2017 ජුලි 15 වන සෙනසුරාදා

පාර්ලිමේන්තුවේ හැප්පිලි වැඩිවේ - දේශපාලන ලොක්කෙකුට මාරකයි

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

2017 ජුලි මස 16 වැනි ඉරු දින එනම්, අද දින සවස හතර පසු වී විනාඩි 24ට රවි ග්‍රහයා තමාට මිත්‍ර රාශි භවනක් වූ කටකයට සංක්‍රමණය වනු ඇත. ගුරුට අයත් වූ පුනාවස නැකතේ හතරවැනි පාදයෙත්, සෙනසුරුට අයත් පුෂ නැකතේ සහ බුධට අයත් අස්ලිය නැකතේ සම්පූර්ණවත් ගමනින් මෙම අගෝස්තු මස 16 වැනි දින රාත්‍රී දොළහ පසු වී විනාඩි හතළිස් හත දක්වාම රවි කටකයේ ගමන් කරයි. මෙහි බලපෑම මාස 6 ක් ගතවන තුරු පවතී. 

රවි කටකයට සංක්‍රමණය වීමෙන් අප රටට ඇතිවන්නා වූ බලපෑම ගැන අවධානය යොමු කිරීමේදී යම් යම් භාණ්ඩ වෙනුවෙන් බදු වැඩිවීම නිසා ජනතාවට තම අවශ්‍යතා ඉටුකර ගැනීමට වෙනදාට වඩා වැඩි වියදම් දැරීමට සිදුවනු ඇත. පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ කණ්ඩායම් අතර අර්බුදකාරීත්වය වැඩිවන අතර පාර්ලිමේන්තුවේ පාලන බල සංයුතියේ වෙනසක් ද සිදුවේ. විශේෂයෙන් දේශපාලන ප්‍රධානියකුට ඉතා අශුභ වූත් මාරක අපල සහිත වකවානුවක් වෙයි. උසස් නිලධාරියකු අපහාසයට ලක්වනු ඇත. ගමනාගමන මෙන්ම ගුවන් සේවා ප්‍රධානියකුට ද අයහපත් සිදුවීම්වලට මුහුණ දීමට සිදුවේ.

විදේශීය වශයෙන් විමසා බැලීමේදී රංගන හෝ ගායන ක්ෂේත්‍රයේ නියැලි ප්‍රසිද්ධ පුද්ගලයකුට මාරකයක් ඇති වේ. විනෝදාස්ථාන හෝ පාසල් ආශ්‍රිතව අශුභ සිදුවීම් වාර්තා වනු ඇත. මහජන සෞඛ්‍යයට අහිතකර ලෙස වසංගත රෝග පීඩාවක් පැතිර යනු ඇත. 100කට ආසන්න පිරිසක් රැගත් යාත්‍රාවක් අනතුරට පත්වීමක් ද වාර්තා වන අතර භූමියට ද ඉතා අශුභ වකවානුවක් වෙයි. ජල ගැලීම්, සුළි කුණාටු, භූකම්පන හේතුවෙන් විශාල විනාශයක් සිදුවන කාල වකවානුවක් ද වේ.

මේෂ - මිතුරන් තරහ වේ

සිතට පීඩනය ගෙන දෙන වකවානුවක් වේ. තම හිත මිතුරන් තමා සමඟ අමනාපකම් ඇතිකරගනු ඇත. තමාට අදාළ නොවන වෙනත් අයගේ ප්‍රශ්නවලට මැදිහත් නොවී සිටීමට වගබලාගත යුතුය.

වෘෂභ - නොබියව ඉදිරියට

කටයුතුවල ප්‍රමාද ගති ඇතිවනු ඇත. සිතේ ප්‍රශ්න ඇතිවන අතර ගමන්වලින් පීඩා ඇතිවන බැවින් කල්පනාකාරී විය යුතු වේ. යම් යම් කටයුතු සඳහා නොබියව ඉදිරිපත් වනු ඇත.

මිථුන - අත ඉතිරිය අඩු වේ

තම වැඩවල ප්‍රගතියක් ලබාගත නොහැකි වකවානුවක් වන අතර අත ඉතිරියද අඩුවන කාලයකි. අනවශ්‍ය කරදරවලට පැටලිය හැකි බැවින් සිහිබුද්ධියෙන් යුක්තව සෑම වැඩක්ම කළ යුතු වේ.

කටක - දියුණුවට පාර

ආර්ථික වාසි අත්වන කාල වකවානුවක් වේ. පවුල් දිවියේ සමගියට බාධාවීම් ඇතිවනු ඇත. සිතට යම් යම් ප්‍රශ්න ඇතිවුවද තම සේවා ස්ථානයේ දියුණුවක් අත්කරගත හැකිවන වකවානුවක් වේ.

සිංහ - දුර ගමන්

එතරම් ශුභ ඵල අත්නොවන අතර ශරීර ශක්තියට බාධා ගෙනදෙනු ඇත. දුර ගමන් යෙදෙන අතර ඉතිරි කරගැනීමටද බාධා ඇතිවනු ඇත. ඇස්වල රෝගාබාධයක් මතුවනු ඇත.

කන්‍යා - ප්‍රමාද ගති

භූමිය ආශ්‍රිතව මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ කටයුතු කරන අයට යහපත් ඵල අත්වෙයි. අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වනු ඇත. යම් යම් කටයුතුවල ප්‍රමාද ගති ඇති වේ.

තුලා - සේවයේ ප්‍රගතියක්

පවුල් දිවියේ යම් යම් ගැටලු මතුවන වකවානුවක් වේ. සේවා ස්ථානයේ ප්‍රගතියක් අත්වනු ඇත. පිටස්තර අයගේ ප්‍රශ්නවලට මැදිනොවී සිටීම යහපතට හේතුවනු ඇත.

වෘශ්චික - විදේශ චාරිකා

ඔබට එතරම් අයහපත් නොවනු ඇත. දේශපාලන ක්ෂේත්‍රයේ නියැලි අයට යහපත් වනු ඇත. කෙටි ගමන් යෙදේ. විදේශ ගමන් බලාපොරොත්තුවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ට වනු ඇත. පවුලේ යහපත වෙනුවෙන් කාර්යභාරයක් ඉෂ්ට කිරීමට හැකි වකවානුවක් වේ.

ධනු - ශරීර පීඩා

ඔබට යහපත් නොවනු ඇත. තැන්පත් ධනය අනවශ්‍ය ලෙස වියදම් වී යනු ඇත. හදිසි ශරීර පීඩාවකට ලක්වන බැවින් ගමන්වලදී පරිස්සම් විය යුතු වේ.

මකර - ශරීරයේ උෂ්ණ ගති

හවුල් කටයුතුවලින් ඵල අත් නොවේ. මෙම වකවානුව තුළ මහා පරිමාණයෙන් මුදල් යොදා කටයුතු කිරීම යහපත් නොවනු ඇත. ශරීරයේ උෂ්ණ ගතිය ඉහළ යයි. දුර ගමන්, විදේශ ගමන් බලාපොරොත්තුවෙන් සිටි අයටද යහපත් වනු ඇත.

කුම්භ - සතුරු බලවේග එළියට

ඔබට එරෙහිව පැවති සතුරු බලවේග හඳුනාගෙන ඉදිරියට යාමට හැකිවනු ඇත. සහකරුට හෝ සහකාරියට හදිසි රෝගාබාධ ගෙනදෙන වකවානුවක් වනු ඇත. සිතට සහනය නොලැබෙනු ඇත.

මීන - අධ්‍යාපනයට හොඳයි

යම් යම් කටයුතුවල ප්‍රමාද ගති ඇතිවනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත්ය. හවුල් කටයුතුවලින් ඵල අත්නොවනු ඇත. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයටද යහපත් වේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර් යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල