තියාගන්නවාද කියන එකයි. සියදිවි නසාගැනීමක් වුණත්, වෙනයම් ආකාරයක ඝාතනයක් වුණත් විචිත්‍රවත් ආකාරයට කතාවකුත් සමඟ ගොඩනගමින් තමයි වාර්තා කරන්නේ. ඉතින් මෙවැනි දේ දිගින් දිගටම ප්‍රචාරය වීම හරහා ඒවා සාමාන්‍යකරණය වෙනවා. ඉන් පසුව තමන්ට කරදරයක් පැමිණි විට මාධ්‍යවලින් දකින දේම තමයි ඒ අස්සේ හිතට එන්නේ. 

මාධ්‍ය මගින් මිනිසුන්ගේ සිත් පිරිහීමට පත් කිරීම අවම කිරීමට තමයි මෙවැනි දේ පළකිරීමේදී විවිධ නීති පනවලා තියෙන්නේ. ලංකාවෙන් සියදිවි නසාගැනීම වාර්තා කරන්න එපා කියලා 1997 දී ජනාධිපති කොමිෂන් වාර්තාවල නිර්දේශ කරලා තියෙනවා. ඒ කාලයේ පුවත්පත් මණ්ඩලය වගේම හැම මාධ්‍යවේදියෙක්ම මේක පිළිගත්තා. නමුත් දැන් ඒ දේවල් පිළිපදින බවක් පෙනෙන්නේ නෑ. ප්‍රචණ්ඩත්වය පැතිරවීම කෙරෙහි මාධ්‍ය ඍජුවම බලපාන හෙයින් මාධ්‍ය විසින් දැන්වත් මෙම ක්‍රියාවලිය නැවැත්විය යුතුයි කියලා තමයි මනෝ වෛද්‍ය සංගමයේ වුණත් අදහස වෙන්නේ.”
ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ප්‍රචණ්ඩත්වය කෙරෙහි යොමුවන පුද්ගලයන් අප අතරද සිටිය හැක. ඇතැම් විට අපගේ නිවසේමද සිටිය හැක. මෙවැනි පුද්ගලයන් හඳුනාගන්නේ කොහොමද හා එවැන්නකු හඳුනාගත් පසු ඔහු සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කුමන ආකාරයෙන්ද යන්න වෛද්‍ය මතයට අනුව මෙයාකාරය.

“විශේෂයෙන්ම යම් කෙනකු හට අනවශ්‍ය විදිහට තරහා යනවා නම්, ආවේගශීලී නම්. මත්පැන් මත්ද්‍රව්‍යවලට පාලනයකින් තොරව ගිජුවෙනවා නම් එවැනි පුද්ගලයන්ට තවත් ගැටලු මතුවෙන්නට කලින් මනෝවෛද්‍ය සේවා වෙත යොමු කළ යුතු වෙනවා. ඒ මගින් ඉදිරියේදී සිදුවිය හැකි මහා ව්‍යසනයක් වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. මේ සඳහා ලංකාව පුරාම විහිදුණු මනෝ වෛද්‍ය සේවාවක් අප සතුයි.”

♦ හේමමාලා කුමාරි රාජකරුණා

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00