කාන්තාවන්ට වැඩිපුර හැදෙන මුත්‍රා ලෙඩේ
“මම පදිංචිවෙලා ඉන්නේ හෝමාගම. දැනට දවස් කීපයක ඉඳලා මගේ යටිබඩ කොරවෙනවා වගේ දැනෙනවා. වතුර කොයිතරම් බිව්වත් මුත්‍රා පිටවෙන්නේ හරිම අඩුවෙන්. වෙලාවකට මුත්‍රා පිටවෙන්නේ නැති තරම්. මුත්‍රා පිටකරන ප්‍රදේශයේ දැවිල්ලකුත් එනවා.”
ඉහතින් දැක්වෙන්නේ ආයුර්වේද මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගියකු අප හමුවේ පැවසූවකි. ඔහු මුත්‍රා රෝගයකින් පෙළෙන්නකු බවට අපට අනුමාන කරගත හැකි වූයේ මුත්‍රා පිටකිරීම සම්බන්ධයෙන් ඔහුට මතුවී ඇති ගැටලු හරහාය.
අද වනවිට මුත්‍රා රෝග යනු සමාජයේ බහුලව හමුවන රෝගී තත්ත්වයකි. ලොකු කුඩා බාල මහළු භේදයකින් තොරව ඕනෑම පුද්ගලයකු හට මෙවැනි රෝග පහසුවෙන්ම හටගත හැකි වන අතර මෙහි සුලභතාවය නිසාම ඇතැම් පුද්ගලයකු තමන් මුත්‍රා රෝගියකු බව පවා නොදනී. කෙසේ වෙතත් අපගේ සිරුරේ ප්‍රධානතම බහිස්‍රාවීය අපද්‍රව්‍ය පිටකරන පද්ධතිය වන මුත්‍රා පද්ධතිය හා ඒ ආශ්‍රිත රෝග සම්බන්ධයෙන් සෑමදෙනා තුළම යම් දැනුම්වත් වීමක් තිබිය යුතුය. අද අපේ වෙදකමෙන් අවධානය යොමුකරන්නේ සමාජය තුළ වැඩිපුරම කතාබහට ලක්කෙරෙන මුත්‍රා රෝග පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් අපව දැනුම්වත් කරන්නේ ආයුර්වේද වෛද්‍ය චමිත් චන්ද්‍රසෝම මහතායි.
මුත්‍රා මාර්ගය ආශ්‍රිතව හටගන්නා රෝග අපි හඳුන්වන්නේ මුත්‍රා රෝග වශයෙනුයි. මුත්‍රා රෝග හටගන්නා ආකාරය අනුව එය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. මෙලෙස බෙදා දක්වන්නේ යම් පුද්ගලයකු මුත්‍රා පිටකරන ප්‍රමාණය පදනම් කරගෙනයි. කෙනෙකු නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් මුත්‍රා පිටකරනවා නම් එය රෝගී අවස්ථාවක්. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර මුත්‍රා පිටකරනවා නම් එයත් රෝගී අවස්ථාවක්.
මුත්‍රා අඩුවෙන් පිටවීම ලෙඩ ගොඩක්
සාමාන්‍ය නිරෝගී පුද්ගලයකු දවසේ පැය හතර පස් වතාවකට වරක් මුත්‍රා පිටකරන අතර දවල් කාලයේදී මෙම ප්‍රමාණය තුන් හතර වතාවක් විය හැකියි. නමුත් මුත්‍රා පිටවීම අඩුවෙන් සිදුවන රෝග අවස්ථාවකදී එම පුද්ගලයින්ගේ පිටවන මුත්‍රා ප්‍රමාණය අල්පය. එසේත් නැතිනම් මුත්‍රා පිටකරන්නේම නැති තරම්ය. මෙම රෝගී අවස්ථාවද කොටස් තුනකට බෙදා දැක්වෙන අතර මුත්‍ර අශ්වරි, මුත්‍ර ඝාත හා මුත්‍ර තෘච්ඡ ඒ අවස්ථා තුනයි. මුත්‍ර අශ්වරි නැතිනම් මුත්‍ර ගල්ද අවස්ථා 4ක් දැක්විය හැකිය. එසේම මුත්‍ර ඝාත (මුත්‍ර පිටනොවන අවස්ථාව) මුත්‍ර ඝාතද රෝග 13කට බෙදා වෙන්කර දැක්වේ. මුත්‍ර තෘච්ඡ අවස්ථාවේදී මුත්‍ර පිටකරන විට දැවිල්ල, වේදනාව හටගත හැකියි. මෙම මුත්‍ර තෘච්ඡ ආකාරයන්ද අටක් ලෙස බෙදා වෙන්කර දැක්විය හැකිය. මේ අනුව සම්පූර්ණ මුත්‍ර රෝග සංඛ්‍යාව 25කි.
දියවැඩියාවේදී මුත්‍රා වැඩිපුර පිටවේ
මුත්‍රා වැඩිපුර පිටවීමේ වර්ගීකරණය අනුව රෝග 20ක් හඳුනාගත හැකි අතර මේවා සියල්ල ප්‍රමේහ රෝග වේ. මෙහි ප්‍රධානම රෝගී අවස්ථාවක් ලෙස මධුමේහය ගතහැකිය. සාමාන්‍යයෙන් දියවැඩියාවේදී වැඩිපුර මුත්‍ර පිටවීමක් සිදුවන අතර මුත්‍ර සමග සීනිද පිටවේ. නමුත් මුත්‍රා සමඟ සීනි පිටවන එකම රෝගය දියවැඩියාව පමණක් නොවන බවද මෙහිදී අවබෝධකරගත යුතුය. එවැනි රෝග තවත් 20ක් ඇත.
ඔබත් මුත්‍රා රෝගියෙක්ද?
මුත්‍රා රෝගයකින් පෙළෙන්නකු තුළින් පහත සඳහන් රෝග ලක්ෂණ මතුවිය හැකි අතර එවැනි ලක්ෂණවලින් එකක් පෙන්නුම් කරන රෝගියකු මුත්‍රා රෝගියකු වශයෙන් අපට හඳුනාගත හැකිය.
• බහු මුත්‍ර භාවය හෙවත් වැඩිපුර මුත්‍රා පිටවීම.
• අල්ලි මුත්‍ර භාවය හෙවත් අඩුවෙන් මුත්‍රා පිටවීම.
• මුත්‍ර ඝාත හෙවත් මුත්‍රා පිට නොවීම.
• මුත්‍ර තෘච්ඡ හෙවත් මුත්‍ර පිටකිරීමේදී ඇතිවන වේදනාව.
• මුත්‍ර ආපලතාවය හෙවත් මුත්‍ර කැළඹුණු ස්වභාවයකින් පැවතීම. එනම් පිටවන මුත්‍රා විනිවිද භාවයකින් තොරව වලාකුළු ස්වභාවයකින් පැවතීම.
• මුත්‍ර දාහය හෙවත් මුත්‍ර පිටකරන ප්‍රදේශයේ ඇතිවන දැවිල්ල.
• මුත්‍ර වේදනා.
• ශරීරයේ යම් යම් ස්ථානවල ඇතිවන වේදනාව.
• මුත්‍රා සමග රුධිරය පිටවීම.
මුත්‍රා පිටවීම සම්පූර්ණයෙන්ම නවතියි නම් මුත්‍රා ග්‍රන්ථි නිසයි
මුත්‍ර ඝාත නම් මුත්‍රා පිට නොවන රෝගී අවස්ථාවන්හිදී මුත්‍රා පිටනොවීම සඳහා විවිධ හේතූන් බලපාන අතර මුත්‍ර ග්‍රන්ථි ඉන් එක් අවස්ථාවකි. මුත්‍ර ග්‍රන්ථි ගෙඩියක් වැනි ස්වභාවයක් හටගන්නා අතර මුත්‍රා ගමන් කරන නාළයක මෙවැනි ගෙඩියක් හටගතහොත් මුත්‍රා පිටවීම මුළුමනින්ම හෝ මඳ වශයෙන් නැවතේ. මෙම අවස්ථාවේදී යටි බඩේ තද වේදනාවක් ඇතිවන අතර මුත්‍රා ගල් පවතින විටකදීද එයින් කැඩී ආ ගල් කැබලිද මුත්‍ර පිටකරන නාළවල මෙලෙස සිරවිය හැකිය. මුත්‍ර පිටවීම අවහිර විය හැකිය. මෙවැනි අවස්ථාවකදී මෙම ගල් හෝ ගැටිති ඉවත් කරන්නේ ශල්‍යකර්ම මගිනි. ඒ සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේද පහසුකම් සලසා ඇත.
පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීමෙන් හටගන්නා මුත්‍රා රෝග
පුරස්ථි ග්‍රන්ථි ඉදිමීමද විවිධ බලපෑම් නිසා සිදුවන්නක් වන අතර මෙලෙස පුරස්ථි ග්‍රන්ථි ඉදිමීම මුත්‍ර මාර්ගයටද බලපෑම් කරයි. එසේම මළබද්ධය වැනි රෝග තත්ත්වවලදී ගුද මාර්ගයෙන් මුත්‍රවාහිනී පද්ධතියට පීඩනයක් ඇති කරන නිසා මළබද්ධ රෝගීන්ගේද මුත්‍ර රෝග හටගැනීමේ ප්‍රවණතාවයක් ඇත. මෙම අවස්ථාවකදී සාමාන්‍ය මුත්‍ර රෝගවලදී එන ප්‍රධාන ලක්ෂණවලට අමතරව බඩපිපුණු ස්වභාවයන්, බඩ ඉදිරියට නෙරා ඒමේ ස්වභාවයත් දක්නට ලැබේ.
බෝවෙන මුත්‍රා රෝගවලින් වැළකෙන්නට නම්
මුත්‍රා රෝග අතර බෝවන මුත්‍රා රෝගද ඇති අතර මේවායින් පරිස්සම් වීමට නම් පිරිසිදුව සිටීම අනිවාර්ය අංගයකි. වෙනත් පුද්ගලයන්ගේ ඇඳුම් (විශේෂයෙන් යට ඇඳුම්) මෙහිදී පාවිච්චි නොකළ යුතු අතර හොඳ සෞඛ්‍යාරක්ෂිත පුරැදුවලට හැඩ ගැසීමෙන් මෙවැනි රෝගයන්ගෙන් වැළකිය හැකිය. විශේෂයෙන්ම ලිංගික එක්වීමකදී මෙවැනි රෝග බෝවිය හැකි අතර ලිංගික කටයුතු සඳහා තම සහකරුවා හෝ සහකාරියක පමණක්ම තෝරා ගැනීම හරහා මෙවැනි රෝග බෝවීමෙන් වැළකී සිටිය හැක.
මුත්‍ර පිටකිරීමේදී තද වේදනාවක් දැනෙනවාද?
මුත්‍ර පිටකිරීමේදී දැඩි වේදනාවක් හටගන්නේ නම් එය රෝගී අවස්ථාවකි. මෙය මුත්‍ර තෘච්ඡ යනුවෙන් හඳුන්වන අතර එයද කොටස් කිහිපයකට බෙදේ. මෙහිදී බොහෝවිට වේදනාවක් හටගන්නේ යම් හේතුවකින් මුත්‍ර අවහිර වීම නිසාය. මුත්‍රාශය ප්‍රදේශයට වැදුණු දැඩි පහරදීමකදීද මෙවන් රෝගී තත්ත්වයන් හටගත හැකි අතර ශර්කරා (සීනි වැනි කුඩා කැබලි) මුත්‍ර මාර්ගය හරහා ගමන් කිරීමේදී සිදුවන සීරීම්, තුවාල වීම් නිසාද මෙවැනි වේදනාවන් හටගත හැකිය.
මුත්‍රා ගල්
මුත්‍ර මාර්ග පද්ධතිය ආශ්‍රිතව ඇතිවන තවත් රෝගී අවස්ථාවක් නම් මුත්‍ර ගල් ඇතිවීමයි. මෙහිදී කහපාටට හුරු හෝ සුදු පැහැයට හුරු ගල් දැකිය හැකි අතර වඩාත්ම වේදනාකාරී වන්නේ කැල්සියම් ඔක්සලේට් තැන්පත්ව ඇති අවස්ථාවේදීයි. මෙහිදී ගල් වඩාත් විශාල වන අතර එය ඖෂධ මාර්ගයෙන් පිටකිරීමේ හැකියාවක් නැත. මෙම ගල් ඉවත් කිරීමට නම් ශල්‍යකර්ම සිදුකිරීම අත්‍යවශ්‍යය. මීට අමතරව වැරදි ලිංගික හැසිරීම් නිසාද මුත්‍ර මාර්ගයෙහි ශුක්‍රාණු ඝණවීමකින් ගල් වැනි ස්වභාවයක් මතුවිය හැකි අතර ඒවා මුත්‍රා ගල් ලෙස හැඳින්විය නොහැකි වුවත් එමඟින්ද මුත්‍රා බැහැර කිරීමට බාධාවක් ඇති කරයි. මේවාට ප්‍රතිකාර අවශ්‍ය නොවන අතර බාහිර පීඩනයක් යෙදීම හරහා අතින් ඉවත් කිරීමේ හැකියාව ඇත.
හෘද රෝගවලට අත වනන ඉන්සියුලීන්
මුත්‍රවාහිනී පද්ධතිය ආශ්‍රිතව ඇතිවන වඩාත් සුලභතම රෝගී අවස්ථාවන් වන්නේ දියවැඩියාවයි. වර්තමානයේදී වැඩිහිටියන්ට අමතර කුඩා දරුවන් අතර පවා මෙවැනි රෝගී තත්ත්වයන් හඳුනාගත හැකියි. දියවැඩියාව නොහොත් මධුමේහය මූලිකවම පාලනය කළ යුත්තේ අප ලබාගන්නා ආහාර මගිනි. ආහාර මගින් පමණක් පාලනය කළ නොහැති අවස්ථාවේදී ඒ සඳහා බහුල වශයෙන්ම භාවිත කරන ඖෂධය වන්නේ මෙට්ෆොමින්ය. දියවැඩියාව මෙට්ෆොමින් ඖෂධය මගින්ද පාලනය කිරීමට නොහැකි වූ විට ඒ සඳහා භාවිත කරන ඖෂධය යන්නේ ඉන්සියුලීන්ය. ඉන්සියුලීන් එකක් භාවිතා කිරීමෙන් පසු දිගටම එම ඖෂධ්‍ය භාවිතා කළ යුතු වෙයි. මෙම ඖෂධ්‍ය දිගින් දිගටම භාවිත කිරීමෙන් අතුරු ආබාධයන් කිහිපයක්ම මතු විය හැකිය. එබැවින් ඉන්සියුලින් ප්‍රතිකාර සඳහා යන මට්ටමට රෝගය ව්‍යාප්තවීමට ඉඩනොදී හැකිතාක් දුරට ආහාර මගින් රෝගය පාලනය කිරීම වඩාත් උචිතය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව සාමාන්‍යයෙන් අවුරුදු 50-60 වැනි වයස්වලට පහළ රෝගීන් නිෂ්ඨාවටම සුවකිරීමේ ප්‍රතිකර්ම ක්‍රම පවතී. එමෙන්ම බටහිර වෛද්‍ය ක්‍රමයේදී දියවැඩියාව රෝගීන්ගේ මතුවන තුවාල ශල්‍යකර්ම හරහා කපා ඉවත්කළද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ඒවා සුවකිරීමේ හැකියාව ඇත.
පිරිසිදු යට ඇඳුම් භාවිත කරන්න
නිතර පිරිසුදුව කල්ගෙවීම හරහා මුත්‍ර රෝග බොහොමයක්ම වළක්වා ගත හැකිය. විශේෂයෙන්ම මෙහිදී යට ඇඳුම්වල පිරිසිදු භාවයට ප්‍රමුඛත්වයක් හිමිවේ. මීට අමතරව හැමදෙනාම භාවිතා කරන වැසිකිළි භාවිත කිරීමේදීද පිරිසිදුභාවය පිළිබඳව විශේෂ සැලකිල්ලක් යොමුකළ යුතුය.
කාන්තාවන් අතර මුත්‍රා රෝග බහුලයි
මුත්‍ර මාර්ගයේ මුත්‍රවාහිනී පද්ධතියේ පිහිටීමට අනුව පිරිමින්ට වඩා කාන්තාවන් අතර මුත්‍රා රෝග හටගැනීමේ ප්‍රවණතාවයක් ඇත. එසේම එම ප්‍රදේශයේ නිතරම තෙත් ගතියක් පවතින හෙයින් විෂබීජ පහසුවෙන්ම ඒ තුළ වර්ධනය වේ. නමුත් පිරිමින් අතර කාන්තාවන් තරම් මුත්‍ර රෝග බහුල නොවන්නේ ඔවුන්ගේ මුත්‍රවාහිනී පද්ධතියෙන් සියයට අනූපහක් පමණම අභ්‍යන්තරව පිහිටා ඇති නිසාය.
ජලය මුත්‍රා රෝගවලට ඖෂධයක්
ජලය පානය කිරීම හරහා බොහෝ මුත්‍රා රෝග ප්‍රමාණයක් වළක්වා ගැනීමේ හැකියාව ඇති අතර විශේෂයෙන්ම මුත්‍රා ගල් හටගැනීම සඳහාද ප්‍රධානම හේතුවක් වන්නේ ජලය පාලන අඩුවීමයි. ක්‍රීඩකයන් මෙන්ම නිතර අව්වේ වැඩපළවල යෙදෙන පුද්ගලයන් දිනකට වතුර ලීටර් 6ක් වත් පානය කළ යුතුය. ඇතැම් ප්‍රදේශවල ජලයට කැල්සියම් කාබනේට් වැනි ද්‍රව්‍යයන් මිශ්‍ර වී පවතින හෙයින් එවැනි ජලය පානය කළ යුත්තේ හොඳින් උණුකර නිවා ගැනීමෙන් අනතුරුවයි.
මුත්‍රා දැවිල්ලට ප්‍රධාන හේතුව ආහාරයි
ඉස්සො, දැල්ලො, කකුළුවෝ, බලමාලු, අච්චාරු වැනි ආහාරයක් ගැනීමෙන් අනතුරැව ඇතැම් පුද්ගලයන් හට මුත්‍රා දැවිල්ල හට ගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එසේ වන්නේ එවැනි ආහාර උෂ්ණාධික ආහාර වන නිසාය. මීට අමතරව දීර්ඝකාලීනව යම් යම් ඖෂධ වර්ග භාවිත කිරීම හරහාද ඒවා වකුගඩුවලට හා අක්මාවට මෙන්ම මුත්‍රවාහිනී පද්ධතියට බලපෑමෙන් දැවිල්ල හටගත හැකිය. සිරෝසිස් වැනි අවස්ථාවකදීද මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවීමේදී යම් යම් අපහසුතාවයන් මතුවිය හැක.
මුත්‍ර වේග දරාගැනීම රෝගවලට අතවැනීමක්
මුත්‍ර වේග, මළපහ වේග කියන්නේ අනිවාර්යයෙන්ම අපගේ සිරුරෙන් පිටකළ යුතු දේවල්. උවමනා අවස්ථාවලදී එම වේග පිට නොකර දරාගෙන සිටීමෙන් සිරුරට පැහැදිලිවම විශාල බලපෑමක් ඇති කෙරේ. මුත්‍ර විශාල වේලාවක් දරාගෙන සිටීම හරහා අවසානයේදී එය පුපුරා යාමට පවා හැකියාවක් ඇත. මුත්‍ර වේගය යම් කාලයක් දරා ගත්තද එය වැඩිකාලයක් දරාගෙන සිටීම බෙහෙවින්ම අහිතකර වේ.
පොල්පලා හොඳ ඖෂධයක්
මුත්‍රා රෝගවලදී මුත්‍රා ජනනය කිරීමේ හැකියාවන් ඇති ඖෂධයක් ලෙස පොල්පලා හැඳින්විය හැකිය. මේවා පානයක් මෙන්ම ඖෂධයක් ලෙසද වැදගත්ය. මීට අමතරව තැඹිලි වතුර, කුරුම්බා වතුරද මුත්‍රා සඳහා හිතකරය. එසේම නීරමුල්ලියද හොඳ ඖෂධයකි. කැකිරිද මුත්‍රා සඳහා ගුණදායක ආහාරයක් වන අතර මුත්‍රා රෝගීන්ට කැකිරි ඇට වේලා කුඩුකර ලබාදිය හැකිය. ඒවගේම තන්තු බහුල ආහාරද මුත්‍රා රෝග සඳහා සුදුසුය.
♦ හේමමාලා කුමාරි රාජකරුණා