මානවයාගේ කායික වර්ධනයට ආහාර අවශ්‍ය වන්නා සේම මානසික වර්ධනයටද ආහාර අවශ්‍ය වෙයි. මානසික වර්ධනයට අවශ්‍ය වන්නා වූ ආහාර සපයන්නේ සාහිත්‍යය ප්‍රධාන සකල විධ කලාවන්ගෙන්ය. මීට දශක හතරකට පහකට පමණ පෙර අපේ ගම්වලට අද තරම් පහසුකම් නොති. එබැවින්ම කලා රසය විඳීමට ගැමියන්ට තිබූ ඉඩ ප්‍රස්ථා සීමිත විය. එනමුත් ගමේ පන්සලේ පිංකම් පොළේදී, නාට්‍ය පොළේදී, පෙරහරවලදී, බලි තොවිල් ආදි ශාන්ති කර්මවලදී නැටුමෙහි, ගැයුමෙහි, වැයුමෙහි රසය විඳ ගැනීමට ගැමියාට හැකිවිය.
එවැනි සුවහසක් ගැමි දනන්ගේ රසඥතාව පොබකළ ඔවුනගේ මනදොළ සපිරූ එදා විසු ගැමි කලාකරුවකු පසුගියදා අපට හමුවිය.
ගල්ගමුව, පාළුකඩවල, කුරුන්දෑව ගම්මානයේ පදිංචි ඔහු නමින් එස්.ඩබ්ලිව්.එච්. සයිමන් මහතාය. හැත්තෑ හය වැනි වියේ පසුවන මේ උඩරට නැටුම් ශිල්පියා සමඟ කළ කතාබහෙන් “ගමේ ඇත්තන්ගේ රසකතා” අද විචිත්‍ර වෙයි.
ඔබ නැටුම් ශිල්පියකු වුණේ කොහොමද? අපි ඇසුවෙමු.
මගේ තාත්තා, තාත්තගේ තාත්තා ඒ කාලේ බලිතොවිල් ශාන්තිකර්ම කළා. ඒක අපේ පරම්පරා උරුමයක්. හැන්දෑකඩවර, වැදියක් කංකාරිය වාගේ ශාන්තිකර්ම ඒ අය කළා. මම පුංචි කාලේ තාත්තත් එක්ක ඕවායේ කවි කියන්න ගියා. මම ඒවායේ කවි කටපාඩම් කරගෙන තිබුණා. ඔය ශාන්ති කර්මවල කවි දෙකක් දවසකට කට පාඩම් කරගෙන තාත්තා ඉස්සරහා පාඩම් දෙන්න ඕන. ඉස්කොලේ වැඩක් කරගෙන ශාන්ති කර්මවල කවි දෙකතුන් කට පාඩම් කරලා තාත්තා ඉස්සරහා කියන්න ඕන. ඕක තාත්තා මට කළ නියමක්.
මට වයස අවුරුදු විස්සේ විතරදී තාත්තා මාව නැටුම් ගුරුවරයකුට බාර දුන්නා. වලව්වත්තේ ගුරුන්නාන්සේ ළඟට තමයි මාව බාර දුන්නේ. ගුරුන්නාන්සේ කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ අයෙක්. මෙහේ දේවගිරිය ජනපදයේ ඉඩම් හම්බ වෙලා මෙහේ ඇවිත් පදිංචිවෙලා තියෙනවා. ඒ ගුරුන්නාන්සේ උඩරට නැටුම්වලටයි, හේවිසි ගහන්නයි අති දක්ෂයෙක්. දේවගිරිපුර කොළණියේ ළමයි විස්සක් විසිපහක් විතර ගුරුන්නාන්සේ ළඟ නැටුම් ඉගෙන ගත්තා. හැබැයි අන්තිමට ඉතිරි වුණේ මාත් එක්ක හතර පස්දෙනෙක් විතරයි. අදක්ෂයෝ හැලිලා ගියා.
1964 අවුරුද්දේ මම වෙස් බැන්දා. ඒ අවුරුද්දේම තමයි මම කසාද බැන්දෙත්. ඊට පස්සේ අපේ ගුරුන්නාන්සේගේ නැටුම් කණ්ඩායමත් එක්ක රටපුරා නටන්න ගියා. නුවර පෙරහර, ගංගාරම පෙරහර ආදියේත් නටලා තියෙනවා. වැඩිපුරම පන්සල්වල පින්කම් පොළවල තමයි ඒ කාලේ නැටුවේ.
වලව්වත්ත ගුරුන්නාන්සේගෙන් නැටුම් ඉගෙන ගන්න කාලයේම මට තවත් ගුරුවරයෙක් හම්බ වුණා. උඩුනුවර, හිද්දමුල්ල ගමේ තමයි එයා හිටියේ. මගේ ගුරුන්නාන්සේගේ බෑණා කෙනෙක්. මම එයාගෙන් පන්තේරු නැටුම් ඉගෙන ගත්තා. සූවිසි විවරණ, පන්සාලිස්වස විවරණ, සත්සති විවරණ ආදියට නැටුම් ඉගෙන ගත්තේ ඒ ගුරුන්නාන්සේගෙන්.
වලව්වත්තේ ගුරුන්නාන්සේගෙන් පස්සේ මම නැටුම් කණ්ඩායමක් පුරුදු කළා. මගේ මල්ලිලා දෙන්නෙකුත් කණ්ඩායමේ හිටියා. සූවිසි විවරණ නටන්න ගෑනු ළමයිනුත් ඕන. ඒ නිසා මම ගෑනු ළමයිනුත් පුරුදු කළා. ඒ අයටත් උඩරට නැටුම් හා පන්තේරු නැටුම් ඉගැන්වුවා. දැන් සම්පූර්ණ නැටුම් කණ්ඩායමක් මට ඉන්නවා. ඒ අයත් සමඟ මේ පැත්තේ පන්සල්වල පිංකම්වලට නටන්න ගියා.
අම්පිටියේ තේනුවර ගුරුන්නාන්සේ කියලා කෙනෙක් හිටියා. පන්තේරැ නැටුම්වලට ලංකාවේ හිටපු දක්ස ගුරුවරයෙක්. ඒ ගුරුන්නාන්සේගේ කණ්ඩායමයි අපේ කණ්ඩායමේ අයයි එකට එකතු වී සුවිසි විවරණ නැටුම් කළා.
ඔය නැටුම් බොහෝ විට ප්‍රදර්ශනය කළේ පන්සල්වල පවත්වන පිංකම්වලදී බව ඔබ කීවා. එහිදී ඔබලාට ලැබුණ පහසුකම් මොනවද?
එදා අද තරම් දියුණු නෑනේ. ඈත ප්‍රදේශවල පින්කම්වලට අපි යන්නේ බස්වල බෙර ගෙඩියි, වෙස් පෙට්ටියයි ඔක්කොම බස් එකේ දාගෙන යනවා. බස් පාරෙන් බැහැලා තවත් දුර පයින් යන්න තියෙනවා නම් ඒ දායකයෝ ඒකට අපට පහසුකම් සපයනවා. අත්ට්‍රැක්ටර හරි ලොරි භාග හරි මඟට එනවා. එක දිගට දවස් දෙකේ තුනෙ හරි දවස් හයේ හතේ පිංකම් තියෙනවා. ඔය නේත්‍රා තැබීමේ පිංකම් තමයි දවස් හය හතේ තියෙන්නේ. ඒ දින ටිකේ අපට පන්සලේ මඩුවක හරි දායකයකුගේ ගෙදරක හරි නවාතැන් පහසුකම් දෙනවා. කන්ඩ බොන්ඩත් දෙනවා. අපේ නැටුම් කණ්ඩායමේ දොළොස් දෙනෙක් අඩුම ගණනේ ඉන්නවා. එක රෑකට ගෙව්වේ රුපියල් හැත්තෑ පහයි. හොඳම නැට්ටුවෙකුට දෙන්නේ රුපියල් පහයි.
කෙල්ලෝ නටනවා කියලා ආරංචි වුණාම සෙනඟ පිරෙනවා. ගම්මාන හත අටක සෙනඟ නැටුම් බලන්ඩ එනවා. ඔය අතර පින්කම් පොළවල කචල් එහෙමත් (රණ්ඩු සරුවල්) යනවා. වැඩිපුරම ඉලන්දාරි අතර තමයි ගැටුම් ඇති වෙන්නේ. නැටුම් බලන්ඩ ටවුන්වල කොල්ලොත් එනවනේ. උන් ඇවිත් ගමේ කෙල්ලන්ට ඉඟිබිගි පානවා. ඒවා දකින ගමේ කොල්ලෝ ටවුන් එකේ උන් එක්ක රණ්ඩුවට යනවා. ඊට පස්සේ දෙගොල්ලොම ගහගන්නවා.
අපි පාළුකඩවල පන්සලේ පින්කමකට ගිහින් ඉද්දී ඔහොම එකකට කොල්ලෝ අතර ගැටුමක් ඇතිවුණා. අන්තිමට එක ගමේ දෙකක් ගහ මරා ගන්නා තත්ත්වයට පත්වුණා. පිංකමේ අන්තිම දවසේ රෑ පිංකම කළේ ගමේ අය තුවක්කු තියාගෙන මොකද අනිත් ගමේ අය පණිවුඩයක් එවලා තිබුණා පිංකම කරන්න දෙන්නෙ නෑ කියලා. ඒකයි තුවක්කු තියාගෙ ඉන්න වුණේ.
නැටුම් ශිල්පයේ නිරත වන කාලේ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇතිනේ. කීපයක් මතක් කරමුද?
ඔය ඉහළගම ප්‍රදේශයේ පිළිගැනීමේ උත්සවයක් තිබුණා. මට මතක හැටියට ඉහළගම පන්සලේ විවෘත කිරීමේ උත්සවයක් වගෙයි. උත්සවයට ආවේ යූ.බී. වන්නිනායක මුදල් ඇමැතිතුමා. ඒකේ පෙරහරේ නටන්න අපට ආරාධනා කරලා තිබුණා. මගේ ගුරුන්නාන්සේ වන වලව්වත්තේ ගුරුන්නාන්සේ එක්ක තමයි අපි ගියේ. අපට වෙස් බඳින්න සූදානම් කරලා තිබුණේ පාර අයිනේ ගෙදරක්.
අපි දැන් වෙස් බැදගෙන මුදල් ඇමැතිතුමා එනකම් පාරට වෙලා බලාගෙන ඉන්නවා. කට්ටිය නැටුම් බලන්න ආස නිසා ඇමතිතුමා එන්ඩ කලින් අපි විනාඩි දහයක් විතර නැටුවා. ගුරුන්නාන්සෙත් වෙස් බැඳලා හිටියේ. ඒ නටලා ගුරුන්නාන්සේ මට කීවා පුතා මගේ තට්ටුව (වෙස් තට්ටුව) බුරුල් වෙලා වගේ මම මේක තද කරගෙන එන්නම් කියලා. අපි වෙස් බැන්ද ගෙදරට ගියා. ටික වෙලාවකින් මනුස්සයෙක් අපි ළඟට ඇවිත් කීවා ඉක්මනට යන් ආන් ගුරුන්නාන්සේට ක්ලාන්තයක් හැදිලා කියලා. අපි යන කොටත් එක්කෙනක් ගුරුන්නාන්සේ වත්තම් කරගෙන හිටියා.
ගුරුන්නාන්සේ හැලහොල්මනක් නෑ. අපට සැක හිතුණා. ගමේ වෙදමහත්තයෙක් ඇවිත් නාඩි අල්ලලා බලලා කීවා මැරිලා කියලා. මගේ ගුරුන්නාන්සේ වෙස් ඇඳුම පිටින්ම මිය ගිහින්. දැන් මොකද කරන්නේ. පොලීසියනුත් ඉන්නවා. මැරිලා කියලා දැන ගත්තොත් එතැන කොරනෙල් පරීක්ෂණයි, අරවයි මෙව්වයි කරන්න වෙනවා. කොහොම හරි අපි කතා වෙලා උත්සවයට ඇවිත් තිබූ කාර් එකක් කතා කරගෙන ගුරුන්නාන්සේගේ සිරැර එයාගෙ ගෙදරට යැව්වා. වෙස් ඇඳුම පිටින්ම තමයි කාරයට මිනිය දැම්මේ.
මුදල් ඇමැතිතුමා ආවට පස්සේ ඒ පෙරහරේ අපි කණ්ඩායම නටලා පෙරහර ගෙටවද්දලා (පෙරහර අවසන්කොට) ඒ ගමන්ම අපි ගුරුන්නාන්සේගේ මළ ගෙදරට ගියා. මගේ ජීවිතය තියෙනතුරු ඒ සිද්ධිය නම් අමතක වෙන්නේ නෑ.
නැටුම් ශිල්පියකු ලෙස කටයුතු කරද්දී ඔබට කීර්ති ප්‍රශංසා, ගැරැහුම් ආදියත් ලැබෙන්න ඇති?
ගැරහුම් නම් තාම ලබලා නෑ, කීර්ති ප්‍රසංශා නම් එමටයි. මට මතකයි ඒ කාලේ මම ඉස්කෝලේ යන ළමයෙක්. අපේ තාත්තලා එක්ක මම ගියා බලි තොවිල් ශාන්ති කර්මයකට. ඒ ගල්නෑවට. ඒ කාලේ ශාන්ති කර්මවල කියන කවි කියන්න මම යනවා. තාත්තයි මායි එක යුගයක් කියනවා. තව දෙන්නෙක් අනෙක් යුගය කියනවා. (දෙදෙනා බැගින් එකතු වී හතර දෙනකු තරගයට මෙන් කවි කීම) හවස පටන් ගත්තාම එළිය වැටෙනකම් කවි කියන්න මම දැනගෙන හිටියා.
ඒ කාලේ බලි මඩුවල වියන් බඳින්නේ හේනේ මාමලා. ඒ විතරක් නෙවෙයි බලිතොවිල් මඩුවේ බෙරගහන කවි කියන අයටත් රෙදි දෙන්නේ රෙදි මාමා. එදා ඒ බලි මඩුවට රෙදි දෙන්න ආපු හේනේ මාමා අනිත් අයට රෙදි දුන්නා. මට රෙදි දුන්නේ නෑ. ඒ නිසා අපේ අයියා කීවා මල්ලිටත් රෙදි දෙන්න කියලා. මේ පොඩි එකා බලි අරින හැටි මම දන්නේ නැතා. මෙයාට මොනවටද රෙදි කියලා හේනේ මාමා කීවා. අයියා ඊළඟ සැරේටත් රෙදි දෙන්න කියලා කිව්වා. එහෙනම් මටත් මේ රෙදි එපා කියලා ආපහු රෙද්ද දෙන්න හැදුවා. ඕන් ඒ ගමන තමයි මිනිහා මට රෙදි දුන්නේ. තාත්තා මට ඒ රෙද්දෙන් තුම්පොට්ටනි ඇඳුම ඇන්දුවා.
ලබන සතියට
♦ ගලිගමුවේ නිහාල් ජයවීර