2017 ජුලි 08 වන සෙනසුරාදා

අලි අනතුරු වළක්වන මැෂිම

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 180

නව නිර්මාණ සඳහා පේටන්ට් බලපත්‍ර ලබාගැනීමට බොහෝවිට ඉල්ලීම් කරන්නේ ස්වාධීන පර් යේෂකයෝ වෙති. ඒ අතර පසුගියදා වාර්තා වුණේ රාජ්‍ය ආයතන ප්‍රධානියෙක් නව නිර්මාණයකට පේටන්ට් බලපත්‍ර ඉල්ලීමක් ගැනය. එම ඉල්ලීමට අනුව නව නිර්මාණයට මූලික අවසරයද මේ වනවිට හිමිවී තිබේ.

නව නිර්මාණයේ නම අලි-දුම්රිය අනතුරු වැළැක්වීමේ පද්ධතිය (Railway Elephant Accident Prevention (PEAP) System) වේ. මෙය මුළුමනින්ම ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රොනික පද්ධතියකි. එහි නිර්මාතෘවරයා වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ආයතනයක් වන වනජීවී භාරයේ අධ්‍යක්ෂ සී.සී. හිදැල්ලනආරච්චි මහතාය. තාක්ෂණික සහාය ලබාදෙමින් මෙම ව්‍යාපෘතියට අවශ්‍ය දායකත්වය ලබාදුන්නේ වනජීවී භාරයේ ඉංජිනේරු ඉරෝෂ පෙරේරා මහතාය.

“අපේ මූලික අරමුණ වනජීවී සංරක්ෂණයට ප්‍රජාව දැනුවත් කරමින් අවශ්‍ය නිර්මාණාත්මක දේ ඉටු කිරීමයි. ලෝකය අලුත් තාක්ෂණයත් සමඟ ඉදිරියට යනවා. අපි සංරක්ෂණ කටයුතුවලට එම තාක්ෂණය යොදාගත හැකි ආකාරය ගැන උනන්දු වුණා. දැනට ලොකු වනජීවී ගැටලුවක් වෙලා තිබෙන රේල්පාරේ අලි මැරෙන එක වළක්වන්න තොරතුරු තාක්ෂණය යොදාගැනීමට අපි සැලසුම් කළා. මෙම ව්‍යාපෘතිය යටතේ දුම්රිය මාර්ගයේ ගැවසෙන අලි හඳුනාගැනීම හා ඔවුන් දුම්රිය එනවිට දුම්රිය මාර්ගයෙන් තාවකාලිකව ඉවත් කිරීම සිදුකෙරෙනවා.” අපට එලෙස පැවසුවේ හිදැල්ලනආරච්චි මහතාය.

මෙම උපකරණය සවිකර ඇත්තේ උතුරු මන්නාරම දුම්රිය මාර්ගයේ සෙට්ටිකුලම 252-255 කි.මී. කණු අතරය. පසුගිය වසරේ අගෝස්තුවේ අලි සිව්දෙනෙකු දුම්රියේ හැපී මියගියේ මෙම අලිමංකඩේය. මෙම ස්ථානයෙන් දිනකට අලි 40-45 අතර ප්‍රමාණයක් දුම්රිය පාර පනින බවත් එය වැසි දිනවලදී 2-3 දක්වා අවම අගයක් ගන්නා බවත් පසුගිය මාස තුන තුළ දිනපතා ලැබුණු දත්ත විශ්ලේෂණයෙන් හෙළිවී ඇත. අලි මාරුවීම පිළිබඳ තොරතුරු බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි වනජීවී භාරයේ පරිගණක පද්ධතියට එම උපකරණය ඔස්සේ සෙට්ටිකුලමේ සිට ලැබේ.

වසර ගණනාවක සිට රාත්‍රියට අලි දුම්රියට හැපීම් වාර්තා වේ. එයින් කවුරුත් කම්පා වූවා මිස එයට විසඳුමක් ලබාදීමට කිසිවෙකුට උනන්දුවක් ඇතිවූයේ නැත. රාත්‍රී කාලයේ දුම්රිය රියදුරු සමඟ වනජීවී නිලධාරීන් යාමේ සිරිතක් ආරම්භ වුවද එයද සාර්ථක පිළියමක් නොවීය.

සංඛ්‍යාලේඛන පවසන අයුරින් 1992 සිට 2016 දක්වා අලි ඇතුන් 144 දෙනෙකු යකඩ යකාට බිලි වී ඇත. ඉන් 100 දෙනකුම මියගොස් ඇත්තේ මහවැලි වනජීවී සහකාර අධ්‍යක්ෂ කලාපය තුළය. ගල්ඔය හන්දිය කේන්ද්‍ර කර ගනිමින් කන්තලේ කිතුල්උතුව දෙසටත්, පලුගස්වැව, හබරණ, මින්නේරිය, මනම්පිටිය ආදී ප්‍රදේශ ආශ්‍රිතවත් අලි මරණ සුලබය. පොළොන්නරුව, ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවල අලි දුම්රියේ ගැටීම් නිතර වාර්තාවේ.

වයඹ වනජීවී කලාපයට අයත් වවුනියාව උතුරු මාර්ගය, මන්නාරම මාර්ගය හා මහව ගල්ඔය හන්දිය දක්වාද අලි දුම්රිය අනතුරු නිතර වාර්තා වේ. පුත්තලම, අනුරාධපුර, වවුනියාව, කිලිනොච්චි හා මන්නාරම දිස්ත්‍රික්ක වයඹ වනජීවී කලාපයේ අලි දුම්රිය අනතුරු සිදුවන ප්‍රදේශ වේ. උතුරු දුම්රිය මාර්ගය සහ මන්නාරම දුම්රිය මාර්ගය නවීකරණයෙන් ඉදිකළ පසු දුම්රියවල ධාවන වේගය පැයට කි.මී. 100-110ත් අතරට ඉහළ ගියේය. ධාවන වේගය අධික වීම නිසා අලියකු දුටු පමණින් දුම්රිය නවතා ගැනීම අසීරුය. ඒ සඳහා කි.මී. 1ක් හෝ මීටර් 800ක් පමණ කලින් දුම්රිය මාර්ගයේ අලි ඇතුන් ගැවසේ දැයි සංඥාවක් ලබාගත යුතුවේ.

දැනට සවිකර ඇති ආදර්ශ පද්ධතිය දුම්රිය මාර්ගයේ කි.මී. 1 මීටර 700 දිගට බලපැවැත්වේ. එහි දෙකෙළවර දුම්රිය පැමිණෙන්නේදැයි හඳුනාගැනීමේ අනාවරක (Detector) දෙකක් සවිකර තිබේ. දුම්රිය පැමිණෙන විට ඇතිවන කම්පනයෙන් අනාවරකය සක්‍රිය වී පද්ධතියට අයත් සියලු උපකරණ සක්‍රිය වේ. එම අනාවරකයේ සිට මීටර් 800ක් දුරින් රතු, කහ, කොළ වර්ණවලින් යුත් විදුලි බුබුලු සහිත වර්ණ සංඥා කණුවක් සවිකර ඇත. දුම්රිය එම කලාපය පසුකළ විට පද්ධතිය ස්වයංක්‍රීයව අක්‍රියවේ.

“අලි දුම්රිය මාර්ගයේ සිටිනවා නම් අපි දුම්රියට ඊට කිලෝමීටරයක් මෙපිටින් සංඥාවක් දෙනවා ප්‍රවේසමෙන් දුම්රිය ධාවනය කරන්න කියලා. මෙම තොරතුරු වනජීවී භාරයේ නිරීක්ෂණ පද්ධතියට වගේම දුම්රිය රියැදුරුටත් ලැබෙනවා. දුම්රියක් පැමිණෙන විට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන පද්ධතිය තත්ත්පර 10ක් තුළ කාර්යයන් දෙකක් කරනවා. එකක් පොළොව මට්ටමේ සවිකර ඇති උපකරණයෙන් අල්ට්‍රාසොනික් සහ ඇල්පාසොනික් ශබ්ද තරංග නිකුත් වීමයි. අලි සන්නිවේදන ක්‍රමය අධ්‍යයනය කර අලි තවත් අලියකුට ආපදා සන්නිවේදනය කරන සංඛ්‍යාතය හඳුනාගෙන එය ස්පීකරයක් මගින් නිකුත් කරනවා. එම ශබ්දය ඇසුණු විට අලියා දන්නවා අවදානමක් ළඟ ළඟ තිබෙන බව. ඒ නිසා පසුපසට ගොස් එය තිබෙනවාද බලනවා නැත්නම් ආපසු එනවා. අපට අලියාව පන්නන්න අවශ්‍ය දුම්රිය ගමන් කරන විට පමණයි” හිදැල්ලනආරච්චි මහතා පැවසුවේය.

“මෙම සංඥාවෙන් සාර්ථක ප්‍රතිඵල ලැබුණාද?”

“ගැටලුවක් මතුවුණා. කැලේ ඉන්න අලින්ගෙන් විශාල ප්‍රමාණයක් බිහිරියි. එයට හේතුව වර්ෂයකට රු.මිලියන 90ක පමණ අලි වෙඩි පාවිච්චි කරන නිසා එම අධික ශබ්දයට අලියාගේ කන්අඩිවලට හානිවීමයි. එයට විකල්පයක් ලෙස පොළොවේ සවිකළ තරමක භූ කම්පනයක් ඇතිකරන උපකරණයක් ක්‍රියාත්මක වෙනවා. එවිට කි.මීටර භාගයක් පමණ ඈතට අලියා ගමන් කරනවා.”

“මෙහි තවත් අංගයක් තිබෙනවා. ඒ දුම්රිය පාර මැද අඩි තුනකට වඩා උසින් යුත් සත්වයකු සිටී නම් එය සංවේදකයක් මගින් ලබාගෙන කිලෝමීටරයක් දුරින් පිහිටි රතු සංඥාවක් මගින් දුම්රිය රියැදුරුට පැවසීමයි. එවිට අධික වේගයෙන් මිදී පැයට කි.මී. 20ක පමණ වේගයකින් ගියවිට දුම්රිය නවතා ගැනීමට ඉඩ ලැබෙනවා.”

මෙම උපකරණ පද්ධතිය ක්‍රියාත්මක වන්නේ සූර්ය පැනල තුනකින් ක්‍රියාත්මක වන බැටරිවල බලයෙනි. ඒ අතරම පද්ධතියේ යම්කිසි දෝෂයක් හටගත් විට කහ පැහැති බල්බයක් පත්තුවීමෙන් ප්‍රවේසමෙන් ධාවනය කරන ලෙස දුම්රිය රියැදුරන්ට දැනුම්දීමක්ද කරයි.

මෙම සංඥා පද්ධතියට රු. ලක්ෂ 6ක පමණ මුදලක් වනජීවී භාරය දරා තිබේ. එය දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කෙරේ. තවම අත්හදා බැලීමේ තත්ත්වයක පවතින මෙම පද්ධතිය පසුගිය මාස තුන තිස්සේ සාර්ථකව ක්‍රියාත්මක වී තිබේ.

වනජීවී භාරය රාජ්‍ය ආයතනයක් වුවද එය ස්වාධීනව ක්‍රියාත්මක වන්නකි. එයට අයවැයෙන් ප්‍රතිපාදන ලැබෙන්නේ නැත. මේ නිසා රටේ අලි දුම්රිය ගැටුම් විශාල වශයෙන් සිදුවන අනෙක් ප්‍රදේශ සඳහාද මෙම පද්ධතිය සවිකිරීමට වනජීවී සංරක්ෂණ බලධාරීන් උනන්දු විය යුතුය.

වර්ෂ 2011 දී කළ අලි සංගණනයට අනුව රටේ අලි 5879ක් සිටින බව හෙළි විය. එහෙත් කනගාටුවට කරුණ මේ රටේ අලි සම්පත නිරන්තරයෙන් අඩුවෙමින් යාමයි. අලි මිනිස් ගැටුම නිසා වාර්ෂිකව මරණයට පත්වන අලි සංඛ්‍යාව 250කි. මෙය සමස්ත අලි ගහනයට සාපේක්ෂව 4%ක ප්‍රමාණයකි. ඒ අතරට දුම්රියට හැපී මියයන අලිද එක්වෙති.

අලි දුම්රිය පාර හරහා පනින්නේ ජලය හා ආහාර ලබාගැනීමටය. රේල් පාරවල් ඉදිකර ඇත්තේ කලින් පැවති මහා වනාන්තර දෙකඩ කරමිනි. ඒවා ඔස්සේ හූ කියාගෙන එන යකඩ යකාට අලි බිලිවන්නේ කැමැත්තෙන් නොවේ. උන්ට දුම්රිය මාර්ගයෙන් ඉවත්වීමට කාලයක් නැතිවීම හේතුවෙනි. නවීන තාක්ෂණය වනජීවී සංරක්ෂණයට යොදාගත් මෙම සංඥා උපකරණය ලංකාවේ අලිමංකඩ හරහා ඇදී යන සෑම දුම්රිය මාර්ගයකටම යොදාගැනීමේ කාලය පැමිණ ඇත.


| කුසුම්සිරි විජයවර්ධන