දරුවන්ගේ නැණැස පෑදීමෙහිලා ගුරුවරුන් සතුව ඇත්තේ භාරදූර වගකීමකි. අධ්‍යාපනික කරුණුවලින් දරුවන් පෝෂණය කරන අතරම ගුණධර්ම පෝෂණය කරමින් මනා හැදියාවකට දරුවන් යොමුකරවීමේ සැබෑ වගකීම පවතින්නේ ඔවුන් සතුවය. මව්පියන් සමඟ ගතකරන කාලයෙන් පසු වැඩිම කාලයක් දරුවන් පාසල තුළ ගතකරන අතර දරුවාගේ මූලිකම සමාජමය වටපිටාව වන්නේද පාසලය. “ඔවාදෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට” කියාන්නා සේ ගුරුවරුන්ට දරුවන් හට යම් ඔවදනක් ලබාදිය හැක්කේ තමා එම ඔවදන් ලබාදීම සඳහා සුදුසුකම් ලද්දේ නම් පමණි. එහෙත් අද වනවිට අපේ ඇතැම් පාසල්වල සිටින ගුරුභවතුන්ගේ ක්‍රියාකලාප දෙස බැලූ විට ඔවුන් දරැවන්ගේ පරමාදර්ශී චරිත වන්නේද යන්න සැකසහිතය.
ගුරු වෘත්තිය නම් ඒ ගෞරවපූර්ව වෘත්තියට කැළැලක් ඇති කරමින් පුත්තලම අධ්‍යාපන කලාපයට අයත් ආණමඩුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය මගින් පාලනය වන නවගත්තේම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක පසුගියදා සිදුවූ සිදුවීම පාසල් පද්ධතියට තවත් කළු පැල්ලමක් එක්කළ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය. මෙහිදී එම පාසලේම සේවය කළ ගුරුවරියන් දෙදෙනෙකු අතර මතභේදයක් හටගෙන ඇති අතර පසුව එය ගැටුමක් බවට පත්වී අවසන කෙළවර වී ඇත්තේ සිද්ධියට සම්බන්ධ ගුරුවරු හතර දෙනකු වෙනත් පාසල්වලට මාරුකර යැවීමෙනි. මෙම සිද්ධියට ආසන්නතම හේතුව ටියුෂන් පන්තියක් වී ඇති අතර වාර්තාවන ආකාරයට ගැටුමකට මුලපුරා ඇත්තේ ටියුෂන් පන්ති පවත්වනවා යැයි කියන වැඩිමහලු ගුරුවරියකි. මෙම සිද්ධිය සැකෙවින් මෙසේය.
දරුවන්ට ඉංග්‍රීසි විෂය ඉගැන්වීම සඳහා නවගත්තේගම ප්‍රාථමික පාසලට සිද්ධියට සම්බන්ධ ලාබාල ගුරුවරිය පැමිණෙන්නේ සිය පත්වීම එම ප්‍රදේශයට ලැබුණ බැවිනි. පාසලට පැමිණි දා පටන්ම දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ ඇය පාසල් වේලාවට අමතරව හවස පන්ති පැවැත්වීම හරහාද දරුවන්ගේ දැනුම වර්ධනය කිරීමට සිතාගත්තාය. ඇය ගැටලුවට මැදිවන්නේ මෙලෙස හවස පන්ති ආරම්භ කිරීමත් සමඟය.
ඉකුත් දිනකදී මෙම ඉංග්‍රීසි ගුරුවරිය විසින් 4 ඒ ශ්‍රේණියේ හා බී ශ්‍රේණියේ සිසුන් පන්ති කාමරයෙන් පිටත ස්ථානයකට රැගෙන ගොස් ඉගැන්වීමේ කටයුතු සිදුකිරීමට සූදානම් වූයේ එලෙස කිරීම ඇතැම් පාසල්වල සාමාන්‍ය සිරිතක් වන අතරම එමගින් දරුවන්ගේ මනසට ප්‍රබෝධයක් ඇතිකරවන නිසාය. ඇය මෙලෙස සැරසී පන්ති වාර්තා පොතද රැගෙන පිටව යෑමට සූදානම් වූ අවස්ථාවේදී එම පන්ති කාමරයට පැමිණි තවත් ගුරුවරියක් පවසා ඇත්තේ පන්ති වාර්තා පොත පන්තියෙන් පිටතට රැගෙන නොයන ලෙසත්, එසේ රැගෙන යාමෙන් එය අපිරිසිදු වන බවත් හා එය අත්සන් කිරීමට අවශ්‍ය නම් කාල පරිච්ඡේදය අවසන් වී නැවත පැමිණ අත්සන් තබන ලෙසත්ය. මෙහිදී තම ජ්‍යෙෂ්ඨ ගුරුවරිය කියූ ආකාරයටම ලාබාල ඉංග්‍රීසි ගුරුවරිය අදාළ පාඩම් උගන්වා අවසානයේදී ළමයකු යවා පන්ති වාර්තා පොත ගෙන්වාගෙන එය අත්සන් කර තිබේ.
ගැටුම ඇරඹෙන්නේ ඉන් අනතුරුවය. ලාබාල ගුරුවරියට පන්ති වාර්තාපොත පන්තියෙන් පිට රැගෙන යාමට අවසර නොදුන් ගුරුවරිය පසුදින පාසලට පැමිණ පන්තිභාර ගුරුවරිය ඉංග්‍රීසි ගුරුවරිය වාර්තා පොතේ අත්සන් කළේ කුමන ආකාරයකට දැයි හරියටම නොදැන ලාබාල ගුරුවරිය වෙත යොමුකළේ අභූත චෝදනාවකි. එනම් ඇය එහිදී පවසා ඇත්තේ එම ගුරුවරිය විසින් හොර යතුරකින් තම කබඩ් එක ඇර පන්ති වාර්තා පොත අත්සන් කර ඇති බවත්, එහි තිබූ තවත් පොත්පත් සොරකම් කර ඇති බවත්ය. එමෙන්ම ඇය මෙහිදී ලාබාල ගුරුවරියගේ ඇඳුම් ගලවා අත්දෙක කපා දමන බවටද තර්ජනය කර තිබේ. අදාළ ඉංග්‍රීසි ගුරුවරිය මේ සම්බන්ධයෙන් පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ ඉන් අනතුරුවය.
ඉංග්‍රීසි ගුරුවරියට තර්ජනය කර ඇති ගුරුවරිය නවගත්තේගම මහ විදුහලේ වසර 20ක සේවා කාලයකින් පසුව නවගත්තේගම ප්‍රාථමික පාසලට මාරුවක් ලබාගෙන පැමිණ ඇත්තේ 2012 වසරේදීය. ඉන්පසු පාසලේ පහ වසර ශිෂ්‍යයන්ට ඉගැන්වීම් කටයුතු සඳහා දායකත්වයක් ලබාදී ඇති අතර ශිෂ්‍යත්ව දරුවන් සඳහා ටියුෂන් පන්ති පැවැත්වීමද සිදුකර ඇත. ඉංග්‍රීසි ගුරුවරිය විසින් පාසල තුළ සවස පන්ති පැවැත්වීමත් සමඟ දරුවන් එම පන්තිවලටද සහභාගි වන නිසා ඇයගේ ශිෂ්‍යත්ව පන්තිවලට බාධාකාරී තත්ත්වයක් උදාවී ඇත. මෙයින් කෝපයට පත් ගුරුවරිය හා එම පාසලේම තවත් ගුරුවරයකු දරුවන් රැගෙන යෑමට පාසලට පැමිණ ඇති මාපියන්ට පවසා ඇත්තේ ඉංග්‍රීසි ගුරුවරිය පාසලේ පන්ති පැවැත්වීම හේතුවෙන් ටියුෂන් පන්ති පැවැත්වීමට නොහැකි නිසා ඊට පසු දින සියලුම මාපියන් පාසලට පැමිණ ඒ වෙනුවෙන් විරෝධතාවයක් ප්‍රකාශ කරන ලෙසයි.
ගුරුවරියගේ ඉල්ලීම පරිදි පසුදින පාසලට බලහත්කාරයෙන් ඇතුළු වූ මාපියන් විදුහල්පතිවරයාටද පරුෂ වචනයෙන් බැණවැදී තර්ජනය කරමින් පාසල තුළ කලහකාරී ලෙස හැසිරී ඇති අතර ඔවුන්ගේ මෙම හැසිරීම නිසා පාසල් කටයුතුවලටද බාධා සිදුවී ඇත. අවසානයේදී විදුහල්පතිවරයා නවගත්තේගම පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් කලහකාරී තත්ත්වය මැඩ පවත්වා ඇත.
වර්තමානයේදී ඇතැම් පාසල් තුළ යම් යම් ආකාරයේ කලහකාරී තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින අතර මීට පෙර අවස්ථාවකදී නවගත්තේගම මහ විදුහලේ දේශපාලනඥයකු විසින් ගුරුවරියක දණගැස්සවීමේ සිද්ධියද එයට උදාහරණයකි. ඉතාමත් සුළු ගැටලුවකදී පවා පාසලට පැමිණ උද්ඝෝෂණවල නියැළීමට පවා මාපියන්ද පෙළඹී ඇති අතර පාසල්වල ඇතැම් ගුරුවරුන් හැසිරෙන්නේද තම වෘත්තියෙහි ගරුත්වය පවා පහළ හෙළමිනි. ඉහත සිද්ධියේදී පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි අදාළ ගුරුවරුන් වෙනත් පාසල්වලට මාරුකර යවන්නට කටයුතු කළද මෙම කාරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් හෙළිවූ කරුණුවලට අනුව අපට පැහැදිලි වූයේ මේ පාසලේ ගුරුවරුන් කාණ්ඩ දෙකක් දෙකට බෙදී තම කටයුතු කරගෙන යන බවය.
මෙහිදී පාසලට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිස එලෙස පැමිණියේ තම දරුවන්ගේ ශිෂ්‍යත්ව පන්තිය වෙනුවෙන් යැයි පවසන අතර තවත් මාපියන් පිරිසක් කියා සිටියේ ඉංග්‍රීසි ගුරුවරියට තර්ජනය කළ ගුරුවරිය හා ගුරුවරයා තමන්ට ටියුෂන් පන්ති පැවැත්වීමට අවස්ථාවක් නොවීම නිසා එලෙස ඉංග්‍රීසි ගුරුවරියගෙන් පළිගත් බවයි. ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ඉංග්‍රීසි ගුරුවරිය මහත් කැපවීමකින් දරුවන් වෙත කරන මේ කැපකිරීම අදාළ ගුරුවරුන් නොරිස්සූ බවයි.
කෙසේ වෙතත් පෞද්ගලික මට්ටමින් කුමන ආකාරයේ ගැටලු මතුවුවද ගුරුවරු මෙලෙස හැසිරීම කිසිදු ලෙසකින් හෝ උචිත නොවන්නේ ඔවුන් දරුවන්ගේ පරමාදර්ශී චරිත වන නිසාය. දරුවන්ට ගුරුහරුකම් දෙන ගුරුවරුන්ගේ මෙවැනි හැසිරීම් හමුවේ අපේ දරු පරපුරේ අනාගතය ගැන සිතීම පවා අවිනිශ්චිතය. ඔවුන් නිරතුරුවම දරුවන්ට ආදර්ශමත් විය යුතු අතර පෞද්ගලික ප්‍රශ්න ඇත්නම් ඒවාට විසඳුම් සොයාගත යුත්තේ කලකෝලහල මගින් නොව සාධාරණ වැඩපිළිවෙළ ඔස්සේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලිස් ස්ථානාධිපතිගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ වනවිට තත්ත්වය සමතයකට පත්වී ඇති බවයි. එසේම මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ නැවතත් මෙවැනි ගැටලුවක් මතුවුවහොත් එම පාසලේ ගුරුවරු සියලුදෙනාටම මාරුවීම් ලබාදීමට කටයුතු කරන බවයි.
♦ හේමමාලා කුමාරි රාජකරුණා