2017 ජුලි 08 වන සෙනසුරාදා

බදුල්ල හෝටලේ බ්ලැක් අයිස් පාටිය

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 125

“මම මේ කතා කරන්නේ බදුල්ලේ, බණ්ඩාරවෙල පාරේ බෝගහමඩිත්ත කියන ගමේ කෙනෙක්. මෙහේ ප්‍රසිද්ධ හෝටලයක් තියෙනවා. අද එතන අමුතු පාටියක් දානවා. කෙල්ලෝ කොල්ලෝ පිරිලා... සමහරු ඉස්කෝලෙ යන දරුවෝ... උන් අතරේ කුඩු, ගංජා, ටැබ්ලට්, ස්ටෑම්ප් බිස්නස් එක නැගලා යනවා...”

මේ තොරතුර ලැබුණේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ අංක 119ටය. ඒ මොහොතේ දුරකථන ක්‍රියාකරු වශයෙන් රාජකාරියේ සිටි නිලධාරීවරයා ඊට ප්‍රතිචාර දක්වනවාත් සමඟම ඔත්තුකරු විස්තරය සම්පූර්ණයෙන්ම කියාගෙන ගියේය. වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා තොරතුරු ලබාදුන් අයට සමුදී බදුල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරින් දැනුම්වත් කරන්නට පියවර ගත්තේය.

“හරියටම පසුගිය දෙවැනිදා ඉරිදා උදේ පොලිස් හදිසි ඇමතුම් කොට්ඨාසයෙන් පණිවුඩයක් දුන්නා. බණ්ඩාරවෙල පාරේ හෝටලයක අමුතු පාටියක් තියෙනවා සහ එතන මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවෙනවා කියලා. මේ වෙද්දී උදේ දහයට ආසන්නයි. ඒ සමඟම නිලධාරින් 35 දෙනෙක් සමඟ අදාළ ස්ථානයට පිටත් වුණා.” යැයි බදුල්ල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාල්ලගේ මහතා පැවසීය. තොරතුරු අනුව අදාළ හෝටල් පරිශ්‍රයේ යම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සාදයක් පවත්වන බව පැහැදිලි විය. පැවසෙන පරිදි එහි රහසිගතව ජාවාරමක් සිදුවන්නේ නම් පොලිසියට හෝ එහි ඇතුල් වීම අවදානම්ය. නමුත් අවදානමට පෙර සූදානම්ව සුෂ්ම අයුරින් පොලිස් නිලධාරීහු පිරිස ඒ වෙතට ගමන් කළහ.

බදුල්ල නගරයේ සිට බණ්ඩාරවෙල මාර්ගයෙන් ගමන් කළවිට හමුවන බෝගහමඩිත්ත ප්‍රදේශය සොබා සොඳුරු බවින් අනූනය. මාර්ගය වම්පසින් අධික බෑවුමකි. එහි කෙළවර නිම්නයේ බදුලු ඔය ගලාබසීයි. අවට පරිසරය වනවදුලුත් ඈතින් පෙනෙන කඳු පන්තියක් නිසා ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණයට ලක්වී තිබේ. මේ නිසා තැන තැන ඉදිවූ සංචාරක හෝටල් නවාතැන්පල් කීපයකි. ඒ අතර සාදය පැවැත්වෙමින් තිබුණේ ප්‍රධාන පෙළේ හෝටලයකය. නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් 35ක කණ්ඩායමක් රැගත් ජීප් රථ කීපයක් හෝටල් පරිශ්‍රයේ නතර කෙරිණ. මාර්ගයෙන් පහළට වූ පියගැට පෙළ බැස යමින් පිරිස හෝටල් පරිශ්‍රයට ඇතුල් වූහ. හෝටල් කාර්යය මණ්ඩලයට හෝ එහි සාදය සංවිධායකයන්ට ඔවුන් වළකාලන්නට හැකියාවක් නොවීය.

නිලධාරීන් පිරිසක් හෝටල් පරිශ්‍රය අවට රැකවල්ලා සිටියදී තවත් පිරිසක් ඇතුළට ගමන් ගත්හ. ඔවුන්ගේ ගමනාන්තය වූයේ සාදය පැවැත්වෙමින් තිබූ ප්‍රධාන ශාලාවය. ඒ වනවිටත් එහි රැස්ව සිටි පිරිස 125ක් පමණ වූහ. සියලු දෙනාම අධික ශබ්දයෙන් යුතු ඩී.ජේ. සංගීත රාවයට රංගනයෙන් දායක වී සිටියහ. ඔවුන් දුටු පමණින් මත්වී සිටින බවක් පෙනෙන්නට තිබිණි. ඇතැමුන්ගේ දෑස් රතු පැහැයෙන් යුක්ත විය. තවකෙකුගේ මුහුණ ඉදිමුණු ස්වරූපයකි. මේ සියලු දෙනාම සිටියේ තරුණ වියේය. තැන තැන යුවළ වශයෙන් රංගනයේ නිරත වෙද්දී තවත් තැනෙක පිරිසක් එක්ව රංගනයේ යෙදෙති.

පොලිස් නිලධාරීන් දුටු සැණින් ඇතැමුන් බියට පත්ව ගල්ගැසී බලා සිටියද පිරිසකට එහි වගක් නැති තරම්ය. ශාලාවට ඇතුළු වන ස්ථානයට පිටතින් කවුන්ටරයකි. එහි පුද්ගලයින් කීපදෙනෙක් සේවයේය. ඔවුන් ආසන්නයේ නිල්, කළු හා රෝස පැහැයෙන් යුතු රබර් අත් පළඳනා රාශියකි. ශාලාව තුළ රංගනයේ නිරත තරුණ තරුණියෝද මේ අත් පළඳනා පැළඳ සිටියහ. එම අත් පළඳනාව හිමිවනුයේ ශාලාවට ඇතුළු වීම සඳහා ඇතුල්වීමේ ගාස්තුව ගෙවන මොහොතේදීය. රබර් පටියේ පැහැය අනුව එහි මිල ගණන් වෙනස්ය. ඒවා රුපියල් 1000, 2500 හා 4000 යන මිල ගණන්වලින් යුක්ත විය. යුවළ වශයෙන් ඇතුළු වන්නේනම් ඔවුන්ගෙන් අයකිරීම රුපියල් 4000කි.

එම රබර් අත් පළඳනාවල පැහැය අනුව මුදලට ලැබෙන ප්‍රතිලාභ වෙනස්ය. දෙවැනි මහලේ විශාල ශාලාවක් වුවද එය පරිසරයට විවෘතව නිර්මාණය කළ එකකි. එහි පසෙක උණු උණුවෙන් සැකසෙන ආහාරය. ඒ අතර විවිධාකාරයේ කටගැස්ම ප්‍රධානය. ඊට ඇති ඉල්ලුම අධිකය. තවත් තැනෙක විවිධාකාරයෙන් මත්පැන් බෝතල් අලෙවි කෙරෙයි. තරුණ තරුණියන් බේදයකින් තොරව ඒවා තොල ගාන බව දිස්වේ.

පමණට වඩා වෙරිමත්ව සිටි තරුණ පිරිස් දුටු පමණින් ඔවුන් මත්පැන්වලට එහාගිය මත්ද්‍රව්‍යන් භාවිත කර තිබෙන බව අවබෝධ කොටගෙන වහාම ඔවුන් පරීක්ෂාවට ලක්කරන්නට නිලධාරීහු පියවර ගත්හ. එකිනෙකා නිසි පරීක්ෂාවට ලක් කරමින් සිටියදී ඇතැමුන් ළඟ සඟවාගෙන සිටි හෙරොයින් මත්කුඩු හමුවිය. තවත් පිරිසක් ළඟ ගංජා තිබූ අතර ස්ටෑම්ප් ලෙස හඳුන්වන හෙරොයින් මිශ්‍ර මුද්දර රාශියක් ද ඒ අතර විය. තවත් පිරිසක් අතර තිබී හමුවූයේ මත්පෙති රාශියකි. මෙසේ මත්ද්‍රව්‍ය සමඟත් කොටුවූ පිරිස 29 දෙනෙකි.

ඒ අතර පාසල් සිසුන් කීපදෙනෙක් ද වූහ. ඔවුන් සියලු දෙනා බදුල්ල ප්‍රධාන පාසල් කීපයක සිසුවෝ වෙති. තවත් කීපදෙනෙක් වෛද්‍ය පීඨ සිසුන් වූහ. මේ අතර සිටි පිරිසක් මෙරට ප්‍රධාන පෙළේ පරිගණක තාක්ෂණ ඉගෙනුම් ආයතනයක සිසුන්ය. මොවුන් සියලු දෙනා බදුල්ල, කඩුගන්නාව, කොළඹ, රත්නපුරය හා මහියංගනය ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ගඟ අද්දර හෝටලයේ පැවැත්වෙමින් තිබූ සාදය සඳහා පිරිස එක්වී තිබුණේ අන්තර්ජාල මුහුණු පොතේ “බ්ලැක් අයිස්” පිටුව හරහාය. ෆේස් බුක් ඔස්සේ පිරිස මුලින්ම හඳුනාගෙන තිබුණේ ගංවතුර ආධාර එක්රැස් කර බෙදාහැරීමේ සමාජ සත්කාරක සංවිධානයක් වශයෙනි. කෙසේ නමුත් අවසානයේ බ්ලැක් අයිස් සිදුකර තිබුණේ මහා පරිමාණයෙන් විවිධ මත්ද්‍රව්‍ය අලෙවි කරමින් ව්‍යාප්ත කිරීමය. ඊට ගොදුරැවූ සියලුදෙනා වයස අවුරුදු 17 – 30 අතර තරුණ තරුණියන් බව පොලීසිය පවසයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක අතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ධම්මික වීරසේකර, සහකාර පොලිස් අධිකාරී ලියනගේ, බදුල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මානියංගම, ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාල්ලගේ සහ මංගල යන අය සමඟින් උපපොලිස් පරීක්ෂවරැන් වන රත්නායක, මංගල, ලිහිනිකඩුව, කාන්තා උපපොලිස් පරීක්ෂක අනෝමා ඇතුළු නිලධාරීන් පිරිසක් වැටලීම සඳහා දායක වූහ.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00