මහියංගණය සොරබොර ජනපදය අද හැඬූ කඳුළිනි. පුංචි කෙලි පැටියෙක් තම ආදරණීය අම්මා පුංචි මල්ලියකු ගෙන ගෙදර කඩුල්ල පනිනා තුරු බලා සිටී. ඒ පුංචි දෑස් කඳුළෙන් බර විය. ආදරණීය සැමියකුගේ හිතේ අහස උසට තිබූ බලාපොරොත්තු එක නිමේෂයකින් කඩා වැටුණි. අද ඒ හිතේ ඇත්තේ හිස් වූ බලාපොරොත්තු පමණි. වයස අවුරුදු තිස් හතක් වූ ඒ.එම්. රෝහිණී අත්තනායක එක් පුංචි දියණියකට ආදරණීය මවක් වූවාය. එම දියණියට වයස අවුරුදු හතර පිරෙද්දී රෝහිණී නැවත ගැබිණියක් වූවාය.
ගොවිතැන් කොට ජීවත් වූ සැමියාත් දියණියත් සමඟ මහියංගණ, සොරබොර ජනපදයේ අංක අසූව ගම්මානයේ අංක 131 නිවසේ විසූ රෝහිණී මීට වසර හතරකට පෙර සීසර් සැත්කමකින් තම මුල් දරු ප්‍රසූතිය සිදු කළාය.
ජූනි මස 26 වැනිදා රෝහිණී දෙවැනි දරු ප්‍රසූතිය සඳහා මහියංගණ මූලික රෝහලට ඇතුළත් කෙරුණි. පළමු දරු ප්‍රසූතිය සීසර් සැත්කමකින් සිදුකර තිබුණද ඒ වන විට රෝහිණී යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටි බැවින් මෙම දරු ප්‍රසූතිය ස්වභාවික දරු ප්‍රසූතියක් ලෙස කිරීමට වෛද්‍යවරු තීරණය කළහ.
නමුත් සිදු වූ හදිසි තත්ත්වයක් හේතුවෙන් දරුවා සීසර් සැත්කමකින් බිහිකරලීමට වෛද්‍යවරුන් උත්සාහ ගෙන ඇතැයි කියති. එහිදී දරුවා බිහිකර ගැනීමෙන් පසුව රෝහිණී මියගියාය. ඇය පුංචි දියණියක් මෙලොව බිහි කළාය. නමුත් ස්නායු ඉතා දුර්වල තත්ත්වයට පත්ව සිටි ළදැරියද අවසානයේදී මව මෙන් මෙලොව හැර ගියාය.
රෝහිණීගේ සැමියා ඇතුළු ගම්වාසීහු මෙය මහියංගණය මූලික රෝහලේ නොසැලකිලිමත්කම හේතුවෙන් සිදු වූ සිදුවීමක් බව පවසති. රෝහිණීගේ මරණය සම්බන්ධව තීන්දුව ලබාදීමට ඇගේ සිරැරේ කොටස් වැඩිදුර පරීක්ෂණය සඳහා යොමුකර ඇති බව සඳහන් වේ.
“මේක මහියංගණ ඉස්පිරිතාලේ වැරැද්දක්. ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ට වඩා ඉන්නේ සේවකයෝ. හැබැයි මනුස්සයන්ට කතා කරන්න දන්නේ නෑ. ඒ අය ගාව මනුස්සකම් නෑ. ඒ හිත්වල අනුකම්පාව නෑ. අද මගේ පුංචි දුවට අම්මා නෑ. එයා අහන දේවල්වලට උත්තර දෙන්න මට තේරෙන්නේ නෑ. අනේ ඉස්පිරිතාලවල් වලින් මෙහෙම දේවල් කරන්න එපා”
රෝහිණීගේ සැමියා තම බිරියගේ දේහය ඉදිරියේ හඬමින් පැවසීය. පුංචි දියණිය අම්මාගේ නිසල සිරුර දෙස බලාගෙන සිටී. ඒ ඇස්වල කඳුළුය. අම්මාට නින්ද ගොසින් බව ඇය සිතන බවකි. මල්ලියෙක් ගෙනෙන තුරු බලාගෙන සිටි ඇයට පුංචි නැගණියක අම්මාගේ තුරුලේ නිදාගෙන සිටිනු දකින්නට ලැබේ. නමුත් අම්මාවත්, පුංචි නංගීවත් ඇය සමඟ කතා කරන්නේ නැත.
“අනේ... අපේ නංගී.. මේක සම්පූර්ණයෙන්ම ඉස්පිරිතාලේ වැරැද්දක්. මේ පුංචි කෙල්ලට අපි දැන් මොකද කියන්නේ... කිසිම දෙයක් තේරෙන්නේ නැති මේ කෙල්ල ඔහේ අඬනවා. අඩුම ගාණේ දුවට අම්මවත් අඳුරගන්න බැරිවුණා. මෙහෙම කරන්න මොකක්ද අපි කරපු වරද..”
රෝහිණීගේ සහෝදරියක් හඬා වැළපෙමින් ප්‍රශ්න කරන්නීය. සැබැවින්ම රෝහිණී මියයාමට හේතුව කුමක්ද..?
මරණ පරීක්ෂණය සඳහා රෝහිණීගේ දේහය 30 වැනිදා බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත මහියංගණය රෝහල මගින් බාර කෙරිණි.
රෝහිණීගේත් පුංචි බිළිඳියගේත් නිසල දේහයන් මිහිදන් කිරීමට පළමුව ඔවුන්ගේ ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීහු දේහය මහියංගණය පොළොන්නරු මාර්ගයේ නිදහන්ගල මංසන්ධියට රැගෙනවිත් මහියංගණය මූලික රෝහලේ ප්‍රසූතිකාගාරයේ වෛද්‍යවරුන්ට එරෙහිව විරෝධතා දැක්වූහ.
මේ සම්බන්ධව මහියංගණය මූලික රෝහලෙන් අප කළ විමසුමකදී රෝහලේ වෛද්‍යවරයෙක් මෙසේ අදහස් දැක්වීය.
“මේ සම්බන්ධව අපි පළාත් සභා සෞඛ්‍ය ලේකම්ට ලේඛනයක් ඉදිරිපත් කරලා තියෙනවා. රෝගියෙක් මියයාමේදී එය ක්ෂණිකව හඳුනාගත හැකි තත්ත්වයක් නම් ඒ වෙලාවේම අදාළ මරණ පරීක්ෂණ තීන්දුව ලබලා දෙනවා. නමුත් මෙම රෝගියාගේ මරණයට හේතුව නිශ්චිතවම කියන්නට අමාරු වුණා. බොහෝ වෙලාවට ගර්භාෂයේ ඇතුළත තියන වතුර ලේවලට මිශ්‍රවීමෙන් ඇතැම් විට මෙලෙස ක්ෂණික මරණ ඇතිවෙන්නට පුළුවන්. හැබැයි මේක බොහොම දුර්ලභ තත්ත්වයක්. බොහෝ විට මේ මරණයටත් හේතුව එයම වෙන්නත් පුළුවන්. ඇය ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් හිටියේ. මේ නිසා බොහෝ විට අපි අර රෝගී තත්ත්වය ඇතිවෙන්න ඇතැයි සැක කරනවා. ඒ සම්බන්ධව තීරණය කිරීමට පටකවේදී පරීක්ෂණය කිරීමේදී අදාළ වාර්තාව එන්නට මාස එකහමාරක් පමණ ගතවෙනවා.”
කෙසේ වෙතත් අද වෙද්දි පුංචි දියණියකට තම ආදරණීය අම්මා අහිමිය. තනි නොතනියට මල්ලියෙක් ගේන්නට රෝහලට ගිය අම්මා පුංචි දියණියට කවදාවත් දකින්නට ලැබෙන්නේ නැත.
♦ දිශානි ජයමාලි කරුණාරත්න