2017 ජුලි 08 වන සෙනසුරාදා

මාතර අපරාධ ඇල්ලූ ජෙසික්

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 171

කකුල් හතරේ රහස් පරීක්ෂක හපන්කම්

සොරකම්, මංකොල්ල, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ ආදී අපරාධවලට සම්බන්ධ සැකකරුවන් ඇල්ලීම ඇතැම්විට ඉතා දුෂ්කර රාජකාරියකි. සී.සී.ටී.වී. කැමරා දර්ශන හෝ ඇසින් දුටු පැහැදිලි සාක්ෂියක් නොමැති විට සැකකරුවන් අනුමාන කිරීම වඩාත් අසීරු වෙයි. එහෙත් සැකසහිත යමක ඉව පමණක් ලබාගෙන ඒ ඔස්සේ හඹාගොස් අපරාධකරු කොටුකර ගන්නට සමත් “කකුල් හතරේ රහස් පරීක්ෂකයන්ගේ” සේවය වැදගත් වන්නේ එහිදීය. අපරාධ විමර්ශනයේදී පොලිස් නිල සුනඛ අංශය මගින් මනා මෙහෙයක් ඉටුවෙයි. ඝාතනයක, මංකොල්ලයක හෝ සොරකමක කිසිදු සාක්ෂියක් නැතත් සැකකරුගේ කුමන හෝ ඉවක් ඔස්සේ ගොස් අපරාධකරු කොටුකර ගත් අවස්ථා රාශියක් තිබේ.  එවැනි අත්දැකීම් සහිත අපරාධ පරීක්ෂණ වාර්තා කිහිපයක් පිළිබඳව කරුණු හෙළිකිරීමට අප තෝරාගත්තේ රාජකාරි රැසක් අතුරින් සාර්ථක මෙහෙයුම් 50ක් සිදුකළ මාතර කොට්ඨාසයේ “ජෙසික්”ය.

මේ සුනඛයා හය වසරක පළපුරුදු අපරාධ පරීක්ෂකයෙකි. බෙල්ජියම් බැලනෝයි කුලයේ උපන් ජෙසික් නෙදර්ලන්තයේ සිට මෙරටට ගෙන ආවේ 2010 වර්ෂයේදීය. අපරාධ පරීක්ෂණ 200කට පමණ සම්බන්ධ වූ ජෙසික් ඉකුත් පළමුවැනි සෙනසුරාදා සාර්ථකව මෙහෙයුමක් අවසන් කළේ හක්මන පොලිස් බල ප්‍රදේශයේදීය.
හක්මන ප්‍රදේශයේ ගමක සිය නිවසේ නිදා සිටි බාල වයස්කාර දැරියකට ඉකුත් 1 වැනිදා අලුයම 1ත් 2ත් අතර කාලයේදී කිසියම් පුද්ගලයකු විසින් අතවර කරන ලදැයි කියන පැමිණිල්ලක් ලැබී තිබුණි. ඇසින් දුටු සාක්ෂියක් නොවූයෙන් සිද්ධිය විමර්ශනයට නිල සුනඛ ජෙසික් රුගෙන ආවේ පොලිස් කොස්තාපල් 37065 මහේෂ් මහතා විසිනි.
බාල වයස්කාර දැරිය නිදා සිට ඇත්තේ නිවසේ ඉදිරිපස කාමරයකය. අතවර කිරීමත් සමඟ ඇගේ කෑ ගැසීමට මව්පියන් අවදි වී ඇත. එසැණින් සැකකරු පළා ගිය අතර ඔහු ගැන හෝඩුවාවක් නොවීය. පසුව දකින්නට වූයේ කුස්සියේ ජනේලයකින් සැකකරු ඇතුළු වී එතැනින්ම පැනගොස් තිබූ බවය. ජනේලයේ වූ සැකසහිත පා සටහනක් ඉව කරන්නට සැලැස්වූ මහේෂ් මහතා ජෙසික්ට අණ කළා පමණය.

“පා සටහනට ඉව කරවූ ජෙසික් ගෙදර වත්ත පිටුපසින් මීටර් 75ක් විතර ගිහින් අඩි 6ක විතර ගුරු පාරකට ගියා. එතන ඉඳන් තවත් මීටර් 75ක් විතර ගියා. එතන වතුර පිරුණු වැවක් තිබුණා. වැව මායිමේ තිබුණු කටුමැටි ගහපු පුංචි ගෙදරක් දිහාවට ඉව කරගෙන ගියපු ජෙසික් දොර තල්ලු කරගෙන ගෙට ගියා. ගිහින් කාමරයක ඇඳ ළඟ නැවතුණා. ඒ වෙලාවේ ගෙදර කවුරුත් හිටියෙ නෑ. කාමර දෙකයි සාලයයි විතරයි ගෙදර තිබුණෙ. 

නැවත එළියට ආපු ජෙසික් මිදුලෙ ටැප් එක ළඟ නැවතුණා. එතනින් එහාට ටිකක් කැලෑව වගේ තිබුණා. ජෙසික් ඒ පැත්තට ගියා. ගිහින් නැවතිලා ඉවකළා. එතන බිම උදැල්ලකින් කොටලා තිබුණා. පෙනුමෙ හැටියට ගැඩවිල්ලු හාරලා අරගෙන. ඊට පස්සෙ ජෙසික් ගිහින් වැව් ඉවුරේ නැවතුණා. දැන් පැහැදිලියි අපරාධකරු මේ ගෙදර හිටිය බවත් ඔහු ගැඩවිල්ලු හාරගෙන මාළු බාන්න ඇවිත් තියෙනවා කියලත්. ඉන් මොහොතකට පස්සෙ මිනිහා අත්අඩංගුවට ගත්තා.” පොලිස් කොස්තාපල් මහේෂ් පැවසුවේය.

අපරාධ විමර්ශනයට දක්ෂ ජෙසික් මාතර නගරයේ සංචාරක හෝටලයක සිදුවූ රුපියල් ලක්ෂ 25ක මංකොල්ලයේ කොල්ලකරු හඳුනාගෙන තිබුණේ කවුරුත් මවිත කරවමිනි. දිනය ඉකුත් වසරේ දෙසැම්බර් 26 වැනිදාය. චීන ජාතික යුවළකට අයත් සංචාරක හෝටලය මහල් 5කින් යුක්තය. 5 වැනි මහල විවෘත පරිශ්‍රයක් වූ අතර සිව්වැනි මහල ඔවුන්ගේ නිවෙස ලෙස භාවිත කෙරිණි. දෙදෙනා නිවෙසින් පිටවී නගරයට ගොස් තිබුණේ පෞද්ගලික කාරණාවක් සඳහාය. නැවත ඔවුන් පැමිණි මොහොතේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 25ක් අතුරැදන් වී තිබිණි. කිසිදු හෝඩුවාවක් නොතිබිණි. කොල්ලය විමර්ශනයට ජෙසික් කැඳවනු ලැබීය.

“සිද්ධියෙන් පස්සේ පොලීසිය ස්ථානය ආරක්ෂා කර තිබුණා. මම ඉහළ මාලය විමර්ශනය කළා. එතැන කහ පාට ඉටි කවරයක් තිබුණා. පහළ තට්ටුවේ වහලය මත විදෙස් ගමන් බලපත්‍ර 2ක් තිබුණා. ඒවා අර කවරයේ බහා තිබී ඉහළ මාලයෙන් විසිකළ ඒවා. මේ භාණ්ඩවල ඉව ලබා දුන් පසු ජෙසික් 4 වැනි මහලට ආවා. එතැන තිබූ බෑග් එකක් ඉවකළා. මුදල් අසුරා තිබුණේ එතන බව අනාවරණය වුණා. පස්සෙ කෙළින්ම දෙවැනි මහලට ආවා. එතැන කාමරයකට ගිහින් නැවතුණා. මේ කාමරය ප්‍රධාන සූපවේදියාගේ කාමරය බව කීවා. ඊට පස්සෙ බිම් මහලට ගිහින් සූපවේදී “මාවෝ දොන්”ට ඉව කරලා ළඟ වාඩිවුණා. දැන් කොල්ලකරු පැහැදිලියි. ඔහු චීන ජාතිකයෙක් නිසා භාෂා පරිවර්තකයෙක් මගින් කරුණු අවබෝධ කර දුන්නා. ඒ වෙලාවෙම ඔහු වරද පිළිගත්තා විතරක් නෙවේ සඟවාගෙන තිබූ ලක්ෂ 25ත් ලබාදුන්නා.” ජෙසික්ගේ නිල භාරකරු මහේෂ් මහතා විස්තර කළේය.

අකුරැස්ස, ඉලුක්වත්ත ඉහළපේ, ශ්‍රී ධර්මාරාම විහාරයට හීල් දානය රැගෙන ආ දායක පිරිසකි. නමුත් විහාරාධිපති පල්ලේකුඹුරේ ශ්‍රී විමල නාහිමියෝ පෙනෙන්නට නොසිටියහ. විපරම් කිරීමේදී උන්වහන්සේ නිදි යහනේම ඝාතන කර තිබෙනවා දැක වහාම ඒ බව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඔවුහු දැන්වූහ.

ඉකුත් වසරේ මාර්තු 11 වැනිදා මේ සිද්ධිය වී තිබිණි. අකුරැස්ස පොලිස් බල ප්‍රදේශයේ කිසිදු සාක්ෂියක් නොමැතිව මෙලෙස හිමිනමක් අභිරහස් ලෙස ඝාතනය පිළිබඳ විමර්ශනයට සහකාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ ඉල්ලීමට ජෙසික් කැඳවා තිබුණි. ස්ථානය පරීක්ෂාවට ලක්කළ මහේෂ් මහතාට දකින්නට ලැබී ඇත්තේ දේහය ආසන්නයේ තිබූ දෙපස උල්කරන ලද ගිනිසීරියා පොලු කැබැල්ලකි. ඒ පිළිබඳ අවධානයෙන් පසුවූ මහේෂ් මහතා එහි ඉව ලබාගන්නට සැලැස්වූ ජෙසික් මුළුතැන්ගේ දොරින් එළියට බැස්සේය. පන්සල් වත්තෙන් පිටවූ ජෙසික් අක්කර 16 මාර්ගයට පැමිණ මීටර් 200ක් පමණ ඇවිද ගියේය. නැවත අතුරු පාරකට හැරී තේවත්තක් මැදින් තරමක් දුරක් ගමන් කරන්නට විය.

ජෙසික් ගිහින් නැවතුණු තැන ගිනිසීරියා ගසක් තිබුණා. එතැන අත්තක් කපලා දාලා තිබුණා. කොළ අතු රැහැලා ලීයක් උල්කරපු කොටස් සහ ඒකට බිම පළුදු වූ ලකුණු තිබුණා. හාමුදුරුවන්ගේ දේහය ළඟ තිබුණු ගිනිසීරියා ලීයේ කොටස් තමයි එතන තිබුණේ. සුනඛයා එතන බිම ඉවකළා. අපරාධකරුගේ දාඩිය හෝ කෙළ එතන තියෙන්න ඇති. එතනින් තවත් මීටර් 50ක් විතර ගිහින් වෙල්යායක් ළඟ තිබූ පුංචි ගෙයක් ළඟ නැවතුණා. ගෙදර කවුරුත් පේන්න හිටියේ නෑ. ගමේ අය කීවේ මේ ගෙදර අය ඊයේ රෑ ඉඳලා පේන්න නොහිටි බවයි. මේ ගෙදර හිමිකරු ගනේෂන් සභාරත්න නමැති දමිළ ජාතිකයෙක්.” යැයි මහේෂ් මහතා කීය.

ජෙසික්ගේ මෙහෙයුම අවසන් වූ වහාම ඔවුහු එතැනින් නික්ම ගියහ. සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිවූයේ ඔහු ඝාතනය සිදුකර ඇති බවය. ඔහුගේ යතුරුපැදියේ ලීසිං වාරික තුනක් ගෙවීමට තිබූ බවත් ඒ සඳහා මුදල් සොරාගන්නට පන්සලට ගිය බවත් ජංගම දුරකතන 2ක් සහ මුදල් සොරාගෙන පිටත් වනවිට හාමුදුරුවෝ තමා හඳුනාගත් නිසා ඝාතනය සිදුකළ බවත් ඔහු පාපොච්චාරණය කළේය. මේ සිදුවීම හේතුවෙන් ගැටුම් හටගන්නට තිබූ ඉඩකඩ පිළිබඳ සැකයෙන් කරුණු අනාවරණය සීමාකොට තිබුණි.

දික්වැල්ල පොලිස් බල ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුවූ පසුව එහි පොලිස් පරීක්ෂණ නොමග යවන්නට පිරිසක් උත්සාහ ගනිමින් සිටියදී එය සාර්ථකව විමර්ශනය කිරීමටද නිල සුනඛ ජෙසික් සමත් විය.
මෙය ඉකුත් 2016 වසරේ ජනවාරි 6 වැනිදා සිදුවීමකි. අදාළ නිවෙසේ හිමිකාර ගෘහමූලිකයාට වෙඩි ප්‍රහාර දෙකකින් බරපතළ තුවාල සිදුව තිබුණි. හිසට සහ පපුවට ප්‍රහාර එල්ල වී තිබිණ. අනතුරැව පැමිණිල්ලක් දික්වැල්ල පොලීසියට යොමු කිරීමෙන් පසුව එහි සාක්ෂියක් නොවූ නිසා ජෙසික් කැඳවන්නට තීරණය කෙරිණි. අපරාධය වූ ස්ථානයේ මොහොතක් රැඳුණු ජෙසික් එම ස්ථානයෙන් ඉඩ ලබාගෙන නිවෙසට පිටතින් ඇති අඩි පාරක් ඔස්සේ ගමන් කළේය. එම අඩිපාර කෙළවර නිවෙසක් පෙනෙන්නට වූ අතර මග නැවතුණු සුනඛයා වන ලැහැබ ඉවකරන්නට විය.

“ඉවකරපු තැන පරඬැල් වගයක් දාලා තිබුණා. ඒවා ඉවත් කළාම ගල්කටස් වර්ගයේ ගිනි අවියක් හමුවුණා. ඒකෙන් නැවත ඉව ලබාගෙන ආපු පාරටම හැරිලා නැවත අර ගෙදරටම ආවා. ඇවිත් වෙඩි වැදුණු පුරුෂයාගේ බිරිය ළඟ නැවතුණා. දැන් සැකය තියෙන්නේ මේ කාන්තාව පිළිබඳවයි. ඒ වනවිට ඇය හොඳටම බයවෙලා.

ඊට පස්සෙ ඇය එකිනෙක තොරතුරු කියන්න ගත්තා. මේ කාන්තාව අසල්වැසි ගෙදර කෙනකු සමඟ පැවැත්වූ අනියම් සම්බන්ධයක් හේතුවෙන් මේ නිසා දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇතිවෙලා තිබෙනවා. පස්සෙ ගහගෙන තියෙනවා. එකපාරක් කපලා තියෙනවා. මේකට පළිගන්න හිතපු සැමියා ඔහුම ඔහුට වෙඩි තියාගෙන තියෙනවා. පස්සේ ගිනි අවිය අර ගෙදරට යන පාර දිහා හැංගුවේ ඒ ගෙදර මිනිස්සු පොලීසියට හසු කරන්නයි. මේ විදිහට පොලීසිය නොමග යවලා නිවැරදි කෙනෙක් වරදකරු කරන්න ගත් උත්සාහයක් වැළකුණා. අවාසනාවට වෙඩි තබාගත් පුද්ගලයා දින කීපයකින් මියගියා.” යැයි මහේෂ් මහතා පැවසීය.

දිනය ගිය වසරේ ජනවාරි පළමුවැනිදාය. වැලිගම පොලිස් බල ප්‍රදේශයේ ගාල්ල - මාතර මාර්ගය ආසන්නයේ නිවෙසක පුද්ගලයෙක්ට පහර දී ඝාතනය කර තිබුණේ එදින රාත්‍රියේය. පසුදිනම එහි කැඳවූ ජෙසික්ට මිදුලේ තිබූ සැකසහිත සෙරෙප්පුවක හා හිස් වැසුමක ඉව ලබාදෙන්නට පොලිස් කොස්තාපල් මහේෂ් පියවර ගත්තේය.

“ගෙදරයි ප්‍රධාන මාර්ගයයි අතර දුර මීටර් 15ක් පමණ. ඉව ලබාදුන් පසුව ජෙසික් නුගගහහේන පාරේ මීටර් 600ක් විතර ගියා. එතැනින් හැරිලා සුනාමි ගම්මාන පාරේ මීටර් 100ක් විතර ගිහින් අතුරු පාරකට හැරිලා ගෙදරකට ගියා. ගෙදර කවුරුත් පේන්න නෑ. අල්ලපු ගෙදරින් කීවා හිටපු කෙනා කැලේට දිව්වා කියලා. සුනඛයාත් කැලේ දිහාට ටිකදුරක් ගියා.  සැකකරු උදයංග කියන කෙනා. පස්සේ ඔහු අත්අඩංගුවට ගත්තා.

මොවුන් රාත්‍රියේ ඝාතනය සිදුවූ නිවෙස ළඟින් එද්දි දෙපිරිසක් අතර ගැටුමක් තිබිලා තියෙනවා. ඔවුන්ගේ සද්දෙ නිසා ගෙදර හිමිකරු දොර ඇලා තියෙනවා. ඔහුගේ ත්‍රීවීලය මිදුලෙ තිබෙන නිසා ඒකට හානියක්ද කියලා බලන්න. ඒ වෙලාවේ තිබූ කේන්තියට උදයංග නැමැත්තා අර පුද්ගලයාට ගහලා තියෙනවා. ඔහු බිම වැටුණු නිසා බයට මොවුන් දුවලා. සෙරෙප්පු දෙකත් දාලයි දුවලා තියෙන්නේ. නැවත ගෙදර ගිහින් පිහියක් ගෙනත් වැටුණු තැනැත්තාට අනිනවා. ඒකෙන් ඔහු ඝාතනය වෙනවා. මේ විදිහට මිනීමැරුමේ සැකකරු ඇල්ලුවේ ජෙසික්ගේ හැකියාව නිසයි.” මහේෂ් මහතා පැවසීය.

ඊළඟ සිදුවීම සොරකමකි. වාර්තා වූයේ පිටබැද්දර කදුරුවාන, බුලුවන ප්‍රදේශයෙනි. එය 2015 වසරේ දෙසැම්බර් 13 වැනිදා සිදුවූවකි. ශිව ශ්‍රී රවිශංකර් ශර්ම ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල පිහිටා තිබුණේ ඉහත ප්‍රදේශයේය. කාලයක පටන් කෝවිලේ පිංකැටය, රන් භාණ්ඩ වැනි හොරකම් කීපයක් සිදුව තිබුණි. සැක කිසිවෙක් හෝ සම්බන්ධ වූවෙක් හසුවූයේ නැත.

හින්දු ආගමානුකූල විවාහ චාරිත්‍රවලට අනුව පෙරදින රාත්‍රියේ මනාලියට පළඳවන රන්තැල්ල තැන්පත් කිරීම සිරිතකි. වටිනා රන් තැල්ලක් එදින රාත්‍රියේදී තැන්පත් කළ පිරිස පිටව ගියේය. පසුදින එම පිරිස පැමිණ රන්තැල්ල සෙවුවද එය අතුරුදන්ව තිබුණි. නිල සුණක “ජෙසික්” කැඳවූයේ එහි විමර්ශනය සාර්ථක කර ගන්නටය. 

සුනඛයා සමග පැමිණි පොලිස් කොස්තාපල් මහේෂ් මහතාට සැකසහිත භාණ්ඩයක් නිරීක්ෂණය නොවුණු අතර පූජකවරයකුට අයත් ඇඟළුමක් පමණක් වැටී තිබෙනවා දැක ඇත.

“බිම වැටිලා තිබුණු වෙට්ටියක් ලැබුණා. සෝදිසි කළාම තේරුණා පිං පෙට්ටියේ ඉබ්බා කඩන්න අල්ලන්න කලින් මේ රෙද්දෙන් වහලා යමකින් ගහන්න ඇති කියලා. ඒකට හේතුව තමා සද්දෙ පිටට නොඇසෙන විදියට සොරකම සිදුකරන එක. මේ සැකයට ඒ රෙදිකඩෙන් ඉව ලබාදුන්නා. කෝවිලට දකුණු පසින් අඩි පාරක පහළට ගිය ජෙසික් පාරකට මතුවුණා. පස්සෙ රබර් වත්තක් මැදින් ගිහින් අඩිපාරකට ගියා. මෙහෙම කුඹුරක නියරක් දිගේ මීටර් 200ක් විතර ගියා. කුඹුර කෙළවරේ තිබුණු 3 වැනි ගෙදර ඉදිරියේ ජෙසික් නැවතිලා හිටියා.

මේ ගෙදර හිටියේ රගුවාන් මවුසාන් කියලා කෙනෙක්. ඔහු කෝවිලේ පූජකවරයාගේ මස්සිනා. ඔහුගෙන් ප්‍රශ්න කළාම පිළිගත්තා රන්තැල්ල සමගින් පිංකැටයේ සල්ලි සොරකම් කළ බව. ඒ වෙද්දි රන්තැල්ල උගස් කරලා තිබුණත් එය සොයාගන්න පුළුවන් වුණා.”

මෙම විස්තර ලබාදුන් පොලිස් කොස්තාපල් මහේෂ් මහතා පොලිස් සේවයේ වසර 17ක් සහ පොලිස් නිල සුනඛයින් හැසිරවීමේ වසර 6ක අත්දැකීම් සහිත නිලධාරියෙකි. ඉන් වසර පහක් මාතර ප්‍රදේශයේ නිල සුනඛ ජෙසික් සමගින් සිදුකළ විමර්ශන පිළිබඳව ඔහු මෙසේ කරුණු හෙළි කළේය.

(අපගේ ස්තූතිය - පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතාට සහ පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ලාල් සෙනෙවිරත්න මහතාට)

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර